Sunday, October 6, 2024

මහා මැතිවරණය සහ ජාතික ව්‍යාපාරයේ වගකීම...

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාමාඤ්ඤ සහ අමරපුර නිකායේ මහනාහිමිවරුන් බැහැදැක ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කරන අතර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද කටයුතු කරන බවයි. 

ජාතික ජන බලවේග 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 230 පිටුවේ සඳහන් ආකාරයට ඔවුන් 2015 යහපාලනාණ්ඩුව සමයේ ගෙන ඒමට නොහැකි වූ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එයි.

එකල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ලාල් විජේනායක කමිටුව මගින් ජනතා අදහස් යැයි යෝජනාවලියක් ගෙන ආ අතර එමගින් ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට ප්‍රාන්ත ආණ්ඩුවලින් සමන්විත එක්සත් රාජ්‍යයක් නැතහොත් ඔරුමිත්තනාඩුවක් යෝජනා කොට තිබිණි.

එම ඔරුමිත්තනාඩු රාජ්‍යයෙහි බුදු දහමට හිමි ප්‍රමුඛතාව ඉවත් කළ යුතු බව යෝජනා කරනු ලැබ තිබුණේ වත්මන් අගමැතිනී හරිනි අමරසූරිය මැතිනිය විසිනි.

ජාතික බලවේග මේ ගැන දැඩිව ප්‍රශ්න කරන විට ජනාධිපතිවරණය ආසන්නයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සමුළුවකට ගිය විජිත හේරත් කළේ බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් ඉවත් නොකරන බවත් රටේ ඒකීයභාවය සුරකින බවත් පවසා පක්ෂ යෝජනාවලිය පිළිබඳ ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු පිරිස ප්‍රශ්න කිරීමට පෙර සභාවෙන් පළා යාමය.


එහෙත් අවාසනාවන්ත ලෙස දැන් ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ පවසන පරිදි වලංගු බෞද්ධ මහා  සම්මේලනයේ කළ විජිත හේරත්ගේ ප්‍රකාශය නොව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන ප්‍රකාශයයි. ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා යෝජනාවලියයි.

වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන මෙම ව්‍යවස්ථාව බලාත්මක වුවහොත් වසර 2500කට අධික කාලයක් ආරක්ෂා කරගත් අපගේ රාජ්‍යයේ අවසානය සනිටුහන් තරන බවට නම් සැකයක් නැත. 

එහෙයින් එම යෝජනාවලිය නැවත ගෙන එන්නේ නම් එය 2016-2017 සමයෙහි මෙන්ම නැවත පරාජය කරලීමට ජාතිමාමක බලවේග පෙරට ආ යුතු අතර ඒ සඳහා එළඹෙන මහා මැතිවරණයේ දී ජනතාව බලගැන්විය යුතුය.

ජනාධිපතිවරණයේ දී 50% පවා නොදී 42% සුළුතර ජන වරමක් වත්මන් ජනාධිපතිවරයාට ලබා දුන් ආකාරයටම මහා මැතිවරණයේ දී මාලිමාවට ආසන 113ක ආණ්ඩුවක් පමණක් ලබා දීමට ජනතාව දැනුම්වත් කළ යුතුය.

ඊටත් වඩා වැදගත් වන්නේ බෙදුම්වාදයට එරෙහි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමය. ජනාධිපති වී සිය පියාවත් නොකළ 13 වන ව්‍යවස්ථා ⁣සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කී කිසිම දේශපාලන විඥානයක් ජාතිකත්වයක් නොමැති සජිත් ප්‍රේමදාසට එය කළ නොහැකිය.

ඔහු වටා සිටින හකීම්, මනො, මුජ්බර්, මරික්කාර් වැනි බෞද්ධ විරෝධීන් ඊට ඉඩ දෙන්⁣නේ ද නැත. එහෙයින් බෙදුම්වාදී ව්‍යවස්ථාව යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් දෙමළ ජාතික සන්ධානය සමග සජිත් පාර්ශ්වය ඊට අත එසවීමේ විශාල අවදානමක් ඇත.

එහෙයින් මේ අවස්ථාවේ ජාතිකත්වයට බර බෙදුම්වාදයට එරෙහි බලවේගයක් ශක්තිමත් කිරීම ජාතික බලවේගවල වගකීමයි. 

නාමල් රාජපක්ෂලා ඉදිරියේ දී බොරු නඩුවල පටලවමින් උසාවි බන්ධනාගාරවලට කොටු කිරීමේ වැඩි ඉඩක් ඇත. එවිට ඔවුන්ට රටේ ආරක්ෂාව ගැන නොව සිය පෞද්ගලික ආරක්ෂාව ගැන සිතීමට වද වීමට කාලය ගත කිරිමට සිදුවනු ඇත. 

රාජපක්ෂලා තමන්ට එරෙහිව අතිශයෝක්තියට නගා එකල එල්ල කළ බොහෝ චෝදනාවලට පිළිතුරු නොදී ඊට එ⁣රෙහිව නීතිය හමුවට නොගොස් ජනතාව අතර ඒවා කිඳා බසින තුරු නිහඬව සිටීමේ වරද ද රාජපක්ෂලාගේමය. ඔවුන් සිතන ආකාරයට ජනතාව ඉක්මනින්  සත්‍ය වටහා නොගන්නා අතර ඒ සඳහා කාලයක් ගතවනු ඇත. ජනතාව ද colombo motor show එක මෙන් ගිනි කන වැටී ඒවා දැක සතුටු වන අතර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ඉදිරියට එනු ඇත.

එහෙයින්  මේ අවස්ථාවේ දිලිත් ජයවීර ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂය ඇතුළු සර්වජන බලයෙන් වැඩි නියෝජනයක් පාර්ලිමේන්තුවට පත්කොට යැවීම රටේ ආරක්ෂාවට යහපත්ය. ඔවුන් ඉදිරිපත් කරන ව්‍යවසායකත් රාජ්‍යය යෝජනාව ද මම බෙහෙවින් අගය කරමි.

පසුගිය සමයේ බෙදුම්වාදයට ත්‍රස්තවාදයට අන්තවාදයට එරෙහි වූ ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර ආදී වැඩි පිරිසක් එම කඳවුර නියෝජනය කරති. මේ ඇතැමුන් ගැන පෞද්ගලිකව මට යම් ගැටලු තිබුණ ද ඒවා රටට වඩා ලොකු නැත.

මෙම පිරිස වර්තමාන ආණ්ඩුවේ රටට හිතැති යෝජනා සඳහා සහයෝගය ලබා දෙන අතර නිවැරදි මාවතේ යාමට ආණ්ඩුවට බල කරන අතර රටට අහිතකර ඕනෑම යෝජනාවක් බලපෑමක් පරාජය කිරීමට පෙරමුණ ගන්නා බව සිය අතීත භාවිතයෙන් තහවුරු කර ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !