Tuesday, June 4, 2013

ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයාගෙන් ගැරඪියා බේරුණු හැටි...

බහු සංස්කෘතිය යනු පට්ටපල් බොරුවක් වන අතර ලොව සෑම රටකම ප්‍රධාන සංස්කෘතියක් තිබේ. ඉන්දියාවේ හින්දු සංස්කෘතියයි. පකිස්ථානයේ ඉස්ලාම් සංස්කෘතියයි. බටහිර රටවල සහ ඇමරිකාවේ ක්‍රිස්තියානි, කතෝලික සංස්කෘතියයි. එලෙසම ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. 

තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතිය යම් පුද්ගලයෙකුගේ සංස්කෘතිය නොවන විට ඔහුට එහි ප්‍රධාන සංස්කෘතියට යම් පමණකට අනුගත වීමට සිදුවේ. එයින් අදහස් කරන්නේ ඔවුන් සිය සංස්කෘතිය අත්හළ යුතු බවක් නොව සිය සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගන්නා අතර අදාළ සංස්කෘතියට අනුගත විය යුතු බවයි. එසේ නොවන විට ගැටුම් ඇති වේ. මෑත කාලයේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, රුසියාව ආදි රටවලින් වාර්තා වූ සිද්ධි ඒ සඳහා විමසා බැලිය හැකිය.

තුන් වේලට ම බලු මස් කන චීනෙක් එංගලන්තයට ගියහොත් ඔහුට සිය මස් වර්ගය මාරු කිරීමට සිදුවෙයි. එනම් ඔහුට හරක්, කුකුළු, එලු, ඔටු ආදි වෙන මසකින් යැපීමට සිදුවේ. එහිදි ඔහුට මස් කෑමට අවස්ථාව ලැබුණ ද බලු මස් කෑමට අවස්ථාව නොලැබේ. එසේම ගැරඬි මස් කෑමට ද අවස්ථාව නොලැබේ. එහිදී සිදුවන්නේ චීනාට එංගලන්ත සංස්කෘතියට අනුගත වීමටය. ඒ දහම ලංකාවට ද අදාළය.

කිසිදු සංස්කෘතියකට සියලු දෙනා සතුටු කළ නොහැකිය. කළ හැක්කේ බහුතරය සතුටු කිරීම පමණි. එය ඔබ සැම පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ද එකඟ හෙයින් පිළිනොගැනීමට හේතුවක් ඇතැයි නොසිතමි. මේ කාරණා පිළිබඳ බුදුන්ගේ මතය විමසීමට මුල් දහම කියවා පලක් නොමැත. අප රටේ බලපවත්වන්නේ මිහිදු හිමියන් බුදු දහම ලංකාවට රැගෙන ආ අවස්ථාවේ සිට මෙරට සමාජ දේශපාලනික අවශ්‍යතා අනුව හැඩ ගැසුණු බුදු දහමකි. එය සිංහල බුදු දහම යැයි කිව හැකිය. එහෙත් විඥානවාදී ඕල්කට්තුමාගේ ව්‍යාපාරය ඔස්සේ බිහි වූ ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයින්ට මෙය අවබෝධ කර ගත නොහැකිය. ඔවුන්ට ගවයා ද ඌරා ද කුකුළා ද සමානය. මන්ද ඕල්කට්තුමාගේ සංස්කෘතිය අනුව එය එසේය.

කෙසේ වුව ද චීනයෙන් හෝ කොරියාවෙන් මෙරටට ඕල්කට් කෙනෙක් ආවේ නැත. ෆාහියන් වැන්නෝ සංස්කෘතික ව්‍යාප්තවාදීහු නොවූහ. එසේ ආවේ නම් සිංහල බෞද්ධයාට මේ සටන ආරම්භ කිරීමට සිදුවන්නේ ගවයාගෙන් නොව බල්ලාගෙනි. සිංහල බෞද්ධයාට සිදුවන්නේ ගෙදර හුරතලේට හදන බල්ලා ආරක්ෂා කරගැනීමට සටන් කිරීමටය. ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයින්ගෙන් ගැරඬි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමටය. මේ රටේ චීන ඕල්කට් එනතුරු බලු මස් නොකෑ බව ද ගැරඬි නොකෑ බව ද අප කියන කල ඔවුන් අපෙන් ප්‍රශ්න කරනු ඇත්තේ ඇයි බල්ලා විතරක් කුකුළා කළුද? කියාය. ඇයි ගැරඬි විතරක් කන්න එපා කියන්නේ ඌරා කැත ද? කියාය.



