Monday, June 10, 2013

අහෝ වියන්ගොඩ නොදිටි මොක්පුර !!!


ගාමිණි වියන්ගොඩ තමා ඇතුළු සිය වර්ගයා අතර සිංහල බෞද්ධයා කෙරෙහි ඇති නොසන්සිඳෙන වෛරය පිරිමසා ගැනීමට ලියූ "සිංහල බෞද්ධ-හරක් මස් වෙනුවට බටහිර ක්‍රිස්තියානි හරක් මස් වැළඳීම" නම් ලිපිය ගැන මගේ අදහස් කිහිපයක් මීට පෙර මම කසාපබ්බතෙහි ලීවෙමි. ඔහු සිය ලිපියේ තව දුරටත් මෙසේ කියයි. "ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ශික්ෂා පදයට ගෑවෙන්නේ නැත." ගවයින්ට ආගම් නැත. ඔහු යොදන 'සිංහල-බෞද්ධ ගවයා' සහ 'බටහිර කිතුණු ගවයා' යන යෙදුම් දෙක එක්තරා සංස්කෘති දෙකක් නිගරුවට ලක් කරයි. 

වඩාත් උත්ප්‍රාසජනක කාරණය එය නොවේ. ගාමිණි වියන්ගොඩ අඩු තරමේ පන්සිල් පද පහේ තේරුමවත් නොදන්නා අයෙකු බව මෙහිදී අනාවරණය වීමය. 'පණාතිපාතා වේරමාණි සික්ඛා පදං සමාදියාමි' යන්නේ අර්ථය 'ප්‍රාණ ඝාතයෙන් වැළකීම නම් සිල් පදය සමාදම් වෙමි' යන්නය. එහෙත් වියන්ගොඩ සිතා සිටින්නේ එහි අර්ථය මස් කෑමෙන් වළකිමි වැන්නක් කියාය. අඩු තරමින් හරක් මස් කෑමෙන් වළකිමි යන්න කියාය. එසේ නම් බුදුන් වහන්සේ ගිහි අපට මස් නොකන්න යැයි දේශනා කොට දෙව්දත් තෙරුන් භික්ෂූන් නිර්මාංශ විය යුතු යැයි කරන ලද ඉල්ලීම ඉවත දමා තිබේ. අහෝ සර්වඥ බුදුන්ටත් වැරදිණි ද?

බුද්ධ දේශනාව අනුව ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමට නම් කරුණු 5ක් සම්පූර්ණ විය යුතුය. ඒ පණ ඇති සතෙකු වීම, පණ ඇති සතෙකු බව දැන ගැනීම, මරණු කැමැත්ත, මැරීමට උපක්‍රම යෙදීම, ඒ උපක්‍රම නිසා මරණය සිදුවීමය. එහෙත් ඒ අතර මස් කෑම නිසා ප්‍රාණ ඝාත අකුසලයක් සිදුවන බව හෝ එහි ගෑවි යන බව හෝ සඳහන් නොවේ. බුදුන් දවස එසේ සිතුවේ දෙව්දත්ය. අද ඒ දෙව්දත් දහම අපට දෙසන්නේ වියන්ගොඩලාය. 

මෑතදී බ්‍රිතාන්‍ය හමුදා සෙබලෙකු අන්තවාදී මුස්ලිම් තරුණයින් දෙදෙනෙක් මහ මග කපා කොට මරා දැමූහ. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තියා කපන වියන්ගොඩ එය ද සිංහල බෞද්ධයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට යොදා ගනියි. මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ප්‍රශ්නයක් වී තිබෙන්නේ කවු ද? ලෝක ත්‍රස්තවාදී ලැයිස්තුවේ මුල් පෙල සිටින්නේ කවුද? වර්තමාන ලෝක ගැටුම්වල අනීවාර්යයෙන් එක් පිලක් නියෝජනය කරන්නේ කවුද? 

සිංහල බෞද්ධයා ඉතිහාසයේ කිසියම් අවස්ථාවක සටනක් කළේ ද නැඟී සිටියේ ද ඒ සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙනි. අන්තවාදී නොවන කිසිවෙකුට මේ රටේ කිසිදා අනතුරක් නොවනු ඇත. කිසිවෙකු අන්තවාදය වපුරන්නේ නම් සිංහලයා සිය ආත්ම ආරක්ෂාව සඳහා නැගී සිටිනු ඇත. ඒ අන්තවාදී කල්ලි විසින් අනතුරේ හෙලන්නේ සිංහලයා පමණක් නොව සිය ජාතියේ ම සිංහලයා සමග ඉතා සමගියෙන් ජීවත් වන ජනතාවය.

ඔහු සිය ලිපියෙහි පවසන පරිදි සිංහල බෞද්ධයා ඌරු මස් කෑමට විරුද්ධ නොවන්නේ එවිට මුස්ලිම් මිනිසා සමඟ අනන්‍ය වන බැවිනි. එමෙන්ම ගව මස් කර්මාන්තය මුස්ලිම්වරු අත ඇති නිසා ගව මස් විරෝධය ඔවුන්ගේ ආර්ථික පදනමද අභියෝගයට ලක් කිරීමකි. මේ සැබෑවක් ද? ලංකාවේ ගව පමණක් නොව ඌරු මස් හැරුණු විට සෙසු මස් කර්මාන්තයේ බහුතර කොටස හිමි මුස්ලිම්වරුන්ටය. ඔවුන්ගේ ආර්ථික පදනම බිඳ දැමීමට නම් බෞද්ධයා සියලු මස් ප්‍රතික්ෂේප කළ යුතුය. 

අනෙක් අතට මොවුන් පවසන පරිදි සිංහල බෞද්ධයා ජාතිවාදීය. ඔවුහු දෙමළ මිනිසුන් මරා කෑමට බලා සිටින නර රකුසෝය. වියන්ගොඩ සිය ලිපියේ මුල් වැකියෙන් පවසන පරිදි ගව ඝාතන විරෝධය හින්දු ආගමිකය. හින්දු යනු දෙමළ අයගේ ආගමයි. එසේම දෙමළාට ගේම දීම සිංහලයාගේ එකම පැතුමයි. ඉතින් එවැනි නරුම සිංහල බෞද්ධයා හින්දුන්ගේ පූජනීය සතා මරා ගෙන කෑමට විරුද්ධ වීම ඔස්සේ දෙමළා සමඟ අනන්‍ය වන බව නොසිතුවේ ඇයි? මේවාට වියන්ගොඩ හෝ වියන්ගොඩගේ ශ්‍රාවකයින් පිළිතුරු දිය යුතුය. සියල්ලට පෙර මේ දෙව්දත් ශ්‍රාවකයෝ පංච ශීලය අවබෝධ කරගත යුතුය.

Wednesday, June 5, 2013

දෙව්දත්ගෙන් බණ ඇසූ ගාමිණි වියන්ගොඩලා... !!!

ගාමිණි වියන්ගොඩ මා දන්නේ ගාඪ සිංහල බසින් පොත් පරිවර්තනය කරන්නෙකු වශයෙනි. එහෙත් දැන් ඔහු සමාජ සංස්කෘතික දේශපාලන විචාරකයෙකු ලෙස ද ක්‍රියාකරයි. බොහෝ අයට මෙන්ම ඒ සඳහා ඔහුට ඇති එකම සුදුසුකම සිංහල බෞද්ධ විරෝධය පමණක් බව ඔහු ලියූ "සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම"  නමැති ලිපිය කියවූ විට පැහැදිලි විය. 

ඔහුට අනුව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි සිවුරක් පොරවා ගෙන සිටි පුද්ගලයෙකි. කුඩාපොල හිමි පිස්සෙක් යැයි ද වාරියපොල සුමංගල හිමි ඔල්මාදකාරයෙක් යයි ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි බෞද්ධ අන්තවාදියෙක් යැයි ද ඔහු කිවහොත් මම පුදුම නොවෙමි. සිය ලිපිය අතරතුර මෙසේ පවසයි. "ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල-බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයත් එක විට කෙළසීමයි." මේ අනුව ලංකාවේ සිංහල බෞද්ධයින් සිටින බව ද දළඳා මැදුර ඔවුන්ගේ පූජනීය ස්ථානයක් බව ද ඔහු පිළිගනියි.

සිංහල බෞද්ධයින්ගේ පූජනීය ස්ථානය කෙලෙසීම පිළිබඳ මෙසේ මුසුප්පුවට පත්ව සිටින වියන්ගොඩ දළදා මැදුරට කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර පිළිබඳ ලිපි කීයක් ලියා තිබේද? 1985 ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කොට භික්ෂූන් ඇතුළු 146ක් මරා 80 තුවාල සිදුකළ ප්‍රහාරය ගැන ඔහු කිසිවක් ලියා තිබේද? අරන්තලාව මහා භික්ෂූ සංහාරය පිළිබඳ කිසිවක් ලීවේ ද? එම ප්‍රහාරවලින් සිංහල බෞද්ධයා අමන්දානන්දයට පත්ව ඇතැයි ඔහු සිතනු විය යුතුය.



අනතුරුව රටේ නැති වල්පල් දොඩවා මෙලෙස ලිපිය අවසන් කරයි. "ඔබට, සිංහලයෙකු විය හැකිය. එසේම, බෞද්ධයෙකු ද විය හැකිය. එහෙත්, ඔබට සිංහල-බෞද්ධයෙකු විය නොහැකිය. මන්ද යත්, ගෞතම බුදුන් වහන්සේව එවිට ඔබට මගහැරෙන බැවිනි." ලිපිය මුල සිංහල බෞද්ධයින්ගේ දළඳා මැදුර ගැන කියවූ මොහු දැන් කියන්නේ කිසිවෙකුට සිංහල බෞද්ධ විය නොහැකි බවය. එවිට බුදුන් වහන්සේ මඟහැරෙයි. පෙර සඳහන් කළ සිංහල බෞද්ධයාට බුදුන් මඟහැරී ඇත. 

මෙසේ අපට බුදුන් මඟහැරී ඇතැයි පවසන වියන්ගොඩ මීට පෙර ලිපියක සඳහන් කර තිබුණේ තමන් කිසිදු ආගමකට අයත් නොවන බවය. එනම් ඔහු බෞද්ධයෙකු ද නොවේ. කිසිදු ආගමකට අයත් නැති භෞතිකවාදියෙකුට(?) සිංහල බෞද්ධයාට බුදුන් වහන්සේ මඟහැරීම පිළිබඳ ඇති රුදාව මට අවබෝධ කරගත නොහැකිය.

ලාංකික උගතුන් (බුද්ධිමතුන් නොවේ) මේ ලිපිය සිය Facebook profileවල මහත් උජාරුවෙන් අමුණා තිබිණි. ඒ සඳහා ඔවුන්ට ඇති අයිතියට මම ගරු කරමි. එහෙත් එවිට ඔවුන් සරම හැඳ ඔලුවෙන් සිට ගෙන සිටින බව වසන් කළ නොහැකිය.

වියන්ගොඩ සිය ලිපිය ආරම්භ කරන්නේ මෙසේය. "ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය." ඊළාම් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින වියන්ගොඩලා 13%ට ආසන්න හින්දූන්ගේ ආගමික අයිතීන් වෙනුවෙන් හඬ නොනඟන්නේ ඇයි? එය බටහිරට මාර්කට් කළ නොහැකි නිසාද? ගව මස පවා ප්‍රතික්ෂේප කළ නොහැකි අයෙකුට සකල මාංශ ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය කුමක් ද?

