Tuesday, February 9, 2010

ගලගණ්‌ඩයට එරෙහිව

පිළියන්දල පොලිසියේ කූඩුවෙහි රඳවා සිටි සැකකරුවකු රාත්‍රි කාලයේදී සිවිලිම බිඳගෙන වහලයත් කඩාගෙන පැන ගිය බවත්, ඔහු මුර කිරීමට සිටි රාළහාමි කෙනකු සහ පොලිසියේ රාත්‍රි සේවයෙහි නියුතුව සිටි සාජන් මහතකු සම්බන්ධයෙන් දැන් පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන බවත් මෙයට දින දෙක තුනකට පෙර අපට දැනගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් මෙබඳු අවස්‌ථාවලදී පොලිසිය කරන්නේ වහලය හා සිවිලිම තැනූ වඩු බාස්‌ අත්අඩංගුවට ගැනීමය. නැතහොත් පැනගිය එකාගේ බිරිය හා දරුවන් පොලිසියට ගාල් කිරීමය. එසේ නොකර වරද සම්බන්ධයෙන් ඇසට පෙනෙන වගකීම භාර දෙදෙනාට විරුද්ධව ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පරිපාලනය නැවත වරක්‌ නිසි අතට හැරෙමින් පවත්නා බවය. මේ පුවත නිසා පොලිස්‌සිය කෙරෙහි ඇති වූ පහන් සිතින් වෙසෙන අපට පසුගියදා ඇසුණු වෙනත් පුවතක්‌ නිසා මහත් සංවේගයක්‌ ඇතිවිය. ඒ වූ කලී මාතලේ දිස්‌ත්‍රික්‌කයේ මහවෙල ගමේ විහාරස්‌ථානයක වැඩවසන තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට මහවෙල පොලිසිය පහර දී ඇති බවත්, තුවාල ලද භික්‍ෂූන් දෙනමට රෝහලෙන් ප්‍රතිකාර ලබා දී ඇති බව ද දැනගන්නට තිබේ. පොලිස්‌පතිතුමා මේ ගැන පුද්ගලිකවම සොයා බලන්නේ නම් මහත් වටනේය. යුක්‌තිය හැම දෙනාටම එක හා සමව ඉටුවිය යුතුය.

ඊයේ දවස අපට මහත් සතුටු දවසකි. මන්දයත් තයිරොක්‌සින් ඖෂධය මෙරටදීම නිෂ්පාදනය කිරීමට ඖෂධ සංස්‌ථාව තීරණය කර ඇති බව ඊයේ (09 දා) "දිවයිනේ" පළ වී තිබීම ය. තයිරොක්‌සින් යනු තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිෂ්පාදනය කෙරෙන හෝමෝනයකි. සමහරකුගේ තයිරොයිඩ් ග්‍රන්ථිය එම හෝමෝනය නිපදවීම ක්‍රමයෙන් අඩු කර අවසානයේදී සම්පූර්ණයෙන්ම අත්හිටුවා දමයි. එවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමෙන්නට පටන් ගනී. ඔබත් අපත් දන්නා වායු ගෙඩිය හෙවත් ගලගණ්‌ඩය හටගන්නේ එවිට ය. මෙය සමාන කළ හැක්‌කේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නමැති හෝමෝනය නිෂ්පාදනය කෙරෙනු නැවැතීමට ය. එවිට දියවැඩියාව හටගනී. රෝගියා බේරා ගැනීමට නම් ඉන්සියුලින් සිරුරට එන්නත් කළ යුතුය. නැතහොත් වකුගඩු අක්‍රිය වී රෝගියා මියයයි. තයිරොක්‌සින් හිඟවීමෙන් ගලගණ්‌ඩය හටගෙන එය පමණ ඉක්‌මවා ඉදිමුණහොත් මාරක ප්‍රතිඵල හටගනී. සමහර විට කටහඬ පවා නැතිව යයි. මේ රෝගයට මුහුණපෑ කීර්තිමත් ගායකයකු වූ අබේවර්ධන බාලසූරියට අද කතා කිරීමට නොහැක.