මෙලෙස තමන් මහා පඬිවරු වම්හයි සිතා මෙරට සංස්කෘතිය ප්‍රශ්න කරන්නෝ ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයෝය. මිනිසුන් සිතන්නේ සංස්කෘතිය අනුවය. ඔවුහු ආගමින් බෞද්ධ වන අතර සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවෙති. එහෙත් ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ආගමින් කතෝලික වන අතර සංස්කෘතියෙන් සිංහල බෞද්ධ විය. මා කුඩා කළ රෝමානු කතෝලික යැයි තමන් හඳුන්වා ගත් ඇතැම්හු දැන් තමන් සිංහල කතෝලික යැයි කියති. විය යුත්තේ එයමය. මෙරට මහා සංස්කෘතිය සියලු දෙනා තමන්ගේ ද උරුමයක් ලෙස සැලකිය යුතුය. අපේ සිංහල බොදු ගීතාවලිය එලෙස මෙරට සංස්කෘතියට අනුගත වූ අන්‍ය ආගමික, අන්‍ය ජාතික, අන්‍ය සංස්කෘතික උදාර මිනිසුන්ගෙන් අප ලද මහාර්ඝ උරුමයකි.

ශ්‍රී දළඳා මාළිගාව සිංහල බෞද්ධ අපේ පමණක් නොව සිංහල හින්දුන්ගේ ද උරුමයකි. සිංහල බෞද්ධ අප පමණක් නොව උතුරේ හින්දු ජනතාව ද කතරගම වන්දනා කරනු පිණිස එති. ආගම් භේදයකින් තොරව අපි සියලු දෙනාම ශ්‍රීපාදය වන්දනා කරමු. මේ සිංහල බෞද්ධ උරුමය යැයි අප අන් අයට එහි නොයෙන්න යැයි කියා නොමැත. අපේ බෞද්ධ රජවරු ඉන්දියාවෙන් ගෙන ආ බිසෝවරුන්ට සිය ආගම වැළඳගත යුතු යැයි බල නොකළ අතර ඔවුන්ට පන්සල් අසල දේවාල තනාදුන්නේය. කලින් කල පැමිණි ආක්‍රමණික කණ්ඩායම් පසුව එන පිරිස්වල ප්‍රහාරවලින් ආරක්ෂා කළේ සිංහල බෞද්ධයින් සහ හාමුදුරුරුවය. ඒ සිංහල බෞද්ධයාගේ සහජීවනයයි.

කෙසේ වුව ද කිසිවෙකු සිය සංස්කෘතික උරුමය සංහාරය කිරීමට උපක්‍රම යොදන විට බුදුන් කීවේ හිස ගිනි ගත්තෙකු සේ වහා සසරින් එගොඩ වී නිවන සොයා යාමට යැයි ප්‍රොතෙස්ත්‍රන්ත බෞද්ධයින්ට අපට කියන්නේ එය ඔවුන්ගේ උරුමයක් නොවන හෙයිනි. හාමුදුරුවරුන්ට යුද්ධය වෙනුවෙන් පෙනී සිටිය හැකි දැයි පසුගිය යුද සමයේ ප්‍රශ්න කළේ ද ඔවුන්මය. මේ ඔවුන්ගේ රට යැයි ඔවුන් හැඟීමක් නොමැත. දුටුගැමුණු රජ දවස යුද්ධ සේනාව ඉදිරියෙන් 500ක් භික්ෂූන් වහන්සේ වැඩි බව ඔවුහු නොදනිති. දම මහා යෝධයින් අතර එන ථේරපුත්තාභය සිවුර හැර යුද්ධ කොට නැවත මහණ වී රහත්භාවය ලද තෙරුන්වහන්සේ කෙනෙකු බව ඔවුහු නොදනිති.