අනතුරුව වියන්ගොඩ පවසන්නේ බුද්ධාගම සකල මාංශ අනුභවය හෙළා දකින බවකි. බුදුන් වහන්සේ මස් කෑම ප්‍රතික්ෂේප කොට ඇත්තේ කොතැනද? හෙළා දැක කවර සූත්‍රයක ද? අප දන්නා බුද්ධ දේශනාව තුළ බෞද්ධයාට එවන් තහනමක් පනවා නැත. භික්ෂූන්ට පවා එවැනි තහනමක් පනවා නැත. එහෙත් දෙව්දත්ගේ පංච වරයෙහි මේ ඉල්ලීම ඇතුළත්ය. එනම් භික්ෂූන් වහන්සේ නිර්මාංශ විය යුතු බවට ඉල්ලීමකි. එය ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ කීවේ භික්ෂූන්ට සිය කැමැත්ත අනුව මාංශ අනුභව කිරීම හෝ නොකිරීම කළ හැකි බවය. දෙව්දත් සිය මතයට භික්ෂූන් පිරිසක් නම්මවා ගෙන ඔහුගේ අදහස් අනුව බුදුන්ටත් වඩා හොඳ ජීවිතයක් ගත කරන බව ප්‍රදර්ශනය කරන්නට විය. එහෙත් වියන්ගොඩ අපට කියන්නේ බුදුදහම සකල මාංශ අනුභවය හෙලාදුටු බවකි.

මේ අනුව බුදුන් මඟහැරී ඇත්තේ සිංහල බෞද්ධයාට නොව වියන්ගොඩට බව පැහැදිලිය. ඔහු ඇසුවා නම් බණ අසා ඇත්තේ දෙව්දත්ගෙනි. සකල මාංශ අනුභවය හෙළාදුටුවේ දෙව්දත් මිස බුදුන් නොවේ. වියන්ගොඩ පමණක් නොව අපට වැදි බණ දෙසන බොහෝ දෙනා බණ අසා ඇත්තේ දෙව්දත්ගෙනි. එහෙයින් මෙවැනි දෙව්දත් බෞද්ධයින් ගැන සිංහල බෞද්ධයින් අවදියෙන් සිටිය යුතුය.

සිංහල බෞද්ධයා බෙහෙවින් නිර්මාංශ ආහාරවලට නැඹුරු වුවද මස් මාලු ආහාරයට නොගත්තේ යැයි කිව නොහැකිය. ඔහු ගව මස් නොකන්නේ ද ගව ඝාතනයට විරුද්ධ වන්නේ ආගමික කාරණාවක් නිසා නොව සංස්කෘතික හේතු නිසා බව අවබෝධ කරගැනීමට වියන්ගොඩලාට තව බොහෝ කාලයක් ගතවනු ඇත. සිංහල බෞද්ධයා ගව මස් මෙන් ම බලු මස් නොකන්නේ ද සංස්කෘතික හේතු නිසාය. දෙව්දත්ගෙන් බණ අසා එය අවබෝධ කරගත නොහැකිය. දෙව්දත්ගේ ගෝලයින්ගේ වැදි බණ අසා ද එය අවබෝධ කරගත නොහැකිය.



Tuesday, June 4, 2013

ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයාගෙන් ගැරඪියා බේරුණු හැටි...

බහු සංස්කෘතිය යනු පට්ටපල් බොරුවක් වන අතර ලොව සෑම රටකම ප්‍රධාන සංස්කෘතියක් තිබේ. ඉන්දියාවේ හින්දු සංස්කෘතියයි. පකිස්ථානයේ ඉස්ලාම් සංස්කෘතියයි. බටහිර රටවල සහ ඇමරිකාවේ ක්‍රිස්තියානි, කතෝලික සංස්කෘතියයි. එලෙසම ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. 

තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතිය යම් පුද්ගලයෙකුගේ සංස්කෘතිය නොවන විට ඔහුට එහි ප්‍රධාන සංස්කෘතියට යම් පමණකට අනුගත වීමට සිදුවේ. එයින් අදහස් කරන්නේ ඔවුන් සිය සංස්කෘතිය අත්හළ යුතු බවක් නොව සිය සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගන්නා අතර අදාළ සංස්කෘතියට අනුගත විය යුතු බවයි. එසේ නොවන විට ගැටුම් ඇති වේ. මෑත කාලයේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, රුසියාව ආදි රටවලින් වාර්තා වූ සිද්ධි ඒ සඳහා විමසා බැලිය හැකිය.

තුන් වේලට ම බලු මස් කන චීනෙක් එංගලන්තයට ගියහොත් ඔහුට සිය මස් වර්ගය මාරු කිරීමට සිදුවෙයි. එනම් ඔහුට හරක්, කුකුළු, එලු, ඔටු ආදි වෙන මසකින් යැපීමට සිදුවේ. එහිදි ඔහුට මස් කෑමට අවස්ථාව ලැබුණ ද බලු මස් කෑමට අවස්ථාව නොලැබේ. එසේම ගැරඬි මස් කෑමට ද අවස්ථාව නොලැබේ. එහිදී සිදුවන්නේ චීනාට එංගලන්ත සංස්කෘතියට අනුගත වීමටය. ඒ දහම ලංකාවට ද අදාළය.

කිසිදු සංස්කෘතියකට සියලු දෙනා සතුටු කළ නොහැකිය. කළ හැක්කේ බහුතරය සතුටු කිරීම පමණි. එය ඔබ සැම පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ද එකඟ හෙයින් පිළිනොගැනීමට හේතුවක් ඇතැයි නොසිතමි. මේ කාරණා පිළිබඳ බුදුන්ගේ මතය විමසීමට මුල් දහම කියවා පලක් නොමැත. අප රටේ බලපවත්වන්නේ මිහිදු හිමියන් බුදු දහම ලංකාවට රැගෙන ආ අවස්ථාවේ සිට මෙරට සමාජ දේශපාලනික අවශ්‍යතා අනුව හැඩ ගැසුණු බුදු දහමකි. එය සිංහල බුදු දහම යැයි කිව හැකිය. එහෙත් විඥානවාදී ඕල්කට්තුමාගේ ව්‍යාපාරය ඔස්සේ බිහි වූ ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයින්ට මෙය අවබෝධ කර ගත නොහැකිය. ඔවුන්ට ගවයා ද ඌරා ද කුකුළා ද සමානය. මන්ද ඕල්කට්තුමාගේ සංස්කෘතිය අනුව එය එසේය.

කෙසේ වුව ද චීනයෙන් හෝ කොරියාවෙන් මෙරටට ඕල්කට් කෙනෙක් ආවේ නැත. ෆාහියන් වැන්නෝ සංස්කෘතික ව්‍යාප්තවාදීහු නොවූහ. එසේ ආවේ නම් සිංහල බෞද්ධයාට මේ සටන ආරම්භ කිරීමට සිදුවන්නේ ගවයාගෙන් නොව බල්ලාගෙනි. සිංහල බෞද්ධයාට සිදුවන්නේ ගෙදර හුරතලේට හදන බල්ලා ආරක්ෂා කරගැනීමට සටන් කිරීමටය. ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයින්ගෙන් ගැරඬි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමටය. මේ රටේ චීන ඕල්කට් එනතුරු බලු මස් නොකෑ බව ද ගැරඬි නොකෑ බව ද අප කියන කල ඔවුන් අපෙන් ප්‍රශ්න කරනු ඇත්තේ ඇයි බල්ලා විතරක් කුකුළා කළුද? කියාය. ඇයි ගැරඬි විතරක් කන්න එපා කියන්නේ ඌරා කැත ද? කියාය.



මෙලෙස තමන් මහා පඬිවරු වම්හයි සිතා මෙරට සංස්කෘතිය ප්‍රශ්න කරන්නෝ ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයෝය. මිනිසුන් සිතන්නේ සංස්කෘතිය අනුවය. ඔවුහු ආගමින් බෞද්ධ වන අතර සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවෙති. එහෙත් ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ආගමින් කතෝලික වන අතර සංස්කෘතියෙන් සිංහල බෞද්ධ විය. මා කුඩා කළ රෝමානු කතෝලික යැයි තමන් හඳුන්වා ගත් ඇතැම්හු දැන් තමන් සිංහල කතෝලික යැයි කියති. විය යුත්තේ එයමය. මෙරට මහා සංස්කෘතිය සියලු දෙනා තමන්ගේ ද උරුමයක් ලෙස සැලකිය යුතුය. අපේ සිංහල බොදු ගීතාවලිය එලෙස මෙරට සංස්කෘතියට අනුගත වූ අන්‍ය ආගමික, අන්‍ය ජාතික, අන්‍ය සංස්කෘතික උදාර මිනිසුන්ගෙන් අප ලද මහාර්ඝ උරුමයකි.

ශ්‍රී දළඳා මාළිගාව සිංහල බෞද්ධ අපේ පමණක් නොව සිංහල හින්දුන්ගේ ද උරුමයකි. සිංහල බෞද්ධ අප පමණක් නොව උතුරේ හින්දු ජනතාව ද කතරගම වන්දනා කරනු පිණිස එති. ආගම් භේදයකින් තොරව අපි සියලු දෙනාම ශ්‍රීපාදය වන්දනා කරමු. මේ සිංහල බෞද්ධ උරුමය යැයි අප අන් අයට එහි නොයෙන්න යැයි කියා නොමැත. අපේ බෞද්ධ රජවරු ඉන්දියාවෙන් ගෙන ආ බිසෝවරුන්ට සිය ආගම වැළඳගත යුතු යැයි බල නොකළ අතර ඔවුන්ට පන්සල් අසල දේවාල තනාදුන්නේය. කලින් කල පැමිණි ආක්‍රමණික කණ්ඩායම් පසුව එන පිරිස්වල ප්‍රහාරවලින් ආරක්ෂා කළේ සිංහල බෞද්ධයින් සහ හාමුදුරුරුවය. ඒ සිංහල බෞද්ධයාගේ සහජීවනයයි.

කෙසේ වුව ද කිසිවෙකු සිය සංස්කෘතික උරුමය සංහාරය කිරීමට උපක්‍රම යොදන විට බුදුන් කීවේ හිස ගිනි ගත්තෙකු සේ වහා සසරින් එගොඩ වී නිවන සොයා යාමට යැයි ප්‍රොතෙස්ත්‍රන්ත බෞද්ධයින්ට අපට කියන්නේ එය ඔවුන්ගේ උරුමයක් නොවන හෙයිනි. හාමුදුරුවරුන්ට යුද්ධය වෙනුවෙන් පෙනී සිටිය හැකි දැයි පසුගිය යුද සමයේ ප්‍රශ්න කළේ ද ඔවුන්මය. මේ ඔවුන්ගේ රට යැයි ඔවුන් හැඟීමක් නොමැත. දුටුගැමුණු රජ දවස යුද්ධ සේනාව ඉදිරියෙන් 500ක් භික්ෂූන් වහන්සේ වැඩි බව ඔවුහු නොදනිති. දම මහා යෝධයින් අතර එන ථේරපුත්තාභය සිවුර හැර යුද්ධ කොට නැවත මහණ වී රහත්භාවය ලද තෙරුන්වහන්සේ කෙනෙකු බව ඔවුහු නොදනිති.

කෙසේ වුව ද සිංහල බෞද්ධයා වඩා පරිස්සම් විය යුත්තේ නගර ආශ්‍රීතව නිවන යනු අතේ දුර ඇති සිම්පල් බඩුවක් බව පවසමින් වැදි බණ දෙසන උන්නාන්සේලාගෙන්ය. මොවුන් වපුරන්නේ ප්‍රොතෙස්ත්‍රන්ත බුදුදහමය. සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධි බුදුදහමය. අප අද බෞද්ධයින් වන්නේ ද අපට අනන්‍ය සංස්කෘතියක් උරුම වන්නේ ද අපේ මුතුන් මිත්තන් නිවන් දැකීම පසෙක තබා ඒ උරුමය රැකගත් හෙයිනි.
 
සිය රට දේ සිරි සැප දේ !