Thursday, February 4, 2010

නිදහසට පසු වදනක්‌ (වියළි මිරිස්‌ නිදර්ශනය)

ඊයේ (4) මහනුවරදී පැවැති හැටදෙවන නිදහස්‌ දින උළෙලට මේ රටේ විපක්‍ෂය සහභාගි වූයේ නැත. එසේ වීමට හේතු දෙකක්‌ ඇතැයි අප තුළ උපකල්පනයක්‌ තිබේ. එනම්,

1. විපක්‍ෂය සතු දේශපාලන කුහකකම.

2. පසුගිය දිනවල කළ කී දෑ වලට අනුව රෙදි ඇඳගෙන නිදහස්‌ උත්සවයට සහභාගි වීමේ හැකියාවක්‌ විපක්‍ෂයට නො තිබීම.

මේ රටේ විපක්‍ෂය යනු කුමක්‌ ද? බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානය, එම සන්ධානයට සහාය දීම සඳහා ගිවිසුම් ගැසූ යූ.එන්.පී. ය සහ ජනතා විමුක්‌ති පෙරමුණ, මනෝ ගනේෂන්ගේ පක්‍ෂය (මේ පක්‍ෂයේ නමවත් මතක හිටින්නේ නැත.) මංගල සමරවීර නමැති පක්‍ෂය යනාදියෙන් විපක්‍ෂය සමන්විත ය. ජාතිවාදය, බල ලෝභය, කවදා බලයට පැමිණිය හැකි ද යන්න නො දන්නාකමින් හටගත් අපේක්‍ෂා භංගත්වය, අභ්‍යන්තර භේද භින්නවීම් සහ කුලල් කා ගැනීම් යනාදිය නිසා විශාල දේශපාලන බංකොලොත්භාවයකට මුහුණ පා සිටින මේ විපක්‍ෂයට කළ හැකි මළ ඉලව්වක්‌ නැත. එහෙත් නරක තත්ත්වයත් එයමයි. විපක්‍ෂය දුර්වල වූ තරමට ආණ්‌ඩුවට ආඥාදායකයකු වීම පහසු ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව එසේ නො වේවා

සියලු දෙනා විසින්ම සතුටින් සමරනු ලැබිය යුතු නිදහස්‌ දිනයේ තත්ත්වය එය වීම ගැන අප පුදුම විය යුතු නැත. රටේ තත්ත්වයත් එයමයි මිනියක්‌ වළලන්නට ගියත් පාංශුකූලයක්‌ දෙන්නට ගියත් හැම තැනකම භේද භින්න වැපිරී තිබේ. ඇතැම් ආගම්වලට අයත් සුසාන භූමිවල මිනියක්‌ වළලන්නට යන්නේ නම් මියගිය එකා ජීවත්ව සිටි කාලයේ දී බොහෝ දෑ කර තිබිය යුතු ය. තම ආගමේ ශාඛාවට දායක මුදල් ගෙවා තිබිය යුතු ය. නැතහොත් මිනිය වැළලීමට සුසාන භූමියේ ඉඩ නැත. ඇතැම් මෘත ශරීර සඳහා පාංශුකූල පැවැත්වීම දේශපාලන හේතු මත පවා ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. සුසාන භූමිය හා පාංශුකූලය අයත් වන්නේ මළ මිනිසුන්ට ය. එහෙත් දැන් ඒවා අයිතිකර ගෙන සිටින්නේ පණපිටින් සිටින මිනිසුන් ය.

මෙහෙම රටක්‌ ගොඩ එන්නේ කොහොමද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා 1948 පෙබරවාරි 4 වැනිදා ලංකාවෙන් නික්‌ම යන විට වෛරය, ද්වේශය, ක්‍රෝධය, භින්නරුචිය, පංති භේදය යනාදිය ඉතිරි කර ගියේ ය. මේ කිවූ කරුණු පහ සිංහලයාට අමුතුවෙන් උගැන්විය යුතු දේ නොවේ. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා පෙර කී පරිහානි ධර්මතාවල දහස්‌ ගුණයක පමණ මාත්‍රාවක්‌ සිංහල සමාජයට පෙවීය. සිංහලයා නරක දේට වහා හුරුවෙයි. හොඳම උදාහරණය වියළි මිරිස්‌ ය. සිංහලයා මෙයට වසර 300 කට පෙර වියළි මිරිස්‌ අනුභව කළේ නැත. ඒ අතර ඉංගිරිසි ආණ්‌ඩුව යටතේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෙළෙන්දෝත්, කරණවෑමියෝත්, වෙනත් වෘත්තිකයෝත් මෙහි ආහ. ඒ මිනිස්‌සු වියළි මිරිස්‌වලට පුරුදුව සිටි අය වෙති. ඔවුන්ගේ ආහාරය සඳහා මෙයට වසර 210 කට පමණ පෙර, පළමු වියළි මිරිස්‌ හොණ්‌ඩර 100, ඉන්දියාවෙන් ගෙන්වන ලදී. මාස 6 ක්‌ තුළ මේ ගණන දෙගුණ වූ අතර වසර 05 ක්‌ තුළ මුළු රටම, එතෙක්‌ තමන් අනුභව කරමින් සිටි ගම්මිරිස්‌, අමු මිරිස්‌, කොච්චි මිරිස්‌ පසෙක දමා වියළි මිරිස්‌ කන්නට පටන් ගත්හ. වියළි මිරිස්‌ අනුභවයෙන් කුස තැම්බෙයි. සිරෝසිස්‌ වැළඳෙයි. එහෙත් කාට කියමු ද? 1977 දී බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව පැරදීමට හේතුවක්‌ වූයේ වියළි මිරිස්‌ මිල ඉහළ යැම ය.