කෙසේ වුව ද සිංහල බෞද්ධයා වඩා පරිස්සම් විය යුත්තේ නගර ආශ්‍රීතව නිවන යනු අතේ දුර ඇති සිම්පල් බඩුවක් බව පවසමින් වැදි බණ දෙසන උන්නාන්සේලාගෙන්ය. මොවුන් වපුරන්නේ ප්‍රොතෙස්ත්‍රන්ත බුදුදහමය. සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධි බුදුදහමය. අප අද බෞද්ධයින් වන්නේ ද අපට අනන්‍ය සංස්කෘතියක් උරුම වන්නේ ද අපේ මුතුන් මිත්තන් නිවන් දැකීම පසෙක තබා ඒ උරුමය රැකගත් හෙයිනි.

14 comments:

Unknown said...

සම්පුර්ණයෙන් එකඟයි.

නාමල් උඩලමත්ත said...

From FB.
Daya Dissanayake
දුටු ගැමුණු කතාව ගොඩ නැගුවේ ඒ කාලයේ දෙමළ විරෝධී උතුරු ඉන්දියානු ආර්යකම ලොකුවට ගත් අය නොවේද? ඔය 500ක් හමුදාව ඉස්සරහින් ගියෙ සැබෑ බුද්ධ පුත්‍රයන් ද? එහෙම එකක් තියා ඔය තරම් මහා යුද්දයක් එලාර එක්ක කළ කියන්න තියෙන සාක්කි මොනවද? අසෝක කාලිංග යුද්දෙ කළා කියන්න තියෙන සාක්කි මොනවද?

නාමල් උඩලමත්ත said...

From FB.
Niroshan Hendalage

දුටුගැමුණු මහා යුද්ධයක් කළා ද නැති ද යන්න පිළිබද සාක්ෂි සෙවීම ඉතිහාසවේදීන් ට අයත් කාර්යයක්ග. ඒ කොහොම වුවත් අනුරාධපුර පොළොන්නරු පුරාවිද්‍යාත්මක ස්ථාන “ඉබේ අල බහින්නා සේ“ පොළොව යටින් මතු වූ බවද දයා දිසානායක මහතාගේ අදහස??

නාමල් උඩලමත්ත said...

From FB.
Daya Dissanayake
ඉිතිහාසවේදින් ගෙන් නෙවෙයි මං ඇහුවෙ එහෙම මිත්‍යා කතා විස්වාස කරන අයගෙන්. අනුරාධපුරේ එක තැනක් කියන්න අළාර එක්ක කළ කියන මහා යුද්දය සම්බන්ද?

නාමල් උඩලමත්ත said...

From FB.
Niroshan Hendalage
නාමල් කියන කාරණාව නිවැරදියි. ඕනෑම රටකට සංස්කෘතික අනන්‍යතාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව ගොඩනැගෙනුයේ බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙන් බවද පැහැදිලියි. එනිසා ශ්‍රී ලාංකිකයකු වන හැමකෙකුම සිංහල බෞද්ධයකු නොවූ වත් සිංහල සංස්කෘතිය පිළිබද අවබෝධය ඇත්තකු විය යුතු බවට තර්කයක් නැහැ. බෞද්ධ සංස්කෘතිය හා ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම සියලුම අධ්‍යයනාංශවල විද්‍යාර්ථීන්ට අනිවාර්යය කරමින් සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ බදු පඞිවරුන් විද්‍යොදය විශ්වවිද්‍යාලය තුළින් ගොඩනැංවීමට උත්සාහ කළේ එයයි. උන්වහන්සේගේ උත්සාහය මේ රටේ සියලු අධ්‍යාපන ක්ෂේත්‍රයන් වෙත විහිද පැතිර ගියේ නම් අද සිංහල බෞද්ධ නාමයට මුවා වී රට වනසන්නට ඊනියා සිංහල බෞද්ධ නායකයන්ට ඉඩක් ලැබෙන්නේ නැතැයි මා සිතනවා!!

නාමල් උඩලමත්ත said...

From FB.
Namal Udalamatta
දුටුගැමුණු කතාව එන්නේ මහාවංශයේය. දුටුගැමුණු එළාර යුද්ධයක් සිදු නොවූ බවට ඔබට ඇති සාධක මොනවා ද? එවැනි යුද්ධයක් සිදු නොවූ බව මෙතෙක් කිසිදු ඉතිහාසඥයෙකු පවසනු මා අසා නැත. ඔවුන් අතර සාකච්ඡාවට ලක් වන්නේ එළාර දෙමළ ද එසේ නොවේ නම් ආර්ය ද යන්නය. මහාවංසය එළාර දෙමළ යැයි කීව ද දීපවංසය කියන්නේ ඔහු ආර්ය කුමාරයෙකු බවය. ඒ පිළිබඳ මහාචාර්ය අභය ආර්යසිංහ, සෙනරත් පරණවිතාන, සුමනසිරි වවුවගේ ආදීහු අදහස් දක්වා තිබේ.

මහාවංසය එළාර රජු ඉතා ගුණවත් මධ්‍යස්ථ පාලකයෙකු බව සඳහන් වේ. ඔහු සතුරන් හා මිතුරන් කෙරෙහි මධ්‍යස්ථ විය. කිසිවෙකුට අසාධාරණයක් වී නම් හැඬවීමට මිණි ගෙඩියක් එල්ලා තැබුවේය. වරක් රජුගේ එකම පුතු දිය නෑමට රියෙන් යද්දී වස්සෙකු යට වී මළ අතර දුකට පත් එළදෙන මිණිගෙඩිය හැඬවීය. රජු එම රියටම යට කොට පුතු මැරවීය. මේ සියල්ල එන්නේ ඔබ පවසන ඊනියා දෙමළ විරෝධී උතුරු ඉන්දියානු ආර්යකම ලොකුවට ගත් අය ලියූ මහාවංසයේය.

අනෙක් අතට එම ජාතිවාදී යුද්ධයක් ලෙස නම් කිරීම ද අතාර්කිකය. එය විදේශ ආක්‍රමණයකට එරෙහිව සිදු කළ විමුක්ති සටනකි. ඔබේ තර්කය නිවැරදි නම් මුල්ලේරියා සටන ද ජාතිවාදී සටනක් විය යුතුය. දුටුගැමුණුගේ සේනාව මෙහෙවූ ප්‍රධාන සෙන්පතියා නන්දිමිත්‍ර, එළාර රජුගේ සෙනෙවියෙකු වූ නන්දි නැමැත්තාගේ නැගනියගේ පුතු බව මහාවංසයෙහි සඳහන් වේ. දුටුගැමුණුගේ තවත් සෙන්පතියෙකු වූ වේළුසුමන යනු දෙමළ ජාතිකයෙක් බව සිතීම සදොස් නොවේ. එළාර රජු යටතේ බෞද්ධ සෙන්පතිවරු සිටි බවට සාධක තිබේ. දුටුගැමුණු රජුගේ සහෝදරයෙකු වූ දිඝාභය සිටියේ එළාර සමඟය. එලාරගේ ප්‍රධාන සෙන්පතියා දීඟජන්තු බෞද්ධයෙක් බවට සාධක තිබේ. එළාරගේ සෙන්පතියන් අතර එන ගාමිණි , මහේල, නන්දික ආදි නම් දෙමළ නොවේ.

දුටුගැමුණු ජාතිවාදියෙකු වී නම් ඔහුගේ සේනාව මෙහෙයවීමට නන්දිමිත්‍ර තෝරා ගනීවිද? එළාර රජු සිය සේනාව මෙහෙයවීමට බෞද්ධයෙකු පත් කරාවිද? මේ අනුව එය කිසිසේත් ජාතිවාදී ආගම්වාදී යුද්ධයක් නොව විදේශ ආක්‍රමණයකට එරෙහි සටනක් බව අවබෝධ කරගත හැකි යයි සිතමි.

