Wednesday, February 1, 2012

මට පරහක් නොවේ නුඹේ නළලේ තිලකේ !!!













පහුගිය සිකුරාදා ඓතිහාසික විවාහයක් කිලිනොච්චියේ දී සිදුවිය. ඒ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගබජා රෙජිමේන්තුවේ ඊ. එම්. ඩී. සඳරුවන් සහ හිටපු ළමා කොටි සෙබළියක වන චන්ද්‍රසේකරන් ෂර්මිලා අතර ය. ඒ වන විටත් ඇයි 18 වියැති තරුණියකි. යුද්ධය අවසන් වූයේ 2009 වස‍රේ ය. ඇය 2009 වසරේ කොටි හමුදාවට බඳවා ගත්තී නම් එවක වයස යන්තම් අවුරුදු 15කි. මේ අනුව ඇගේ ළමා කාලය බෙදුම්වාදී ම්ලේච්ඡයින් විසින් සාහසික ලෙස පැහැර ගෙන ඇති බව පැහැදිලිය.

එදා රට බෙදන්නට අවි ගත් ත්‍රස්තයින්ට විරුද්ධය අවි දැරු සෙබළෙකු ඔවුනට එරෙහිව අවි අමෝරා ගෙන පැමිණි තරුණියක සිය ජීවන සහකාරිය ලෙස තෝරා ගැනීම කෙතරම් නම් ආස්වාදජනකද? දෛවෝපගත ද? කෙතරම් සංවේදී පුවතක්ද?

මෙය අප ජාතියක් ලෙස යා යුතු ගමන් මග හෙළි පෙහෙලි කරන තරු ලකුණක් සේ හඳුනා ගත යුතු බව මගේ අදහසය. අද අප ජීවත් වන්නේ බෙදුම්වාදයේ ත්‍රස්තවාදී මුහුණුවර පරාජය කළ පසුබිමකය. එහෙත් අනෙක් බෙදුම්වාදී මුහුණු තවමත් එලෙස ම ක්‍රියාත්මක වේ. එනම් රට දෙකඩ වීමේ අවධානම තවමත් එලෙසම පවතී.

මේ අවධානම දුරලා රට සුරක්ෂිත කිරීම සඳහා ගතයුතු ක්‍රියා මර්ගය ද රට ත්‍රස්තවාදයෙන් ගළවා ගත් හමුදාව විසින් ම ජාතිවට පෙන්වා දී තිබේ. ජාතිවාදී නායකයින් බෙදුම්වාදය පෝෂණය කරන්නට පළමුව සිංහල දෙමළ පිරිස් ඉතා සතුටින් සමගියෙන් මෙරට වාසය කළහ. ඔවුන් අතර සංස්කෘතිකමය වශයෙන් වුව වෙනස්කම්වලව වඩා පැවතියේ සමානකම්ය. ඒ නිසා ඔවුන් අතර ආවාහ විවාහ සිදුවිය. පෙර රජවරු ප්‍රභූවරු ඉන්දියාවෙන් බිසෝවරු ගෙනාහ. ඔවුන්ට වන්දනාමාන කරන්නට පන්සලේ කෝවිලක් ද නිර්මාණය කළහ. හිංදු දෙවිවරු තම දෙවිවරු ලෙස බෞද්ධයෝ වන්දනාමාන කළහ. හිංදුන් බුදු රජුන් දස අවතාරවලින් එකක් ලෙස බුහුමන් කළහ.

එසේ නම් දැන් කළ යුත්තේ අවුරුදු 30ට පෙර ඉන්දියාවේ බලපෑම මත ගෙන ආ 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම නොවේ. පළාත් සභා බලවත් කොට බෙදුම්වාදය ශක්තිමත් කිරීම නොවේ. වර්ධරාජ පෙරුමාල්ට මෙන් මහ ඇමතිවරුන්ට සිය හමුදා කණ්ඩ බිහි කිරීමට ඉඩ දීම නොවේ. ඇමරිකාව හෝ ඉන්දියාව හෝ කියන පදයට නැටීම ද නොවේ. රටේ සතුරන්ගේ බලවත් බලපෑම් මත කොටි ත්‍රස්තවාදය අවසන් කළා සේ ම මෙකී බෙදුම්වාදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ය.

ඒ සඳහා කළ යුත්තේ නැවත සිංහල දෙමළ ජාතීන් අතර සුහදතාව අන්‍යෝන්‍ය අව‍බෝධය ඇති කිරීමය. ආවාහ විවාහ ඔස්සේ උතුර නැගෙනහිර යා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ය. නාමල් රාජපක්ෂ වැනි තරුණයින්ට උතුරින් තරුණියක විවාහ කර ගත හැකි නම් ඔවුන් සිය මව්බිමට කළ යුතු යුතුකම ඉටු කළා වෙයි. බෙදුම්වාදය මුලිනුපුටා දැමීමට යෝධ පියවර ක් තැබුවා වෙයි. එය තුවක්කු සිය ගණනකින් කළ නොහැකි කාර්යයකි. යුද ජයග්‍රහණය සමග ජාතිවාදී පටු සීමාවක සිර වී සිටින ඇතැම් සිංහල පිරිස්වලට ද යුද පරාජය නිසා හීනමානයක සිර වී සිටින ඇතැම් දෙමළ පිරිස්වලට ද ඉන් කළ හැකි බලපෑම අනුපමේය වේ. රට බෙදා සමගිය උදාකිරීමේ අතීසාරයට අමුඩ ගැසීමේ තියරියට කදිම පිළිතුරකි; එය.

එවන් මගක යාමට ජාතියට මග කියන උක්ත විවාහ මංගල්‍යය පිළිබඳ පුවත කිසිදු සිංහල පුවත්පතක පළ වූයේ නැත. කිසිදු නම ගිය ඉංග්‍රීසි පුවත්පතක හෝ මම මේ පුවත නොදුටිමි. මළමිනි විකුණා ගෙන කන්නට රට පුරා පිස්සුවෙන් දුවන රූපවාහිනි නාළිකා පිළිබඳ කවර කතා ද? එහෙත් සිංහල තරුණයෙකු විසින් දෙමළ තරුණියක දූෂණය කළේ යැයි ආරංචි වී නම් මේ කාලකන්නි මාධ්‍ය හැසිරෙන්නේ කෙසේ ද? එකී ‍ලේ රස ඔස්සේ ඉව අල්ලා ජඩ බල්ලන් සේ එකී පුවත තිරයේ රඟදක්වා පේක්ෂයින්ගේ පහත් හැඟීම් ඇවිස්සීමට නාළිකා කීයක් වළිකන්නේ ද? සති ගණන් ඒ පුවත හා බැඳුණු පුවත් පැයෙන් පැය විකාශය නොකරන්නේද? එකී පුවත මුළු විශ්වයට ම ඇසෙනා සේ කියා රට දෙකඩ කිරීමේ මෙහෙයුමේ එකී මළ මිනීයට ඉහළ මිලක් නියම නොකරන්නේ ද? අහෝ මාධ්‍යයට ගිය කල!!!

කෙසේ වුව ද මේ සෙබලා රටට ලබා දුන් පනිවිඩය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට අප ජාතියට හැකි වේවායි පතමි!

1 comment:

wasanthalal said...

මෙලොව ඇත්තේ කුල හෝ ජාති දෙකකි. ඒ මිනිස් හා තිරිසන්ය. ඉන් එහා මට නම් වෙනසක් නොපෙනේ. ලංකාවේ ඇත්තේ ප්‍රධාන භාෂා දෙකකි. සිංහළ හා දෙමළ භාෂාවන්ය. දෙගොල්ලම ඒ දෙකම හොඳින් ඉගෙන ගත යුතුය. මෙවන් මිශ්‍ර විවාහ අතීතයේද සිදු විය. ඔබලාට ජය හා සුබ අනාගතයක් හද පත්ලෙන්ම.

 
සිය රට දේ සිරි සැප දේ !