Friday, February 5, 2010

මුට්‌ටි කාසි දේශපාලනයෙන් එහාට හිතමු

ඡන්ද ප්‍රතිඵලය දූෂිත නැතැයි මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක ප්‍රකාශ කිරීමත් සමඟම, ඒ ප්‍රතිඵලය කර තබාගෙන විපක්‍ෂය ගිය ගමන සියයට පනහකින් බාල වී තිබේ. ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් නොවන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බව ද මැතිවරණ කොමසාරිස්‌තුමා කියා තිබේ. ඒ ප්‍රකාශයත් සමඟම ප්‍රතිඵලයට එරෙහිව උසාවි යැමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වූ බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඡන්ද පෙත්සම්කරුවන් පෝළිමක්‌ දැක ගැනීම අපගේ අපේක්‍ෂාව වුවද කිසිවකුත් දක්‌නට නො ලැබිණ. ඒ අතර ඡන්ද ප්‍රතිඵලය සමඟ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව සෝමවංශ අමරසිංහ මැතිතුමා පවසනු අපි රූපවාහිනියෙන් දුටුවෙමු. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට සිටි අයට දැන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ගිය හැකිය. මේ සංවිධානයේ මූලස්‌ථානය පිහිටා ඇත්තේ ඇමරිකාවේය. ඇමරිකාවේ පදිංචියට යැම සඳහා කල් බලමින් සිටි ධනවත් දේශපාලකයන්ට මෙය හොඳ අවස්‌ථාවකි. රටේ හොඳ නම යකාට ගියාවේෘ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම නොපිරිහෙළා කළ යුතු කර්මාන්තයකි.

මැතිවරණයට පසුදා අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කරන අවස්‌ථාවේදී දයානන්ද දිශානායකයන්ගේ මුහුණ හොඳටම නරක්‌ වී තිබූ බවත් ඔහු දැඩි පීඩනයක්‌ යටතේ සිටි බවත් ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු හංස කණ්‌ඩායම පැවැසූහ. දයානන්ද දිශානායක යනු විශ්‍රාම යන වයස ද පසුකර බොහෝ කාලයක්‌ ගත වූ මහත්මයෙකි. මෙතුමාට පසුගිය ඡන්ද හත අටකම පටන් තිබෙන්නේ මේ මුහුණම ය. ඡන්දයක්‌ යනු සෙල්ලමක්‌ නොවේ. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්‌තුමා රාත්‍රි දෙක තුනක්‌ නිදි වරයි. ඔහුට දසතින් දුරකථන ඇමතුම් එයි. ඔහු ඡන්ද මධ්‍යස්‌ථාන විශාල ගණනක්‌ සමඟ සම්බන්ධතා පැවැත්විය යුතුය. ඡන්ද පොළ දහස්‌ ගණනක්‌ ගැන සොයා බැලිය යුතුය. කෙළවරක්‌ නැති පැමිණිලිවලට සවන් දිය යුතුය. මෙවැනි පීඩනයකට යටත්ව සිටින රජයේ නිලධාරියකු අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන විට වයලීනයක්‌ වයමින් ගීයක්‌ ගායනා කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිද? නැතහොත් විහිළු තහළු කරමින් ජනාධිපති අපේක්‍ෂකයන් කිති කවමින් එහා මෙහා දුවන භූමිකාවක්‌ ඒ නිලධරයා කළ යුතුද? විපක්‍ෂය බලාපොරොත්තු වන්නේ එවැනි ඡන්ද කොමසාරිස්‌ කෙනකු නම් මානසික රෝහලකින් කෙනකු කැඳවා ගත යුතු ය. මැතිවරණ සමයක තිබිය යුතු පීඩනය දිශානායක මහතා තුළින් විද්‍යමාන වන්නට ඇති. එසේ නොවන්නට නම් ඔහු හැඟීම් දැනීම් නැති ප්‍රතිමාවක්‌ විය යුතුය. විපක්‍ෂයේ ලණු කෑමට මැතිවරණ කොමසාරිස්‌තුමා සූදානම් බවක්‌ පෙනෙන්නට නැත. ඔවුන්ගේ ලණු ගිල දැමූ අසරණ ජෙනරාල්ට වූ විපත නොපෙනේද?