ඉතිහාසයේ සිට මෙරට කිසියම් ආක්‍රමණයකට ගොදුරු වූ ඉදිරියට පැමිණියේ ජනතාව අවදි කළේ හාමුදුරුවරුය. ඉතිහාසය කියවීමෙන් එය අවබෝධ කරගත හැකිය. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ භික්ෂුවගේ උරුමය කෘතිය කියවා බැලීම මැනවි. හාමුදුරුවරු 500 නමක් පෙරමඟ වැඩියේ යුද්ධයට ජනතාව ඒකරාශි කර ගැනීම සඳහා විය යුතුය. එපමණක් නොව එක් සෙන්පතියෙකු සිවුරු හළ අයෙකු බව මම පෙර ද කීවෙමි. කුඩාපොල හාමුදුරුවන්, එස්. මහින්ද හිමියන් ඒ සඳහා මෑත නිදසුන්ය. පසුගිය යුද සමයේ සිවුරු හැර යුද්ධයට ගිය අයෙකු නැවත පැමිණ මහණ වූ බව මම මෑතදී පුවත්පතක කියවීමි. ඒ සඟ පරපුර මුල් බුදු සමය අනුව විග්‍රහ කළ නොහැකිය. ඒ සිංහල බෞද්ධ භික්ෂුවයි.

රාත්තල්වලින් දුර මැනීමට නොහැකි සේම බටහිර නිෂ්පාදිත මතවාද ඇසුරින් සිංහල සංස්කෘතිය සහ සිංහල බුදුදහම විග්‍රහ කළ නොහැකිය. ඒ සඳහා අපි අපේම දැනුමක් නිර්මාණය කරගත යුතුය. මේ රටේ ඊනියා ජනවාර්ගික අර්බූදයක් ඇති බව හුවා දැක්වීමට NGO අහිනක් විසින් පසුගිය කාලයේ ව්‍යාප්ත කළ මතවාද හිසින් ගෙන මිත්‍යාමත වපුරන්නේ මම ද ඔබ ද යන්න ඔබ නිදහසේ කල්පනා කළ යුතුය.

නාමල් උඩලමත්ත said...

From FB.
Daya Dissanayake
අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවට ගරු කළ යුතු බවට මං කවදත් එක'ගයි. අපේ රටේ අනන්‍යතාව කියන්නෙ සුද්දෝ ඇවිත් විනාස කරපු සංස්කෘතියම නෙවෙයි. අපේ රටේ තිබුනු ඉතාම දියුණු සංස්කෘතිය විනාශ කළේ මීට අවුරුදු 2300 කටවිතර කලාන් ඉ'දල අපේ රටට ආපු උතුරු ඉන්දියානු බ"හ්මණයොයි ක්ෂත්රියයොයි කියා ගනිපු අය. ඊට පස්සෙ දකුනු ඉන්දියාවෙන් ආපු අය. මේ සේරම තොරල බේරල අපේ අනන්‍යතාව හොය‌ා ගනිමු, කාටවත් පරගැති වෙන්නෙ නැතුව

නාමල් උඩලමත්ත said...

From FB.
Daya Dissanayake
ඔය සේරම කියන්නෙ මහාවංසෙන් නේ. එහෙම නැතුව තියෙන සාදක මොනවද? සිද්දියක් අනාද නැද්ද කියන ප"ශ්නෙදි ඒක උන බවයි ඔප්පු කරන්න ඕන. මෑත ඉතිහාසෙ සටන් ගැන තොරතුරු තියෙනවනෙ. ඒව ගැන නෙවෙයි නෙ කතා කළේ

නාමල් උඩලමත්ත said...

From FB.
Namal Udalamatta
කිසියම් ඉතිහාසගත සිද්ධියක් සිදුවීද නැද්ද යන්න විග්‍රහ කළ යුත්තේ ඒ පිළිබඳ විද්වතුන්ය. අපට කළ හැක්කේ ඒ මතවාද විග්‍රහ කරමින් නිවැරදි මතවාද ගොඩනඟා ගැනීම පමණි. කලින් මහාවංසය ජාතිවාදි යැයි කියූ ඔබ දැන් එය මගහැර වෙන දෙයක් කතා කරයි.

නාමල් උඩලමත්ත said...