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේදී හොඳ වැඩ කිහිපයකට අත ගැසීය. එයින් පළමුවැන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ ඇති කිරීමට වැඩ පටන් ගැනීම ය. මේ ප්‍රතිපත්තිය මගින් සිදුවන එක වාසියක්‌ පෙන්වා දෙමුá සාමාන්‍යයෙන් ඖෂධ වෙළෙඳපොළට එන්නේ විවිධ වෙළෙඳ නාම යටතේ ය. උදාහරණයක්‌ ලෙස පැරසිටමෝල් වේදනා නාශකය ගනිමු. මෙය විවිධ වෙළෙඳ නාම යටතේ වෙළෙඳ පොළට එයි. පැරසිටමෝල් පෙත්තක මිල සත 20 කට වඩා නැත. එහෙත් පැරසිටමෝල් පෙත්ත වෙළෙඳ නාමයන් යටතේ එන විට එක පෙත්තක මිල රුපියල් දෙකක්‌ හෝ තුනක්‌ වෙයි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ වෙළෙඳ නාමය යටතේ නොව රසායනික නාමය යටතේ ඖෂධ ලබාගැනීමේ වාසිය රෝගියාට ලැබෙයි.

තයිරොක්‌සින් හෝමෝනය නිපදවීමට පියවර ගැනීමෙන් ඖෂධ සංස්‌ථාව කර ඇත්තේ ජාතික මෙහෙවරකි. දියවැඩියාවට එරෙහිව ජාතික ව්‍යාපාරයක්‌ ඇති නමුත් ගලගණ්‌ඩයට එරෙහිව ජාතික ව්‍යාපාරයක්‌a ඇද්ද යන්න අපි නොදනිමු. කෙසේ වුවද තයිරොක්‌සින් මෙහිම නිපදවීමට තීරණය කිරීමෙන් විදේශවලට ඇදී යන මුදල මෙහිම ඉතිරි වනු ඇත. තමාට අවශ්‍ය ඖෂධය තම මවු රටෙහිම හෙවත් තම අත ළඟම නිපදවන බව ඇසීමෙන් ගලගණ්‌ඩ රෝගීන් තුළ මහත් සහනදායක සිතුවිල්ලක්‌ හටගන්නවා ඇත. මෙය මහත් පිනකි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ මේ පිනෙන් කොටසක්‌ රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාට අනුමෝදන් වන බවය. නිරෝගී බව පරම ලාභය බව බුදු වදනයි. සතුට පරම ධනයයි. නිරෝගී කය තුළ පරම සතුට හටගැනීම සිදුවන්නේ නිරායාසයෙනි.
(දිවයින - 10/02/10)

ටිප්පණිය - මෙහි සඳහන් පොලිසිය නිල බල නොසලකා වැරදිකරුවන්ට චෝදනා ගොනු කිරීම, රටට අවශ්‍ය ඖෂධ රටේ නිපදවීම ආරම්භ කිරීම මේ රටට ආදරය කරන සැමගේ මහත් සතුටට හේතු වනු ඇත. එය අප බොහේ කලක් පුල පුලා බලා සිටි තත්ත්වයකි. අපි දැන් වහා දියුණුව කරා යා යුතුය. අප‍ට අවශ්‍ය සියල්ල හැකි උපරිමයෙන් රටේ නිපදා ගත යුතුමය. අතිරික්තය පිට රට පටවා විදේශ විනිමය රටට ගෙන ආ යුතුය.

ඒවා ක්‍රමයෙන් දියුණු වන විට අරාබියේ වළං සේදීමට යවන අපේ ගෙදර බුදුන් අම්මා ගෙදර නවතා ගතත යුතුය. කාන්තාවන් විදෙස් වහල් සේවයෙන් සම්පූර්ණයෙන් මුදවා ගත යුතුය. ඒ සියල්ල කිරීමට පෙර භික්ෂූ දෙනමකට පහර දුන් පාහරයින් අල්ලා උන්ට ලබා දිය හැකි උපරිම දඬුවම දිය යුතුය. ඕනෑම කලවැද්දෙකුට මේ රටේ නීතිය එක සමාන බව පෙන්වා දිය යුත්තේ අධිකරණයයි.

Friday, February 5, 2010

මුට්‌ටි කාසි දේශපාලනයෙන් එහාට හිතමු

ඡන්ද ප්‍රතිඵලය දූෂිත නැතැයි මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක ප්‍රකාශ කිරීමත් සමඟම, ඒ ප්‍රතිඵලය කර තබාගෙන විපක්‍ෂය ගිය ගමන සියයට පනහකින් බාල වී තිබේ. ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් නොවන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බව ද මැතිවරණ කොමසාරිස්‌තුමා කියා තිබේ. ඒ ප්‍රකාශයත් සමඟම ප්‍රතිඵලයට එරෙහිව උසාවි යැමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වූ බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඡන්ද පෙත්සම්කරුවන් පෝළිමක්‌ දැක ගැනීම අපගේ අපේක්‍ෂාව වුවද කිසිවකුත් දක්‌නට නො ලැබිණ. ඒ අතර ඡන්ද ප්‍රතිඵලය සමඟ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව සෝමවංශ අමරසිංහ මැතිතුමා පවසනු අපි රූපවාහිනියෙන් දුටුවෙමු. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට සිටි අයට දැන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ගිය හැකිය. මේ සංවිධානයේ මූලස්‌ථානය පිහිටා ඇත්තේ ඇමරිකාවේය. ඇමරිකාවේ පදිංචියට යැම සඳහා කල් බලමින් සිටි ධනවත් දේශපාලකයන්ට මෙය හොඳ අවස්‌ථාවකි. රටේ හොඳ නම යකාට ගියාවේෘ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම නොපිරිහෙළා කළ යුතු කර්මාන්තයකි.

මැතිවරණයට පසුදා අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කරන අවස්‌ථාවේදී දයානන්ද දිශානායකයන්ගේ මුහුණ හොඳටම නරක්‌ වී තිබූ බවත් ඔහු දැඩි පීඩනයක්‌ යටතේ සිටි බවත් ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු හංස කණ්‌ඩායම පැවැසූහ. දයානන්ද දිශානායක යනු විශ්‍රාම යන වයස ද පසුකර බොහෝ කාලයක්‌ ගත වූ මහත්මයෙකි. මෙතුමාට පසුගිය ඡන්ද හත අටකම පටන් තිබෙන්නේ මේ මුහුණම ය. ඡන්දයක්‌ යනු සෙල්ලමක්‌ නොවේ. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්‌තුමා රාත්‍රි දෙක තුනක්‌ නිදි වරයි. ඔහුට දසතින් දුරකථන ඇමතුම් එයි. ඔහු ඡන්ද මධ්‍යස්‌ථාන විශාල ගණනක්‌ සමඟ සම්බන්ධතා පැවැත්විය යුතුය. ඡන්ද පොළ දහස්‌ ගණනක්‌ ගැන සොයා බැලිය යුතුය. කෙළවරක්‌ නැති පැමිණිලිවලට සවන් දිය යුතුය. මෙවැනි පීඩනයකට යටත්ව සිටින රජයේ නිලධාරියකු අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන විට වයලීනයක්‌ වයමින් ගීයක්‌ ගායනා කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිද? නැතහොත් විහිළු තහළු කරමින් ජනාධිපති අපේක්‍ෂකයන් කිති කවමින් එහා මෙහා දුවන භූමිකාවක්‌ ඒ නිලධරයා කළ යුතුද? විපක්‍ෂය බලාපොරොත්තු වන්නේ එවැනි ඡන්ද කොමසාරිස්‌ කෙනකු නම් මානසික රෝහලකින් කෙනකු කැඳවා ගත යුතු ය. මැතිවරණ සමයක තිබිය යුතු පීඩනය දිශානායක මහතා තුළින් විද්‍යමාන වන්නට ඇති. එසේ නොවන්නට නම් ඔහු හැඟීම් දැනීම් නැති ප්‍රතිමාවක්‌ විය යුතුය. විපක්‍ෂයේ ලණු කෑමට මැතිවරණ කොමසාරිස්‌තුමා සූදානම් බවක්‌ පෙනෙන්නට නැත. ඔවුන්ගේ ලණු ගිල දැමූ අසරණ ජෙනරාල්ට වූ විපත නොපෙනේද?