කීර්තිමත් යුද වීරයකු ලෙස සිය ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකාට තිබූ අවස්‌ථාව නැති කරන ලද්දේ මේ රටේ පෙර කී විපක්‍ෂය යි. ජාතියේ ලණු අඹරන්නා වූ මංගල සමරවීර මැතිතුමා විසින් ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය ලබා දුන් කොහුවලින් ඇඹරූ දේශපාලන ලණුව ගිල දැමූ ජෙනරාල් අද ඉතා නරක ලෙස අසරණ වී තිබේ. මේ සියලු දෙනාම ආපසු දිනා ගත හැකි නම් ආණ්‌ඩුවට දිගු ගමනක්‌ යා හැකි ය.

මේ රට බිය සහ දූෂණය නැති තැනක්‌ කරන බව ජනාධිපතිතුමා සිය නිදහස්‌ දින කතාවේ දී පැවැසී ය. එය කළ යුතුම ය. නැතහොත් තව වසර 20 ක්‌ පමණ ගිය තැන මේ රට වෙනුවට ඉතිරි වන්නේ හිස්‌ භූමියක්‌ පමණයි. මේ රටේ හැම අංශයකටම ප්‍රතිසංස්‌කරණ අවශ්‍යය. ප්‍රශ්න පත්‍ර අච්චු ගැසීමේ සිට පාරවල්වලට තාර දැමීම දක්‌වා වූ හැම දෙයකටම මේ ප්‍රතිසංස්‌කරණ අවශ්‍ය ය. ජනාධිපතිතුමා වටා සිටින අය කළ යුත්තේ එතුමා මුරුංගා අත්තක වාඩි කර අත්ත කැඩෙන තුරු බලා සිට "ඔන්න අත්ත කැඩුණා" යෑයි කීම නොව මේ රටේ පවත්නා දුක්‌ දොම්නස්‌වල සැබෑ තත්ත්වය එතුමාට කියා දීම ය.

මේ රට ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු පැවැති පළමු නිදහස්‌ සැමරුම නිමා වන්නේ පෙර කී කරුණු අප ඉදිරිපිට තබමිනි.
(දිවයින - 10/02/05)

ටිප්පණිය - විපක්ෂය නිදහස නොසැමරීම ගැන අපට නම් අමුතු පුදුමයක් නැත. නිදහස සැමරිය යුත්තේ නිදහස දිනූ මිනිසුන්ය. බටහිර අධිරාජ්‍ය බලවේගවල දේශීය නියෝජිත තණතුර උසුලන මෙරට විපක්ෂය ලබා ඇති නිදහස කුමක් ද? තවමත් සුද්දා කියන දේ කරන, උන්ගේ පදේට නටන නිවටයින්ට සැමරීමට ඇති නිදහස කුමක්ද? අද අපේ වගකීම වන්නේ මේ නිවට අම්බරුවන් පසුපස අයාලේ යන අපේ මිනිසුන් ඉන් ගලවා ගැනීමය. ඔවුන්ට ආදරයෙන් හරි මග කියා දීමය.

2 comments:

Thejan said...

වැඩේ කියන්නේ ඕකට සහභාගි නොවුණු රනිල් උන්නැහේමනේ 2005 දී 500 වැනි පෘතුගීසි ආගමනය සමරන්න ලෑස්ති වුණෙත්.

“මෙහෙව් උන්ටත් සිල්ප සෑදේ.” කිව්වලු.

Thejan Rathnayake

http://lankanthoughts.blogspot.com

නාමල් උඩලමත්ත said...

අන්න හරි ‍තේජාන්. අවුරුදු සිය ගාණක් අපේ මව්බිම සූරාකාපූ මහා ආර්ථික ඝාතකයා, පරංගියා මේ රටට තඩා පාත්වීම සමරන්න පුළුවන් ද මේ රටට ආදරය කරන කෙනෙකුට? අපි දැන් නිදහස් ජාතියක් කියලා හිතන මිනිහෙකුට? මෙයාලා තාම නිදහස් නෑ. ඒ නිසා නිදහස සැමරීමෙන් පලක් නෑ. පරංගියා සුද්දා තාම මෙයාලගේ හිත්වල හොල්මන් කරනවා.

 
සිය රට දේ සිරි සැප දේ !