From FB.
Kasun Pradeepa
ගවමස් ආහාරයට ගැනීම හෝ නොගැනීම සහ ගවමස් නොකන්නන් වෙනත් මාංශ ආහාරයට ගැනීම බෞද්ධ දර්ශනයට අදාල කාරණාවක් නොවන අතර එය සංස්කෘතිකමය කාරණාවකි..යම් කාරණාවක් හේතුවෙන් මහා සංස්කෘතිය සමග ඝට්ටනයක් ඇතිවේ නම් එය බොහෝදෙනෙකුට බලපාන ගැටළුවක් වීමට ඉඩ ඇත..මෙම සිද්ධිය හා අදාලව පළවූ අදහස් එක් පාර්ශවයකට අනුගත නොවී විවුර්තව විමසා බලන කල්හි, ගෝලීය කරණය වූ අප තුලින් අපගේ සංස්කෘතිය ගිලිහි යන බව නුවණින් විමසා බලන්නන් හට අවබෝධ කරගත හැක..එවූ කලි තම සහෝදරියද තවත් එක ගැහැනියක් පමණක් බව සිතා ඇය සමග රමණයේ යෙදීමට හැකි මානසිකත්වයක් තම සිත තුල රෝපණය කරගන්නාවූ ගමන් මගේ ආරම්භයක් පමණී.

නාමල් උඩලමත්ත said...

From FB.
Daya Dissanayake
නාමල් මහත්තයා මහාවංසය ජාතිවාදී තමයි, ඒ ජාතිවාදය ගොඩනැගුවෙ උතුරු ඉන්දියාවෙ ආර්ය කායගන්න ජාතියකට කත් ඇදපු අය. මං එළාර යුද්දය ගැන කතා කලෙත් මහාවංසයෙන් තමයි

ඔය කියන්නෙ සිංහබාහු සිංහසීවලී ගැන වෙනුනැති

නාමල් උඩලමත්ත said...

From FB.
Namal Udalamatta

ඔබතුමා මට වඩා වැඩිමල් රටම දන්න කියන මමත් බොහොම ගරු කරන විද්වතෙක්. ඉතින් ඔබතුමා සාධක සහිතව මං කියපු දේවල් වැරදියි කියලා ඔප්පු කරන්න. ඊට පස්සේ මං ඒක පිළිගන්නම්. නිකන් කත් ඇද්ද කියලා හරි යන්නේ නෑනේ. මං හැම වෙලාවෙම ඉගෙන ගන්න සුදානම්. බුදු හාමුදරුවෝ අපිට කීවේ බුදුන් කීවාත් ප්‍රශ්න නොකර පිළිගන්න එපා කියලානේ.

නාමල් උඩලමත්ත said...

From FB.
Daya Dissanayake
නාමල් මහත්තය අපා දෙන්නම දැන් ඉන්නෙ එකම පැත්තෙ. මං කරන්නෙත් මහාවංසෙ තිබු පලියට විස්වාස නොකර ප්‍රශ්න කරන එක. මෙච්චර කල් මං කියවල දැල තියෙන දේවල් නිසා මට තාම පිලිගන්න අමාරුයි දුටුගැමුණු ඔය කියන වගේ මහා යුද්දයක් කරයි කියල බුදු සසුන බේර ගන්න. ඒ වගේම කාලිංක යුද්දෙ ගැනත් ප්‍රශ්න තියෙනව. මං ත්ලෝනියකගේ කතා වස්තුවෙ ඒ හැම එකක්ම ප්‍රශ්න කරල තියෙනව

නාමල් උඩලමත්ත said...

From FB.
Namal Udalamatta

ඔව් ප්‍රශ්න කරන එක හොඳයි. ඒක තමයි කරන්න ඕන. කිසි දෙයක් නොවිමසා භාරගත යුතු නැහැ. මම මහාවංසය කියෙව්වේ ඒක ගැන ලියපු ගෝත්‍රවාදී විචාර කියවලා. ඒ විචාර එක එකාගේ පටු දේශපාලන අරමුණු සඳහා ලියපු බොරු කියලා ඒක සූක්ෂම අයුරින් කීයෙව්වාම පැහැදිලි වෙනවා.

 
සිය රට දේ සිරි සැප දේ !