Friday, October 18, 2024

පුහුල් හොරා කරෙන් දැනෙන පාස්කු නාටකේ...!

පාස්කු කොමිසම් සභා වාර්තාව ජනාධිපතිගේ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ නොව කෝටි ගණනක් මහජන ධනය වැය කොට මේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ කළ විමර්ශනයක් හෙයින් ඒවා වහාම පුසිද්ධ කළ යුතු බව ප්‍රකාශ කළේ එවක විපක්ෂ මන්ත්‍රී, වත්මන් ජනාධිපතිතුමා විසිනි. 

එපමණක් නොව පාස්කු ප්‍රහාරය බල පෙරළියක් උදෙසා දියත් කළ ම්ලේච්ඡ කුමන්ත්‍රණයක් බවත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ එම ප්‍රහාරය නිසා බවත් පවසමින් මාලිමා ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රාහිම් නානාගේ පුතුන් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළ බවටත් ප්‍රවාද ජනගත කරමින් එම ප්‍රහාරයෙන් ඉස්ලාම් අන්තවාදීන් ගලවා ගැනීමට උත්සාහ කළ අයුරු ද අමතක නැත.

එසේම පාස්කු විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ එම ප්‍රහාරයට එවක ජනපති ගෝඨාගේ මෙන්ම අනතුරුව රනිල්ගේ සමීපතමයන් සමග ඇති සබඳතා එළිවන නිසා බවට ද නේක කතා සමාජගත කළ අයුරු ජනතාවට අමතක වන්නට හේතුවක් නැත. ඒ මල් වට්ටියට වර්තමාන සජබ කණ්ඩායම් ද අත ගැසූහ.

එවැනි පසුබිමක වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්ව කළ යුතුව පැවති පළමු රාජකාරිය මෙම විමර්ශන වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමය. තමන් විපක්ෂයේ සිය කළ සියලු චෝදනා නිවැරදි වන බව තහවුරු කර පාස්කු කුමන්ත්‍රණය දියත් කළ අපරාධකරුවන් කුරුසයේ ඇණ ගැසීමය. 

එය නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස සිදු කරන බවට සහරාම් හෂීම් විනාඩි 40කට අධික කාලයක් තිස්සේ සිදුකරන පාපෝච්චාරණය බොරු කිරීමය.

එහෙත් බලයට පත්ව ඒ කිසිවක් නොකර පාස්කු විමර්ශන වාර්තා කොළ ගැලවී සුළ⁣ඟේ ගියා යැයි රට්ටු හිනස්සමින් වැල්  බයිලා ගසමින් තව දුරටත් එම වාර්තා සඟවා ගෙන සිටීම මෙම ආණ්ඩුවට කිසිසේත්ම සදාචාරාත්මක නැත. 

ඒවා ගම්මන්පිල අභියෝග කිරීමට පෙර පුසිද්ධියට පත් නොකිරීම ම ආණ්ඩුවේ දරුණු පරාජයකි. අනාගත විමර්ශන කටයුතුවලට එම වාර්තා ප්‍රසිද්ධ කිරීම ගැටලුවක් යැයි කීම ද විහිළුවකි.

එසේම දැන් පෙරළා කිසිවෙකුට මාලිමාවේ කණ්ඩායම්වලට පාස්කු ප්‍රහාරය⁣ සමග ඇති සබඳතා හෙළිවන නිසා මෙම වාර්තා සඟවන බවට චෝදනා කළ හැකිය. එම අනාවරණය ඉදිරි මහා මැතිවරණය⁣ට අවාසිදායක ලෙස බලපෑ හැකි නිසා මෙසේ ආණ්ඩුව කට්ටි පනිනවා යැයි චෝදනා කළ හැකිය. 

කොටින්ම විජිත හේරත් සඳහන් කළ වාර්තාවල ගලවන ලද කොළ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් සම්බන්ධ කොටස්, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සම්බන්ධ කොටස් විය හැකි බවටත් යමෙකු චෝදනා කරන්නට බැරි නැත. 

ඒ නිසා ජාතික ආරක්ෂාවට බලපාන කොටස් හැර මේ වාර්තා වහාම ආණ්ඩුව ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. ආණ්ඩුව තව දුරටත් කෝඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් ඉල්ලමින් ඊට පසුබට වන්නේ නම් ගම්මන්පිල පළා නොයා කී ආකාරයට අදාළ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුමය. 

පාස්කු ප්‍රහාරය දේශපාලන පාපන්දුවක් කරගැනීම ඒ දිවිදුන් ජනතාවට කරන බලවත් අසාධාරණයකි. ඔවුන් නැවත නැවත මරා දැමීමකි. ප්‍රහාරයකින් නොව ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ පිරිස පස්සේ පමණක් සොයන අය එදා දළදා මැදුර, ශ්‍රී මහා බෝධිය, අරන්තලාව, මහ බැංකුව, දෙහිවල ⁣දුම්රිය ආදී ප්‍රහාර හමුවේ එසේ කටයුතු කළ බවට සාධක නොමැත.

එසේමබආණ්ඩුව සිය සෞඛ්‍ය සහ ආයුෂ ගැන සිතන්නේ නම් වහාම පරීක්ෂණ කළ යුත්තේ ගම්මන්පිල ගැන නොව ජනපති අනුර බලයට පත්ව සති තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් මෙම වාර්තා ලීක් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කවුද යන්න ගැනය. එවැන්නක් සැබවින්ම සිදුව ඇත්නම් එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට ද තර්ජනයකි.

1 comment:

Lalith said...

ගම්මන්පිලලා කෑ ගහන විදිහට අපිට හිතෙන්නේ ඕකෙන් රාජපස්සලා බේරෙන විදිහට වාර්තාව හදල වගෙයි..

 
සිය රට දේ සිරි සැප දේ !