Wednesday, June 5, 2013

දෙව්දත්ගෙන් බණ ඇසූ ගාමිණි වියන්ගොඩලා... !!!

ගාමිණි වියන්ගොඩ මා දන්නේ ගාඪ සිංහල බසින් පොත් පරිවර්තනය කරන්නෙකු වශයෙනි. එහෙත් දැන් ඔහු සමාජ සංස්කෘතික දේශපාලන විචාරකයෙකු ලෙස ද ක්‍රියාකරයි. බොහෝ අයට මෙන්ම ඒ සඳහා ඔහුට ඇති එකම සුදුසුකම සිංහල බෞද්ධ විරෝධය පමණක් බව ඔහු ලියූ "සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම"  නමැති ලිපිය කියවූ විට පැහැදිලි විය. 

ඔහුට අනුව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි සිවුරක් පොරවා ගෙන සිටි පුද්ගලයෙකි. කුඩාපොල හිමි පිස්සෙක් යැයි ද වාරියපොල සුමංගල හිමි ඔල්මාදකාරයෙක් යයි ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි බෞද්ධ අන්තවාදියෙක් යැයි ද ඔහු කිවහොත් මම පුදුම නොවෙමි. සිය ලිපිය අතරතුර මෙසේ පවසයි. "ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල-බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයත් එක විට කෙළසීමයි." මේ අනුව ලංකාවේ සිංහල බෞද්ධයින් සිටින බව ද දළඳා මැදුර ඔවුන්ගේ පූජනීය ස්ථානයක් බව ද ඔහු පිළිගනියි.

සිංහල බෞද්ධයින්ගේ පූජනීය ස්ථානය කෙලෙසීම පිළිබඳ මෙසේ මුසුප්පුවට පත්ව සිටින වියන්ගොඩ දළදා මැදුරට කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර පිළිබඳ ලිපි කීයක් ලියා තිබේද? 1985 ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කොට භික්ෂූන් ඇතුළු 146ක් මරා 80 තුවාල සිදුකළ ප්‍රහාරය ගැන ඔහු කිසිවක් ලියා තිබේද? අරන්තලාව මහා භික්ෂූ සංහාරය පිළිබඳ කිසිවක් ලීවේ ද? එම ප්‍රහාරවලින් සිංහල බෞද්ධයා අමන්දානන්දයට පත්ව ඇතැයි ඔහු සිතනු විය යුතුය.



අනතුරුව රටේ නැති වල්පල් දොඩවා මෙලෙස ලිපිය අවසන් කරයි. "ඔබට, සිංහලයෙකු විය හැකිය. එසේම, බෞද්ධයෙකු ද විය හැකිය. එහෙත්, ඔබට සිංහල-බෞද්ධයෙකු විය නොහැකිය. මන්ද යත්, ගෞතම බුදුන් වහන්සේව එවිට ඔබට මගහැරෙන බැවිනි." ලිපිය මුල සිංහල බෞද්ධයින්ගේ දළඳා මැදුර ගැන කියවූ මොහු දැන් කියන්නේ කිසිවෙකුට සිංහල බෞද්ධ විය නොහැකි බවය. එවිට බුදුන් වහන්සේ මඟහැරෙයි. පෙර සඳහන් කළ සිංහල බෞද්ධයාට බුදුන් මඟහැරී ඇත. 

මෙසේ අපට බුදුන් මඟහැරී ඇතැයි පවසන වියන්ගොඩ මීට පෙර ලිපියක සඳහන් කර තිබුණේ තමන් කිසිදු ආගමකට අයත් නොවන බවය. එනම් ඔහු බෞද්ධයෙකු ද නොවේ. කිසිදු ආගමකට අයත් නැති භෞතිකවාදියෙකුට(?) සිංහල බෞද්ධයාට බුදුන් වහන්සේ මඟහැරීම පිළිබඳ ඇති රුදාව මට අවබෝධ කරගත නොහැකිය.

ලාංකික උගතුන් (බුද්ධිමතුන් නොවේ) මේ ලිපිය සිය Facebook profileවල මහත් උජාරුවෙන් අමුණා තිබිණි. ඒ සඳහා ඔවුන්ට ඇති අයිතියට මම ගරු කරමි. එහෙත් එවිට ඔවුන් සරම හැඳ ඔලුවෙන් සිට ගෙන සිටින බව වසන් කළ නොහැකිය.

වියන්ගොඩ සිය ලිපිය ආරම්භ කරන්නේ මෙසේය. "ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය." ඊළාම් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින වියන්ගොඩලා 13%ට ආසන්න හින්දූන්ගේ ආගමික අයිතීන් වෙනුවෙන් හඬ නොනඟන්නේ ඇයි? එය බටහිරට මාර්කට් කළ නොහැකි නිසාද? ගව මස පවා ප්‍රතික්ෂේප කළ නොහැකි අයෙකුට සකල මාංශ ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය කුමක් ද?

අනතුරුව වියන්ගොඩ පවසන්නේ බුද්ධාගම සකල මාංශ අනුභවය හෙළා දකින බවකි. බුදුන් වහන්සේ මස් කෑම ප්‍රතික්ෂේප කොට ඇත්තේ කොතැනද? හෙළා දැක කවර සූත්‍රයක ද? අප දන්නා බුද්ධ දේශනාව තුළ බෞද්ධයාට එවන් තහනමක් පනවා නැත. භික්ෂූන්ට පවා එවැනි තහනමක් පනවා නැත. එහෙත් දෙව්දත්ගේ පංච වරයෙහි මේ ඉල්ලීම ඇතුළත්ය. එනම් භික්ෂූන් වහන්සේ නිර්මාංශ විය යුතු බවට ඉල්ලීමකි. එය ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ කීවේ භික්ෂූන්ට සිය කැමැත්ත අනුව මාංශ අනුභව කිරීම හෝ නොකිරීම කළ හැකි බවය. දෙව්දත් සිය මතයට භික්ෂූන් පිරිසක් නම්මවා ගෙන ඔහුගේ අදහස් අනුව බුදුන්ටත් වඩා හොඳ ජීවිතයක් ගත කරන බව ප්‍රදර්ශනය කරන්නට විය. එහෙත් වියන්ගොඩ අපට කියන්නේ බුදුදහම සකල මාංශ අනුභවය හෙලාදුටු බවකි.

මේ අනුව බුදුන් මඟහැරී ඇත්තේ සිංහල බෞද්ධයාට නොව වියන්ගොඩට බව පැහැදිලිය. ඔහු ඇසුවා නම් බණ අසා ඇත්තේ දෙව්දත්ගෙනි. සකල මාංශ අනුභවය හෙළාදුටුවේ දෙව්දත් මිස බුදුන් නොවේ. වියන්ගොඩ පමණක් නොව අපට වැදි බණ දෙසන බොහෝ දෙනා බණ අසා ඇත්තේ දෙව්දත්ගෙනි. එහෙයින් මෙවැනි දෙව්දත් බෞද්ධයින් ගැන සිංහල බෞද්ධයින් අවදියෙන් සිටිය යුතුය.

සිංහල බෞද්ධයා බෙහෙවින් නිර්මාංශ ආහාරවලට නැඹුරු වුවද මස් මාලු ආහාරයට නොගත්තේ යැයි කිව නොහැකිය. ඔහු ගව මස් නොකන්නේ ද ගව ඝාතනයට විරුද්ධ වන්නේ ආගමික කාරණාවක් නිසා නොව සංස්කෘතික හේතු නිසා බව අවබෝධ කරගැනීමට වියන්ගොඩලාට තව බොහෝ කාලයක් ගතවනු ඇත. සිංහල බෞද්ධයා ගව මස් මෙන් ම බලු මස් නොකන්නේ ද සංස්කෘතික හේතු නිසාය. දෙව්දත්ගෙන් බණ අසා එය අවබෝධ කරගත නොහැකිය. දෙව්දත්ගේ ගෝලයින්ගේ වැදි බණ අසා ද එය අවබෝධ කරගත නොහැකිය.



No comments:

 
සිය රට දේ සිරි සැප දේ !