අප ඉදිරිපිට තිබෙන්නේ රට ගොඩනැඟිය යුතු කාලයයි. ත්‍රස්‌තවාදයෙන් සම්පූර්ණයෙන්ම විනිර්මුක්‌ත වූ මෙවැනි කාලයක්‌ යළි කිසි කලෙකත් නො එනවා ඇත. එහෙත් ඒ කාලයෙන් ප්‍රයෝජන ගෙන රට ගොඩනැංවීමේ කටයුත්තට උරදීමට බල ලෝභී විපක්‍ෂයට උවමනා නැත. කාණුවක තිබූ ඡන්ද පත්‍රිකා යෑයි කියන කරදාසි මිටියක්‌ සමඟ මහානායක හිමිවරුන් හමුවීමට එ.ජා.ප.යේ කරු ජයසූරිය මහතා යන්නේ වටිනා වැඩක්‌ කළ හැකි කාලය නිරපරාදේ දිය කර හරිමිනි. ජනාධිපතිවරණය නිමවී දෙවන සතියත් නික්‌ම යැමට ආසන්නව තිබුණත් සෝමවංශ අමරසිංහ මැතිතුමා තවමත් ජීවත්වන්නේ ඡන්ද දවස තුළය. මේ දවසින් එළියට නාවොත් එතුමාගේ සිහිය විකල්වීම නොවැළැක්‌විය හැකිය.

කිසියම් මැතිවරණයක ප්‍රතිඵල නිකුත් වූ පසු ඒ ගැන කල්පනා කරමින් සිටීමේ උවමනාවක්‌ මේ රටේ ජනයාට නැත. ඡන්දයෙන් පසු බලයට එන්නේ රාජපක්‍ෂද, ෆොන්සේකාද යන කාරණය සැලකිල්ලට නොගෙන මේ රටේ ජනයා වැඩට බසිති. මන්ද, කට වැඩ කරවිය හැක්‌කේ අත වැඩ කරවුවොත් පමණකැයි ඒ අය දනිති. එහෙත් පක්‍ෂවල මුට්‌ටි කාසිවලින් ජීවත්වන මහත්වරුන්ට එවැනි වගකීමක්‌ නැත. සැබෑව එයයි.
(දිවයින - 10/02/06)
ටිප්පණිය - ශ්‍රී ලංකා දේශපාලන කරළියේ ජවිපෙ තරම් හොඳට රඟපාන අනෙකකු නැත.ඒ රංගනය කෙතරම් අද්විතීය ද යත් අවසන ඔවුහු ද එහි ගිලී ඒ සැබෑ ලෝකය යැයි සිතති. අද ෆොන්සේකා මම ජනාධිපති යැයි කියා රට්ටු හිනස්සන්නේ ඒ රංගනයෙන් මෝහනය වීමෙනි. ඔවුන්ට මුට්ටිතාසි දේශපාලනයෙන් එහා ගමනක් නැති බව මේ වන විට ඔවුන් පෙන්වා තිබේ.එය අතීතයක් මිස අනාගතයක් නැති බංකොලොත් කල්ලියක තත්ත්වයට දැන් පිරිහී ඇත.වික්‍රමබාහුගේ කල්ලිය සහ සෝමවංශගේ කල්ලිය අතර වෙනසක් දැන් නැත.අපට දුක කලක් මේ රටේ බලාපොරොත්තුව වූ දේශපාලන ව්‍යාපාරයක් මෙසේ කුණු බක්කියට විසි වී යාම ගැනයි.ළඟ එන මහ මැතිවරණයෙන් පසු ද මොවුන්ට කීමට ඉතිරි වන්නේ ද හොර මැතිවරණයක් දූෂිත යන ප්‍රලාපය පමණි.ඒ සඳහා තව දුරටත් පාර්ලිමේන්තුව තුළ ඉඩක් ජනතාව මොවුන්ට නොදෙනු ඇත. ලිප්ටන් වට රවුම පමණක් ඉතිරි වනු ඇත.

Thursday, February 4, 2010

නිදහසට පසු වදනක්‌ (වියළි මිරිස්‌ නිදර්ශනය)

ඊයේ (4) මහනුවරදී පැවැති හැටදෙවන නිදහස්‌ දින උළෙලට මේ රටේ විපක්‍ෂය සහභාගි වූයේ නැත. එසේ වීමට හේතු දෙකක්‌ ඇතැයි අප තුළ උපකල්පනයක්‌ තිබේ. එනම්,

1. විපක්‍ෂය සතු දේශපාලන කුහකකම.