අප ඉදිරිපිට තිබෙන්නේ රට ගොඩනැඟිය යුතු කාලයයි. ත්‍රස්‌තවාදයෙන් සම්පූර්ණයෙන්ම විනිර්මුක්‌ත වූ මෙවැනි කාලයක්‌ යළි කිසි කලෙකත් නො එනවා ඇත. එහෙත් ඒ කාලයෙන් ප්‍රයෝජන ගෙන රට ගොඩනැංවීමේ කටයුත්තට උරදීමට බල ලෝභී විපක්‍ෂයට උවමනා නැත. කාණුවක තිබූ ඡන්ද පත්‍රිකා යෑයි කියන කරදාසි මිටියක්‌ සමඟ මහානායක හිමිවරුන් හමුවීමට එ.ජා.ප.යේ කරු ජයසූරිය මහතා යන්නේ වටිනා වැඩක්‌ කළ හැකි කාලය නිරපරාදේ දිය කර හරිමිනි. ජනාධිපතිවරණය නිමවී දෙවන සතියත් නික්‌ම යැමට ආසන්නව තිබුණත් සෝමවංශ අමරසිංහ මැතිතුමා තවමත් ජීවත්වන්නේ ඡන්ද දවස තුළය. මේ දවසින් එළියට නාවොත් එතුමාගේ සිහිය විකල්වීම නොවැළැක්‌විය හැකිය.

කිසියම් මැතිවරණයක ප්‍රතිඵල නිකුත් වූ පසු ඒ ගැන කල්පනා කරමින් සිටීමේ උවමනාවක්‌ මේ රටේ ජනයාට නැත. ඡන්දයෙන් පසු බලයට එන්නේ රාජපක්‍ෂද, ෆොන්සේකාද යන කාරණය සැලකිල්ලට නොගෙන මේ රටේ ජනයා වැඩට බසිති. මන්ද, කට වැඩ කරවිය හැක්‌කේ අත වැඩ කරවුවොත් පමණකැයි ඒ අය දනිති. එහෙත් පක්‍ෂවල මුට්‌ටි කාසිවලින් ජීවත්වන මහත්වරුන්ට එවැනි වගකීමක්‌ නැත. සැබෑව එයයි.
(දිවයින - 10/02/06)
ටිප්පණිය - ශ්‍රී ලංකා දේශපාලන කරළියේ ජවිපෙ තරම් හොඳට රඟපාන අනෙකකු නැත.ඒ රංගනය කෙතරම් අද්විතීය ද යත් අවසන ඔවුහු ද එහි ගිලී ඒ සැබෑ ලෝකය යැයි සිතති. අද ෆොන්සේකා මම ජනාධිපති යැයි කියා රට්ටු හිනස්සන්නේ ඒ රංගනයෙන් මෝහනය වීමෙනි. ඔවුන්ට මුට්ටිතාසි දේශපාලනයෙන් එහා ගමනක් නැති බව මේ වන විට ඔවුන් පෙන්වා තිබේ.එය අතීතයක් මිස අනාගතයක් නැති බංකොලොත් කල්ලියක තත්ත්වයට දැන් පිරිහී ඇත.වික්‍රමබාහුගේ කල්ලිය සහ සෝමවංශගේ කල්ලිය අතර වෙනසක් දැන් නැත.අපට දුක කලක් මේ රටේ බලාපොරොත්තුව වූ දේශපාලන ව්‍යාපාරයක් මෙසේ කුණු බක්කියට විසි වී යාම ගැනයි.ළඟ එන මහ මැතිවරණයෙන් පසු ද මොවුන්ට කීමට ඉතිරි වන්නේ ද හොර මැතිවරණයක් දූෂිත යන ප්‍රලාපය පමණි.ඒ සඳහා තව දුරටත් පාර්ලිමේන්තුව තුළ ඉඩක් ජනතාව මොවුන්ට නොදෙනු ඇත. ලිප්ටන් වට රවුම පමණක් ඉතිරි වනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !