Monday, June 10, 2013

අහෝ වියන්ගොඩ නොදිටි මොක්පුර !!!


ගාමිණි වියන්ගොඩ තමා ඇතුළු සිය වර්ගයා අතර සිංහල බෞද්ධයා කෙරෙහි ඇති නොසන්සිඳෙන වෛරය පිරිමසා ගැනීමට ලියූ "සිංහල බෞද්ධ-හරක් මස් වෙනුවට බටහිර ක්‍රිස්තියානි හරක් මස් වැළඳීම" නම් ලිපිය ගැන මගේ අදහස් කිහිපයක් මීට පෙර මම කසාපබ්බතෙහි ලීවෙමි. ඔහු සිය ලිපියේ තව දුරටත් මෙසේ කියයි. "ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ශික්ෂා පදයට ගෑවෙන්නේ නැත." ගවයින්ට ආගම් නැත. ඔහු යොදන 'සිංහල-බෞද්ධ ගවයා' සහ 'බටහිර කිතුණු ගවයා' යන යෙදුම් දෙක එක්තරා සංස්කෘති දෙකක් නිගරුවට ලක් කරයි. 

වඩාත් උත්ප්‍රාසජනක කාරණය එය නොවේ. ගාමිණි වියන්ගොඩ අඩු තරමේ පන්සිල් පද පහේ තේරුමවත් නොදන්නා අයෙකු බව මෙහිදී අනාවරණය වීමය. 'පණාතිපාතා වේරමාණි සික්ඛා පදං සමාදියාමි' යන්නේ අර්ථය 'ප්‍රාණ ඝාතයෙන් වැළකීම නම් සිල් පදය සමාදම් වෙමි' යන්නය. එහෙත් වියන්ගොඩ සිතා සිටින්නේ එහි අර්ථය මස් කෑමෙන් වළකිමි වැන්නක් කියාය. අඩු තරමින් හරක් මස් කෑමෙන් වළකිමි යන්න කියාය. එසේ නම් බුදුන් වහන්සේ ගිහි අපට මස් නොකන්න යැයි දේශනා කොට දෙව්දත් තෙරුන් භික්ෂූන් නිර්මාංශ විය යුතු යැයි කරන ලද ඉල්ලීම ඉවත දමා තිබේ. අහෝ සර්වඥ බුදුන්ටත් වැරදිණි ද?

බුද්ධ දේශනාව අනුව ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමට නම් කරුණු 5ක් සම්පූර්ණ විය යුතුය. ඒ පණ ඇති සතෙකු වීම, පණ ඇති සතෙකු බව දැන ගැනීම, මරණු කැමැත්ත, මැරීමට උපක්‍රම යෙදීම, ඒ උපක්‍රම නිසා මරණය සිදුවීමය. එහෙත් ඒ අතර මස් කෑම නිසා ප්‍රාණ ඝාත අකුසලයක් සිදුවන බව හෝ එහි ගෑවි යන බව හෝ සඳහන් නොවේ. බුදුන් දවස එසේ සිතුවේ දෙව්දත්ය. අද ඒ දෙව්දත් දහම අපට දෙසන්නේ වියන්ගොඩලාය. 

මෑතදී බ්‍රිතාන්‍ය හමුදා සෙබලෙකු අන්තවාදී මුස්ලිම් තරුණයින් දෙදෙනෙක් මහ මග කපා කොට මරා දැමූහ. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තියා කපන වියන්ගොඩ එය ද සිංහල බෞද්ධයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට යොදා ගනියි. මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ප්‍රශ්නයක් වී තිබෙන්නේ කවු ද? ලෝක ත්‍රස්තවාදී ලැයිස්තුවේ මුල් පෙල සිටින්නේ කවුද? වර්තමාන ලෝක ගැටුම්වල අනීවාර්යයෙන් එක් පිලක් නියෝජනය කරන්නේ කවුද? 

සිංහල බෞද්ධයා ඉතිහාසයේ කිසියම් අවස්ථාවක සටනක් කළේ ද නැඟී සිටියේ ද ඒ සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙනි. අන්තවාදී නොවන කිසිවෙකුට මේ රටේ කිසිදා අනතුරක් නොවනු ඇත. කිසිවෙකු අන්තවාදය වපුරන්නේ නම් සිංහලයා සිය ආත්ම ආරක්ෂාව සඳහා නැගී සිටිනු ඇත. ඒ අන්තවාදී කල්ලි විසින් අනතුරේ හෙලන්නේ සිංහලයා පමණක් නොව සිය ජාතියේ ම සිංහලයා සමග ඉතා සමගියෙන් ජීවත් වන ජනතාවය.

ඔහු සිය ලිපියෙහි පවසන පරිදි සිංහල බෞද්ධයා ඌරු මස් කෑමට විරුද්ධ නොවන්නේ එවිට මුස්ලිම් මිනිසා සමඟ අනන්‍ය වන බැවිනි. එමෙන්ම ගව මස් කර්මාන්තය මුස්ලිම්වරු අත ඇති නිසා ගව මස් විරෝධය ඔවුන්ගේ ආර්ථික පදනමද අභියෝගයට ලක් කිරීමකි. මේ සැබෑවක් ද? ලංකාවේ ගව පමණක් නොව ඌරු මස් හැරුණු විට සෙසු මස් කර්මාන්තයේ බහුතර කොටස හිමි මුස්ලිම්වරුන්ටය. ඔවුන්ගේ ආර්ථික පදනම බිඳ දැමීමට නම් බෞද්ධයා සියලු මස් ප්‍රතික්ෂේප කළ යුතුය. 

අනෙක් අතට මොවුන් පවසන පරිදි සිංහල බෞද්ධයා ජාතිවාදීය. ඔවුහු දෙමළ මිනිසුන් මරා කෑමට බලා සිටින නර රකුසෝය. වියන්ගොඩ සිය ලිපියේ මුල් වැකියෙන් පවසන පරිදි ගව ඝාතන විරෝධය හින්දු ආගමිකය. හින්දු යනු දෙමළ අයගේ ආගමයි. එසේම දෙමළාට ගේම දීම සිංහලයාගේ එකම පැතුමයි. ඉතින් එවැනි නරුම සිංහල බෞද්ධයා හින්දුන්ගේ පූජනීය සතා මරා ගෙන කෑමට විරුද්ධ වීම ඔස්සේ දෙමළා සමඟ අනන්‍ය වන බව නොසිතුවේ ඇයි? මේවාට වියන්ගොඩ හෝ වියන්ගොඩගේ ශ්‍රාවකයින් පිළිතුරු දිය යුතුය. සියල්ලට පෙර මේ දෙව්දත් ශ්‍රාවකයෝ පංච ශීලය අවබෝධ කරගත යුතුය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !