Monday, February 6, 2012

නිදහස් උළෙලට පසු වදනක්

පසුගිය දා වන නිදහස් උළෙල අනුරාධපුරයේ දී පැවැත්විණි. ඒ පිළිබඳ කෙටියෙන් මගේ අදහස් කිහිපයක් පළ කිරීම මේ කෙටි සටහනේ අදහසයි.

කොළඹින් බැහැර පිට පළාත්වලට නිදහස් උ‍ළෙල ගෙන යාම මම අගය කොට සලකමි. මීට පෙර ද නිදහස් උළෙල නුවර මෙන් ම කතරගම ප්‍රදේශවල ද පැවැත්වූ බව මතකය.

අනුරාධපුරය වසර 1500ක් පමණ අපේ අගනුවර වූ ‍ඓතිහාසික නගරයකි. අපේ නූතන ශිෂ්ටාචාරයේ පදනම සැකසුණේ එහි ය. මේ පුරවරය පුරාවිද්‍යා කැනීම්වලින් මතු කර ගත් අතර ඊට යටින් ද ඊට වඩා පුරාතන නගරයක් ඇති බව සොයා ගෙන තිබේ. එහෙයින් කොටි ත්‍රස්තවාදයෙන් රට ගළවා ගෙන නැවත රට එක්සේසත් වූ සමයක මෙලෙස අනුරපුර නිදහස් උළෙල පැවැත්වීම ඓතිහාසික සංධිස්ථානයකි.

කෙසේ වුව ද මෙතෙක් දකුණට සීමා වී තිබූ නිදහස් උළෙල දැන් උතුරට නැගෙනහිරට රැගෙන යා යුතු යුගය එළඹ තිබේ. ත්‍රස්තවාදයෙන් වසර 30කට පසු නිදහස ලද එම ප්‍රදේශවලට එය අතිශය වැදගත් ය. උතුරේ සාමාන්‍ය ජන මනසට ඉන් කළ හැකි බලපෑම අනල්පය. දකුණු ඉන්දිය රූපවාහිනී බලමින් මානසිකව මෙරටින් වෙන්ව ජීවත් වන ඒ ජන හද මනස නැවත මෙරට ස්ථාපිත කළ යුතුය. ඔවුන් ලංකාවේ අභිමාණිය පුරවැසියන් බව අවබෝධ කර දිය යුතු ය. ඔවුන් චෙන්නායිවලට වඩා කොළඹට සමීප බව අවබෝධ කර ගැනීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතුය.

එහෙයින් මී ළඟ නිදහස් උළෙල කිලිනොච්චියට හෝ යාපන අර්ධද්වීපයට ගෙන යාමට රජය කටයුතු කළ යුතුය. ඒ සමග 'දැයට කිරුළ' සමග සංවර්ධනයේ දැවැන්ත ප්‍රවාහය උතුරු ගම්බිම් පුරා ගලා යන්නට සැලැස්විය යුතු ය. ඒ ප්‍රදර්ශනය ඔස්සේ බොහෝ කලක් දකුණින් වෙන්ව සිටි ඔවුන්ට දකුණ සහ එහි සංස්කෘතිය සභ්‍යත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගතහැකි වනු ඇත. තම ඓතිහාසික සබඳකම් හඳුනා ගැනීමට හැකි වනු ඇත. දකුණේ ජනතාවට ද උතුරේ මිතුරුකම් ගොඩ නඟා ගැනීමට එය කදිම අවස්ථාවක් වනු ඇත. සබඳකම් නැවත නොසිඳෙන ලෙස ශක්තිමත් වනු ඇත.

එමෙන් ම මෙවර හමුදාවේ අවි ආයුධ නිදහස් උළෙල ගෙව ගෙන නොඒම ද ඉතා වැදගත් ය. අපි ආයුධවලින් ත්‍රස්තවාදය පරාජය කළෙමු. දැන් අවි ආයුධ පසෙක ලා හදවතින් සාමාන්‍ය උතුරේ ජනතාව හා ගනුදෙනු කළ යුතු යුගය එළඹ ති‍බේ. එහෙයින් බර අවි ආයුධ ප්‍රදර්ශනය නිදහස් උළෙලින් ඉවත් කිරීම මම මහත් සේ අගය කරමි. ඒ අදහස යෝජනා කළ අයට මෙන් ම ක්‍රියාත්මක කළ‍ අයට ද ප්‍රශංසා කිරීමට ද මේ අවස්ථාවක් කර ගනිමි.

ඒ අවි ආයුධ වෙනුවට සමස්ත රට නියෝජනය වන පරිදි අති විශිෂ්ට සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීම අතිශය ප්‍රශංසනීය වේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට මෙරට මුල් බැස ගත් හිංදු,ඉස්ලාම් ආදි සංස්කෘතීන් නියෝජනය කරමින් විවිධ නැටුම් ගැයුම් එහි රඟ දැක්විණි.මේ අවස්ථාව අපේ රටේ අනාගතය පිළිබඳ සුබවාදි හැඟුම් මෝදුවන අවස්ථාවක් වූ බව නොකියා ම බැරිය. ඒ උළෙල නැරඹු සැමට තම සංස්කෘතිය මෙන් ම තම අසල්වැසියාගේ සංස්කෘතිය පිළිබඳ ද යම් අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබිණි.

එමෙන් ම මෙවර නිදහස් උළෙලේ නිවේදන කටයුතු කළේ ද සිංහල සහ දෙමළ බසිනි. වෙනදා නම් එහි රජ බස වූයේ ඉංග්‍රීසසියයි. කතා පැවැත් වුයේ මෙර වැසියන්ට නොව සුද්දන්ටය. එහෙත් මේ අපේ නිදහස් උළෙල බව මෙවර අවබෝධ කර ගෙන තිබිණි. සිංහල හෝ දෙමළ නොදන්නා ශ්‍රී ලාංකිකයෙක් වේ නම් ඔහුගෙන් මෙරටට පළක් නැත. ඒ කළු සුද්දා වහා ම සිය මව් රටට යාම යෙහෙකි.

අවසාන වශයෙන් ජනාධිපතිතුමාගේ කෙටි එහෙත් කාලෝචිත කතාව පිළිබඳ අවධානය යොමු කරමි. එතුමා කීවේ මේ රටේ ජාතීන්ට වෙන වෙන ම ප්‍රදේශ නැති බවත් හැම ජාතියකට ම මුළු රට ම අයිති බවත් ය. එය ‍‍ඓතිහාසික ප්‍රකාශයකි. සත්‍ය ප්‍රකාශයකි. දකුණේ දෙමළ අයට මෙන් ම උතුරේ සිංහල අයට ද කිසිදු බාධාවකින් තොරව ජීවත් වීමේ අවස්ථාව තිබිය යුතුය. බස්නාහිර මුස්ලිම් අයට මෙන් ම නැගෙනහිර සිංහල අයට ද කිසිදු බාධාවකින් තොරව ජීවත් වීමේ අවස්ථාව තිබිය යුතුය.

විදෙස් රටවල හෝ අන්තවාදි කල්ලිවල මතවාද පිළිතුරු නොවන බවත් එතුමා කීවේ ය. අපි එය ද අගය කොට සලකමු. අපි එක්ව අපේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතු ය. එම පිළිතුර සහෝදරත්වය සහ සමානාත්මතාව රට පුරා පතුරුවා හැරීම මිස අනෙකක් නොවේ. දුප්පත්කම රටින් උදුරා දැමීම මිස අනෙකක් නොවේ.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !