Tuesday, February 9, 2010

ගලගණ්‌ඩයට එරෙහිව

පිළියන්දල පොලිසියේ කූඩුවෙහි රඳවා සිටි සැකකරුවකු රාත්‍රි කාලයේදී සිවිලිම බිඳගෙන වහලයත් කඩාගෙන පැන ගිය බවත්, ඔහු මුර කිරීමට සිටි රාළහාමි කෙනකු සහ පොලිසියේ රාත්‍රි සේවයෙහි නියුතුව සිටි සාජන් මහතකු සම්බන්ධයෙන් දැන් පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන බවත් මෙයට දින දෙක තුනකට පෙර අපට දැනගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් මෙබඳු අවස්‌ථාවලදී පොලිසිය කරන්නේ වහලය හා සිවිලිම තැනූ වඩු බාස්‌ අත්අඩංගුවට ගැනීමය. නැතහොත් පැනගිය එකාගේ බිරිය හා දරුවන් පොලිසියට ගාල් කිරීමය. එසේ නොකර වරද සම්බන්ධයෙන් ඇසට පෙනෙන වගකීම භාර දෙදෙනාට විරුද්ධව ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පරිපාලනය නැවත වරක්‌ නිසි අතට හැරෙමින් පවත්නා බවය. මේ පුවත නිසා පොලිස්‌සිය කෙරෙහි ඇති වූ පහන් සිතින් වෙසෙන අපට පසුගියදා ඇසුණු වෙනත් පුවතක්‌ නිසා මහත් සංවේගයක්‌ ඇතිවිය. ඒ වූ කලී මාතලේ දිස්‌ත්‍රික්‌කයේ මහවෙල ගමේ විහාරස්‌ථානයක වැඩවසන තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට මහවෙල පොලිසිය පහර දී ඇති බවත්, තුවාල ලද භික්‍ෂූන් දෙනමට රෝහලෙන් ප්‍රතිකාර ලබා දී ඇති බව ද දැනගන්නට තිබේ. පොලිස්‌පතිතුමා මේ ගැන පුද්ගලිකවම සොයා බලන්නේ නම් මහත් වටනේය. යුක්‌තිය හැම දෙනාටම එක හා සමව ඉටුවිය යුතුය.

ඊයේ දවස අපට මහත් සතුටු දවසකි. මන්දයත් තයිරොක්‌සින් ඖෂධය මෙරටදීම නිෂ්පාදනය කිරීමට ඖෂධ සංස්‌ථාව තීරණය කර ඇති බව ඊයේ (09 දා) "දිවයිනේ" පළ වී තිබීම ය. තයිරොක්‌සින් යනු තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිෂ්පාදනය කෙරෙන හෝමෝනයකි. සමහරකුගේ තයිරොයිඩ් ග්‍රන්ථිය එම හෝමෝනය නිපදවීම ක්‍රමයෙන් අඩු කර අවසානයේදී සම්පූර්ණයෙන්ම අත්හිටුවා දමයි. එවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමෙන්නට පටන් ගනී. ඔබත් අපත් දන්නා වායු ගෙඩිය හෙවත් ගලගණ්‌ඩය හටගන්නේ එවිට ය. මෙය සමාන කළ හැක්‌කේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නමැති හෝමෝනය නිෂ්පාදනය කෙරෙනු නැවැතීමට ය. එවිට දියවැඩියාව හටගනී. රෝගියා බේරා ගැනීමට නම් ඉන්සියුලින් සිරුරට එන්නත් කළ යුතුය. නැතහොත් වකුගඩු අක්‍රිය වී රෝගියා මියයයි. තයිරොක්‌සින් හිඟවීමෙන් ගලගණ්‌ඩය හටගෙන එය පමණ ඉක්‌මවා ඉදිමුණහොත් මාරක ප්‍රතිඵල හටගනී. සමහර විට කටහඬ පවා නැතිව යයි. මේ රෝගයට මුහුණපෑ කීර්තිමත් ගායකයකු වූ අබේවර්ධන බාලසූරියට අද කතා කිරීමට නොහැක.

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේදී හොඳ වැඩ කිහිපයකට අත ගැසීය. එයින් පළමුවැන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ ඇති කිරීමට වැඩ පටන් ගැනීම ය. මේ ප්‍රතිපත්තිය මගින් සිදුවන එක වාසියක්‌ පෙන්වා දෙමුá සාමාන්‍යයෙන් ඖෂධ වෙළෙඳපොළට එන්නේ විවිධ වෙළෙඳ නාම යටතේ ය. උදාහරණයක්‌ ලෙස පැරසිටමෝල් වේදනා නාශකය ගනිමු. මෙය විවිධ වෙළෙඳ නාම යටතේ වෙළෙඳ පොළට එයි. පැරසිටමෝල් පෙත්තක මිල සත 20 කට වඩා නැත. එහෙත් පැරසිටමෝල් පෙත්ත වෙළෙඳ නාමයන් යටතේ එන විට එක පෙත්තක මිල රුපියල් දෙකක්‌ හෝ තුනක්‌ වෙයි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ වෙළෙඳ නාමය යටතේ නොව රසායනික නාමය යටතේ ඖෂධ ලබාගැනීමේ වාසිය රෝගියාට ලැබෙයි.

තයිරොක්‌සින් හෝමෝනය නිපදවීමට පියවර ගැනීමෙන් ඖෂධ සංස්‌ථාව කර ඇත්තේ ජාතික මෙහෙවරකි. දියවැඩියාවට එරෙහිව ජාතික ව්‍යාපාරයක්‌ ඇති නමුත් ගලගණ්‌ඩයට එරෙහිව ජාතික ව්‍යාපාරයක්‌a ඇද්ද යන්න අපි නොදනිමු. කෙසේ වුවද තයිරොක්‌සින් මෙහිම නිපදවීමට තීරණය කිරීමෙන් විදේශවලට ඇදී යන මුදල මෙහිම ඉතිරි වනු ඇත. තමාට අවශ්‍ය ඖෂධය තම මවු රටෙහිම හෙවත් තම අත ළඟම නිපදවන බව ඇසීමෙන් ගලගණ්‌ඩ රෝගීන් තුළ මහත් සහනදායක සිතුවිල්ලක්‌ හටගන්නවා ඇත. මෙය මහත් පිනකි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ මේ පිනෙන් කොටසක්‌ රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාට අනුමෝදන් වන බවය. නිරෝගී බව පරම ලාභය බව බුදු වදනයි. සතුට පරම ධනයයි. නිරෝගී කය තුළ පරම සතුට හටගැනීම සිදුවන්නේ නිරායාසයෙනි.
(දිවයින - 10/02/10)

ටිප්පණිය - මෙහි සඳහන් පොලිසිය නිල බල නොසලකා වැරදිකරුවන්ට චෝදනා ගොනු කිරීම, රටට අවශ්‍ය ඖෂධ රටේ නිපදවීම ආරම්භ කිරීම මේ රටට ආදරය කරන සැමගේ මහත් සතුටට හේතු වනු ඇත. එය අප බොහේ කලක් පුල පුලා බලා සිටි තත්ත්වයකි. අපි දැන් වහා දියුණුව කරා යා යුතුය. අප‍ට අවශ්‍ය සියල්ල හැකි උපරිමයෙන් රටේ නිපදා ගත යුතුමය. අතිරික්තය පිට රට පටවා විදේශ විනිමය රටට ගෙන ආ යුතුය.

ඒවා ක්‍රමයෙන් දියුණු වන විට අරාබියේ වළං සේදීමට යවන අපේ ගෙදර බුදුන් අම්මා ගෙදර නවතා ගතත යුතුය. කාන්තාවන් විදෙස් වහල් සේවයෙන් සම්පූර්ණයෙන් මුදවා ගත යුතුය. ඒ සියල්ල කිරීමට පෙර භික්ෂූ දෙනමකට පහර දුන් පාහරයින් අල්ලා උන්ට ලබා දිය හැකි උපරිම දඬුවම දිය යුතුය. ඕනෑම කලවැද්දෙකුට මේ රටේ නීතිය එක සමාන බව පෙන්වා දිය යුත්තේ අධිකරණයයි.

1 comment:

Hakuna Matata said...

http://kantharaya.wordpress.com/

වචනයකට තේරුම ලැබෙන්නේ කොහොමද

* වචනයකට තේරුම ලැබෙන්නේ කොහොමද ?
* “තේරුම” තියෙන්නේ කොහේද ?
* වචන වලට තේරුම දෙන්නේ කවුද ?
* “අම්මා” යන වචනයට තේරුම ලැබෙන්නේ කොහොමද?
* “ගස” යැයි කිවූ විට එම ශබ්දයට ගස යැයි තේරුම ලැබෙන්නේ කොහොමද?

 
සිය රට දේ සිරි සැප දේ !