Monday, February 6, 2012

නිදහස් උළෙලට පසු වදනක්

පසුගිය දා වන නිදහස් උළෙල අනුරාධපුරයේ දී පැවැත්විණි. ඒ පිළිබඳ කෙටියෙන් මගේ අදහස් කිහිපයක් පළ කිරීම මේ කෙටි සටහනේ අදහසයි.

කොළඹින් බැහැර පිට පළාත්වලට නිදහස් උ‍ළෙල ගෙන යාම මම අගය කොට සලකමි. මීට පෙර ද නිදහස් උළෙල නුවර මෙන් ම කතරගම ප්‍රදේශවල ද පැවැත්වූ බව මතකය.

අනුරාධපුරය වසර 1500ක් පමණ අපේ අගනුවර වූ ‍ඓතිහාසික නගරයකි. අපේ නූතන ශිෂ්ටාචාරයේ පදනම සැකසුණේ එහි ය. මේ පුරවරය පුරාවිද්‍යා කැනීම්වලින් මතු කර ගත් අතර ඊට යටින් ද ඊට වඩා පුරාතන නගරයක් ඇති බව සොයා ගෙන තිබේ. එහෙයින් කොටි ත්‍රස්තවාදයෙන් රට ගළවා ගෙන නැවත රට එක්සේසත් වූ සමයක මෙලෙස අනුරපුර නිදහස් උළෙල පැවැත්වීම ඓතිහාසික සංධිස්ථානයකි.

කෙසේ වුව ද මෙතෙක් දකුණට සීමා වී තිබූ නිදහස් උළෙල දැන් උතුරට නැගෙනහිරට රැගෙන යා යුතු යුගය එළඹ තිබේ. ත්‍රස්තවාදයෙන් වසර 30කට පසු නිදහස ලද එම ප්‍රදේශවලට එය අතිශය වැදගත් ය. උතුරේ සාමාන්‍ය ජන මනසට ඉන් කළ හැකි බලපෑම අනල්පය. දකුණු ඉන්දිය රූපවාහිනී බලමින් මානසිකව මෙරටින් වෙන්ව ජීවත් වන ඒ ජන හද මනස නැවත මෙරට ස්ථාපිත කළ යුතුය. ඔවුන් ලංකාවේ අභිමාණිය පුරවැසියන් බව අවබෝධ කර දිය යුතු ය. ඔවුන් චෙන්නායිවලට වඩා කොළඹට සමීප බව අවබෝධ කර ගැනීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතුය.

එහෙයින් මී ළඟ නිදහස් උළෙල කිලිනොච්චියට හෝ යාපන අර්ධද්වීපයට ගෙන යාමට රජය කටයුතු කළ යුතුය. ඒ සමග 'දැයට කිරුළ' සමග සංවර්ධනයේ දැවැන්ත ප්‍රවාහය උතුරු ගම්බිම් පුරා ගලා යන්නට සැලැස්විය යුතු ය. ඒ ප්‍රදර්ශනය ඔස්සේ බොහෝ කලක් දකුණින් වෙන්ව සිටි ඔවුන්ට දකුණ සහ එහි සංස්කෘතිය සභ්‍යත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගතහැකි වනු ඇත. තම ඓතිහාසික සබඳකම් හඳුනා ගැනීමට හැකි වනු ඇත. දකුණේ ජනතාවට ද උතුරේ මිතුරුකම් ගොඩ නඟා ගැනීමට එය කදිම අවස්ථාවක් වනු ඇත. සබඳකම් නැවත නොසිඳෙන ලෙස ශක්තිමත් වනු ඇත.

එමෙන් ම මෙවර හමුදාවේ අවි ආයුධ නිදහස් උළෙල ගෙව ගෙන නොඒම ද ඉතා වැදගත් ය. අපි ආයුධවලින් ත්‍රස්තවාදය පරාජය කළෙමු. දැන් අවි ආයුධ පසෙක ලා හදවතින් සාමාන්‍ය උතුරේ ජනතාව හා ගනුදෙනු කළ යුතු යුගය එළඹ ති‍බේ. එහෙයින් බර අවි ආයුධ ප්‍රදර්ශනය නිදහස් උළෙලින් ඉවත් කිරීම මම මහත් සේ අගය කරමි. ඒ අදහස යෝජනා කළ අයට මෙන් ම ක්‍රියාත්මක කළ‍ අයට ද ප්‍රශංසා කිරීමට ද මේ අවස්ථාවක් කර ගනිමි.

ඒ අවි ආයුධ වෙනුවට සමස්ත රට නියෝජනය වන පරිදි අති විශිෂ්ට සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීම අතිශය ප්‍රශංසනීය වේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට මෙරට මුල් බැස ගත් හිංදු,ඉස්ලාම් ආදි සංස්කෘතීන් නියෝජනය කරමින් විවිධ නැටුම් ගැයුම් එහි රඟ දැක්විණි.මේ අවස්ථාව අපේ රටේ අනාගතය පිළිබඳ සුබවාදි හැඟුම් මෝදුවන අවස්ථාවක් වූ බව නොකියා ම බැරිය. ඒ උළෙල නැරඹු සැමට තම සංස්කෘතිය මෙන් ම තම අසල්වැසියාගේ සංස්කෘතිය පිළිබඳ ද යම් අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබිණි.

එමෙන් ම මෙවර නිදහස් උළෙලේ නිවේදන කටයුතු කළේ ද සිංහල සහ දෙමළ බසිනි. වෙනදා නම් එහි රජ බස වූයේ ඉංග්‍රීසසියයි. කතා පැවැත් වුයේ මෙර වැසියන්ට නොව සුද්දන්ටය. එහෙත් මේ අපේ නිදහස් උළෙල බව මෙවර අවබෝධ කර ගෙන තිබිණි. සිංහල හෝ දෙමළ නොදන්නා ශ්‍රී ලාංකිකයෙක් වේ නම් ඔහුගෙන් මෙරටට පළක් නැත. ඒ කළු සුද්දා වහා ම සිය මව් රටට යාම යෙහෙකි.

අවසාන වශයෙන් ජනාධිපතිතුමාගේ කෙටි එහෙත් කාලෝචිත කතාව පිළිබඳ අවධානය යොමු කරමි. එතුමා කීවේ මේ රටේ ජාතීන්ට වෙන වෙන ම ප්‍රදේශ නැති බවත් හැම ජාතියකට ම මුළු රට ම අයිති බවත් ය. එය ‍‍ඓතිහාසික ප්‍රකාශයකි. සත්‍ය ප්‍රකාශයකි. දකුණේ දෙමළ අයට මෙන් ම උතුරේ සිංහල අයට ද කිසිදු බාධාවකින් තොරව ජීවත් වීමේ අවස්ථාව තිබිය යුතුය. බස්නාහිර මුස්ලිම් අයට මෙන් ම නැගෙනහිර සිංහල අයට ද කිසිදු බාධාවකින් තොරව ජීවත් වීමේ අවස්ථාව තිබිය යුතුය.

විදෙස් රටවල හෝ අන්තවාදි කල්ලිවල මතවාද පිළිතුරු නොවන බවත් එතුමා කීවේ ය. අපි එය ද අගය කොට සලකමු. අපි එක්ව අපේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතු ය. එම පිළිතුර සහෝදරත්වය සහ සමානාත්මතාව රට පුරා පතුරුවා හැරීම මිස අනෙකක් නොවේ. දුප්පත්කම රටින් උදුරා දැමීම මිස අනෙකක් නොවේ.

Wednesday, February 1, 2012

ජනපති කේවට්ට රංචුව ආනන්ද කුමාරස්වාමිට නිගරු කිරීම.

මේ වන විට ජනාධිපතිතුමා වට කොට ගෙන සිටින්නේ නියම කේවට්ට රංචුවක් බව එතුමාගේ නමින් ලංකාවේ හදන බෝක්කු, වැසිකිළි, බෝල් පිට්ටනි නම් කිරීමෙන් පැහැදිළි වේ. මෙමගින් මහින්ද රාජපක්ෂ නමැති රටට නිදහස දිනාදුන් මිනිසාගේ නාමයට කරන අවමානය නිග්‍රහය කියා නිම කළ නොහැකිය. මී පැණි වුවත් නිතර බොන විට තිත්ත වේ යැයි කියමනක් තිබේ. දැන් ජනපති නම ද එසේ මය. සිය නම අමරණීය විය යුත්තේ බෝක්කු ගල් මත නොව ජන හදවත් මත බැව් එතුමාට ද අමතක වී ඇති සේයකි.