2. පසුගිය දිනවල කළ කී දෑ වලට අනුව රෙදි ඇඳගෙන නිදහස්‌ උත්සවයට සහභාගි වීමේ හැකියාවක්‌ විපක්‍ෂයට නො තිබීම.

මේ රටේ විපක්‍ෂය යනු කුමක්‌ ද? බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානය, එම සන්ධානයට සහාය දීම සඳහා ගිවිසුම් ගැසූ යූ.එන්.පී. ය සහ ජනතා විමුක්‌ති පෙරමුණ, මනෝ ගනේෂන්ගේ පක්‍ෂය (මේ පක්‍ෂයේ නමවත් මතක හිටින්නේ නැත.) මංගල සමරවීර නමැති පක්‍ෂය යනාදියෙන් විපක්‍ෂය සමන්විත ය. ජාතිවාදය, බල ලෝභය, කවදා බලයට පැමිණිය හැකි ද යන්න නො දන්නාකමින් හටගත් අපේක්‍ෂා භංගත්වය, අභ්‍යන්තර භේද භින්නවීම් සහ කුලල් කා ගැනීම් යනාදිය නිසා විශාල දේශපාලන බංකොලොත්භාවයකට මුහුණ පා සිටින මේ විපක්‍ෂයට කළ හැකි මළ ඉලව්වක්‌ නැත. එහෙත් නරක තත්ත්වයත් එයමයි. විපක්‍ෂය දුර්වල වූ තරමට ආණ්‌ඩුවට ආඥාදායකයකු වීම පහසු ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව එසේ නො වේවා

සියලු දෙනා විසින්ම සතුටින් සමරනු ලැබිය යුතු නිදහස්‌ දිනයේ තත්ත්වය එය වීම ගැන අප පුදුම විය යුතු නැත. රටේ තත්ත්වයත් එයමයි මිනියක්‌ වළලන්නට ගියත් පාංශුකූලයක්‌ දෙන්නට ගියත් හැම තැනකම භේද භින්න වැපිරී තිබේ. ඇතැම් ආගම්වලට අයත් සුසාන භූමිවල මිනියක්‌ වළලන්නට යන්නේ නම් මියගිය එකා ජීවත්ව සිටි කාලයේ දී බොහෝ දෑ කර තිබිය යුතු ය. තම ආගමේ ශාඛාවට දායක මුදල් ගෙවා තිබිය යුතු ය. නැතහොත් මිනිය වැළලීමට සුසාන භූමියේ ඉඩ නැත. ඇතැම් මෘත ශරීර සඳහා පාංශුකූල පැවැත්වීම දේශපාලන හේතු මත පවා ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. සුසාන භූමිය හා පාංශුකූලය අයත් වන්නේ මළ මිනිසුන්ට ය. එහෙත් දැන් ඒවා අයිතිකර ගෙන සිටින්නේ පණපිටින් සිටින මිනිසුන් ය.

මෙහෙම රටක්‌ ගොඩ එන්නේ කොහොමද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා 1948 පෙබරවාරි 4 වැනිදා ලංකාවෙන් නික්‌ම යන විට වෛරය, ද්වේශය, ක්‍රෝධය, භින්නරුචිය, පංති භේදය යනාදිය ඉතිරි කර ගියේ ය. මේ කිවූ කරුණු පහ සිංහලයාට අමුතුවෙන් උගැන්විය යුතු දේ නොවේ. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා පෙර කී පරිහානි ධර්මතාවල දහස්‌ ගුණයක පමණ මාත්‍රාවක්‌ සිංහල සමාජයට පෙවීය. සිංහලයා නරක දේට වහා හුරුවෙයි. හොඳම උදාහරණය වියළි මිරිස්‌ ය. සිංහලයා මෙයට වසර 300 කට පෙර වියළි මිරිස්‌ අනුභව කළේ නැත. ඒ අතර ඉංගිරිසි ආණ්‌ඩුව යටතේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෙළෙන්දෝත්, කරණවෑමියෝත්, වෙනත් වෘත්තිකයෝත් මෙහි ආහ. ඒ මිනිස්‌සු වියළි මිරිස්‌වලට පුරුදුව සිටි අය වෙති. ඔවුන්ගේ ආහාරය සඳහා මෙයට වසර 210 කට පමණ පෙර, පළමු වියළි මිරිස්‌ හොණ්‌ඩර 100, ඉන්දියාවෙන් ගෙන්වන ලදී. මාස 6 ක්‌ තුළ මේ ගණන දෙගුණ වූ අතර වසර 05 ක්‌ තුළ මුළු රටම, එතෙක්‌ තමන් අනුභව කරමින් සිටි ගම්මිරිස්‌, අමු මිරිස්‌, කොච්චි මිරිස්‌ පසෙක දමා වියළි මිරිස්‌ කන්නට පටන් ගත්හ. වියළි මිරිස්‌ අනුභවයෙන් කුස තැම්බෙයි. සිරෝසිස්‌ වැළඳෙයි. එහෙත් කාට කියමු ද? 1977 දී බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව පැරදීමට හේතුවක්‌ වූයේ වියළි මිරිස්‌ මිල ඉහළ යැම ය.