මෑත දී ඉදි කරන්නට යෝජිත නෙළුම් කුළුණ අසල මාර්ගය දශක ගණනාවක් පුරා රට ම හැඳින්වූයේ ආනන්ද කුමාරස්වාමි මාවත නමිනි. ඔහු මේ රටට අනූපමේය සේවයක් කළ සුවිශේෂි ප්‍රාඥයෙකි. උප්පැන්නේ සිංහලයෙකු නොවූ එතුමා හදවතින් නියම සිංහලයෙකු විය. මේ මහාර්ඝ මිනිසා නමින් නම් කළ මාවත ද අවසන පෙර කී කේවට්ට රංචුවෙන් බේරා ගත නොහැකි විය. උන් එය නෙළුම් පොකුණ මාවත යැයි නම් කළහ.

රටේ සුළු ජාතීන්ට මහා ජාතිය නොසලකතැයි යන කෙප්පය පිට රටවලට විකුණා උන්ගේ අනුකම්පාව මුදල් කර ගන්නා බෙදුම්වාදී රංචුවක් රට දෙකඩ කරන්නට දත කන යුගයක මෙවන් ක්‍රියා ඔස්සේ උන්ගේ තක්කඩි ක්‍රියාවලට මේ කේවට්ටයන් උඩ ගෙඩි දෙන බව කිසිවෙකුට නොවැටහෙද? ඒ පිළිබඳ මේ රටේ කිසිවෙකුගේ අවධානය යොමු වූයේ නැත. දිනාගත් සාමයට වින කටින ජඩයින් දැන් මේ ආණ්ඩුවට ඉහඳ තබා තිබේ. එය කුණු වී රටම ගඳ ගැස්සීමේ අවධානමකය දැන් ඇත්තේ.

එය ජාතියේ අවසනාවකි. එදා නන්දා මාලනී ගැයූ 'දෙමළා වුණත් සුදනෙකු නම් පුටුව දෙනු' නමැති ගීතය යථාර්ථයක් වන්නේ අදට වඩා එදාට බව පවසමින් මේ කෙටි සටහන අවසන් කරමි.

මට පරහක් නොවේ නුඹේ නළලේ තිලකේ !!!













පහුගිය සිකුරාදා ඓතිහාසික විවාහයක් කිලිනොච්චියේ දී සිදුවිය. ඒ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගබජා රෙජිමේන්තුවේ ඊ. එම්. ඩී. සඳරුවන් සහ හිටපු ළමා කොටි සෙබළියක වන චන්ද්‍රසේකරන් ෂර්මිලා අතර ය. ඒ වන විටත් ඇයි 18 වියැති තරුණියකි. යුද්ධය අවසන් වූයේ 2009 වස‍රේ ය. ඇය 2009 වසරේ කොටි හමුදාවට බඳවා ගත්තී නම් එවක වයස යන්තම් අවුරුදු 15කි. මේ අනුව ඇගේ ළමා කාලය බෙදුම්වාදී ම්ලේච්ඡයින් විසින් සාහසික ලෙස පැහැර ගෙන ඇති බව පැහැදිලිය.

එදා රට බෙදන්නට අවි ගත් ත්‍රස්තයින්ට විරුද්ධය අවි දැරු සෙබළෙකු ඔවුනට එරෙහිව අවි අමෝරා ගෙන පැමිණි තරුණියක සිය ජීවන සහකාරිය ලෙස තෝරා ගැනීම කෙතරම් නම් ආස්වාදජනකද? දෛවෝපගත ද? කෙතරම් සංවේදී පුවතක්ද?

මෙය අප ජාතියක් ලෙස යා යුතු ගමන් මග හෙළි පෙහෙලි කරන තරු ලකුණක් සේ හඳුනා ගත යුතු බව මගේ අදහසය. අද අප ජීවත් වන්නේ බෙදුම්වාදයේ ත්‍රස්තවාදී මුහුණුවර පරාජය කළ පසුබිමකය. එහෙත් අනෙක් බෙදුම්වාදී මුහුණු තවමත් එලෙස ම ක්‍රියාත්මක වේ. එනම් රට දෙකඩ වීමේ අවධානම තවමත් එලෙසම පවතී.

මේ අවධානම දුරලා රට සුරක්ෂිත කිරීම සඳහා ගතයුතු ක්‍රියා මර්ගය ද රට ත්‍රස්තවාදයෙන් ගළවා ගත් හමුදාව විසින් ම ජාතිවට පෙන්වා දී තිබේ. ජාතිවාදී නායකයින් බෙදුම්වාදය පෝෂණය කරන්නට පළමුව සිංහල දෙමළ පිරිස් ඉතා සතුටින් සමගියෙන් මෙරට වාසය කළහ. ඔවුන් අතර සංස්කෘතිකමය වශයෙන් වුව වෙනස්කම්වලව වඩා පැවතියේ සමානකම්ය. ඒ නිසා ඔවුන් අතර ආවාහ විවාහ සිදුවිය. පෙර රජවරු ප්‍රභූවරු ඉන්දියාවෙන් බිසෝවරු ගෙනාහ. ඔවුන්ට වන්දනාමාන කරන්නට පන්සලේ කෝවිලක් ද නිර්මාණය කළහ. හිංදු දෙවිවරු තම දෙවිවරු ලෙස බෞද්ධයෝ වන්දනාමාන කළහ. හිංදුන් බුදු රජුන් දස අවතාරවලින් එකක් ලෙස බුහුමන් කළහ.

එසේ නම් දැන් කළ යුත්තේ අවුරුදු 30ට පෙර ඉන්දියාවේ බලපෑම මත ගෙන ආ 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම නොවේ. පළාත් සභා බලවත් කොට බෙදුම්වාදය ශක්තිමත් කිරීම නොවේ. වර්ධරාජ පෙරුමාල්ට මෙන් මහ ඇමතිවරුන්ට සිය හමුදා කණ්ඩ බිහි කිරීමට ඉඩ දීම නොවේ. ඇමරිකාව හෝ ඉන්දියාව හෝ කියන පදයට නැටීම ද නොවේ. රටේ සතුරන්ගේ බලවත් බලපෑම් මත කොටි ත්‍රස්තවාදය අවසන් කළා සේ ම මෙකී බෙදුම්වාදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ය.

ඒ සඳහා කළ යුත්තේ නැවත සිංහල දෙමළ ජාතීන් අතර සුහදතාව අන්‍යෝන්‍ය අව‍බෝධය ඇති කිරීමය. ආවාහ විවාහ ඔස්සේ උතුර නැගෙනහිර යා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ය. නාමල් රාජපක්ෂ වැනි තරුණයින්ට උතුරින් තරුණියක විවාහ කර ගත හැකි නම් ඔවුන් සිය මව්බිමට කළ යුතු යුතුකම ඉටු කළා වෙයි. බෙදුම්වාදය මුලිනුපුටා දැමීමට යෝධ පියවර ක් තැබුවා වෙයි. එය තුවක්කු සිය ගණනකින් කළ නොහැකි කාර්යයකි. යුද ජයග්‍රහණය සමග ජාතිවාදී පටු සීමාවක සිර වී සිටින ඇතැම් සිංහල පිරිස්වලට ද යුද පරාජය නිසා හීනමානයක සිර වී සිටින ඇතැම් දෙමළ පිරිස්වලට ද ඉන් කළ හැකි බලපෑම අනුපමේය වේ. රට බෙදා සමගිය උදාකිරීමේ අතීසාරයට අමුඩ ගැසීමේ තියරියට කදිම පිළිතුරකි; එය.

එවන් මගක යාමට ජාතියට මග කියන උක්ත විවාහ මංගල්‍යය පිළිබඳ පුවත කිසිදු සිංහල පුවත්පතක පළ වූයේ නැත. කිසිදු නම ගිය ඉංග්‍රීසි පුවත්පතක හෝ මම මේ පුවත නොදුටිමි. මළමිනි විකුණා ගෙන කන්නට රට පුරා පිස්සුවෙන් දුවන රූපවාහිනි නාළිකා පිළිබඳ කවර කතා ද? එහෙත් සිංහල තරුණයෙකු විසින් දෙමළ තරුණියක දූෂණය කළේ යැයි ආරංචි වී නම් මේ කාලකන්නි මාධ්‍ය හැසිරෙන්නේ කෙසේ ද? එකී ‍ලේ රස ඔස්සේ ඉව අල්ලා ජඩ බල්ලන් සේ එකී පුවත තිරයේ රඟදක්වා පේක්ෂයින්ගේ පහත් හැඟීම් ඇවිස්සීමට නාළිකා කීයක් වළිකන්නේ ද? සති ගණන් ඒ පුවත හා බැඳුණු පුවත් පැයෙන් පැය විකාශය නොකරන්නේද? එකී පුවත මුළු විශ්වයට ම ඇසෙනා සේ කියා රට දෙකඩ කිරීමේ මෙහෙයුමේ එකී මළ මිනීයට ඉහළ මිලක් නියම නොකරන්නේ ද? අහෝ මාධ්‍යයට ගිය කල!!!

කෙසේ වුව ද මේ සෙබලා රටට ලබා දුන් පනිවිඩය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට අප ජාතියට හැකි වේවායි පතමි!
 
සිය රට දේ සිරි සැප දේ !