කීර්තිමත් යුද වීරයකු ලෙස සිය ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකාට තිබූ අවස්‌ථාව නැති කරන ලද්දේ මේ රටේ පෙර කී විපක්‍ෂය යි. ජාතියේ ලණු අඹරන්නා වූ මංගල සමරවීර මැතිතුමා විසින් ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය ලබා දුන් කොහුවලින් ඇඹරූ දේශපාලන ලණුව ගිල දැමූ ජෙනරාල් අද ඉතා නරක ලෙස අසරණ වී තිබේ. මේ සියලු දෙනාම ආපසු දිනා ගත හැකි නම් ආණ්‌ඩුවට දිගු ගමනක්‌ යා හැකි ය.

මේ රට බිය සහ දූෂණය නැති තැනක්‌ කරන බව ජනාධිපතිතුමා සිය නිදහස්‌ දින කතාවේ දී පැවැසී ය. එය කළ යුතුම ය. නැතහොත් තව වසර 20 ක්‌ පමණ ගිය තැන මේ රට වෙනුවට ඉතිරි වන්නේ හිස්‌ භූමියක්‌ පමණයි. මේ රටේ හැම අංශයකටම ප්‍රතිසංස්‌කරණ අවශ්‍යය. ප්‍රශ්න පත්‍ර අච්චු ගැසීමේ සිට පාරවල්වලට තාර දැමීම දක්‌වා වූ හැම දෙයකටම මේ ප්‍රතිසංස්‌කරණ අවශ්‍ය ය. ජනාධිපතිතුමා වටා සිටින අය කළ යුත්තේ එතුමා මුරුංගා අත්තක වාඩි කර අත්ත කැඩෙන තුරු බලා සිට "ඔන්න අත්ත කැඩුණා" යෑයි කීම නොව මේ රටේ පවත්නා දුක්‌ දොම්නස්‌වල සැබෑ තත්ත්වය එතුමාට කියා දීම ය.

මේ රට ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු පැවැති පළමු නිදහස්‌ සැමරුම නිමා වන්නේ පෙර කී කරුණු අප ඉදිරිපිට තබමිනි.
(දිවයින - 10/02/05)

ටිප්පණිය - විපක්ෂය නිදහස නොසැමරීම ගැන අපට නම් අමුතු පුදුමයක් නැත. නිදහස සැමරිය යුත්තේ නිදහස දිනූ මිනිසුන්ය. බටහිර අධිරාජ්‍ය බලවේගවල දේශීය නියෝජිත තණතුර උසුලන මෙරට විපක්ෂය ලබා ඇති නිදහස කුමක් ද? තවමත් සුද්දා කියන දේ කරන, උන්ගේ පදේට නටන නිවටයින්ට සැමරීමට ඇති නිදහස කුමක්ද? අද අපේ වගකීම වන්නේ මේ නිවට අම්බරුවන් පසුපස අයාලේ යන අපේ මිනිසුන් ඉන් ගලවා ගැනීමය. ඔවුන්ට ආදරයෙන් හරි මග කියා දීමය.

 
සිය රට දේ සිරි සැප දේ !