Friday, June 5, 2009

දුෂ්කර ගම්මාන ලංකා සිතියමෙන් මකා දෑමීම!

මායිම් ගම්මාන, තර්ජිත ගම්මාන ලංකා සිතියමෙන් මකා දැමු රජයට තව ඉතිරිව ඇත්තේ දුෂ්කර ගම්මානද එයින් මකා දැමීමේ අභියෝගය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 03 වැනිදා ගාලු මුවදොර පැවති "රණවිරු විකුම් අභිමාන ප්‍රදාන" උළෙලේදී ප්‍රකාශ කර තිබිණි. ඉතාම කාලීන ප්‍රශ්නයකි. ක්‍රියාවට නැංවිය යුතු යහපත් වැඩකි. තිස් වසරක සාපරාධී ත්‍රස්තවාදයෙන් බැට කෑ උතුර, නැගෙනහිර පමණක් නොව මේ රටේ බොහෝ දිස්ත්‍රික්කවල දුෂ්කර ගම් තිබෙන බව නොරහසකි.

මේ බොහෝ ගම්වලට යෑමට පාරක් නැත. දරුවන්ට ඉගෙනීමට පාසල් නැත. ලෙඩට දුකට බේත් හේත් නැත. ගොවිතැනකින් හෝ හේනකින් ලබා ගන්නා බෝගයක් හෝ අලෙවි කිරීමට මඟක් නැත. බුලත් කහට බැඳි සිනහවකින්ද දුර්වර්ණ වී ගිය ඇඳුමකින්ද යුත් මේ ගම්වල බහුතර ගැහැනුන් හා මිනිසුන් ගෙවන ජීවිතය කෙබඳු ශෝකාන්තයක්දැයි පාලකයෝ පවා නොදනිති.

කොළඹට කිරි : ගමට කැකිරි යැයි කීවත් මේ බොහෝ ගම්වලට කැකිරිවත් නැති බව ඇත්ත කතාවයි. සංවර්ධනය ගැන මහ හඬින් ඇසෙන ඝෝෂාව මේ ගම්වලට රුගෙන යෑමට මෙතෙක් රට පාලනය කළ පින්වතුන්ට වුවමනා වුයේ නැත. එහෙත් මුල් වරට වත්මන් ජනාධිපතිවරයා මේ අහිංසක මිනිසුන් ගැන හිතන ඒ සඳහා යමක් කිරීමට ඉදිරිපත් වන නායකයකු ලෙස අපි දකිමු. එහෙත් ඒ කාර්ය රාජ්‍ය නායකයාට හෝ තනිව කළ නොහැකි බව අපගේ විශ්වාසයයි. මැති ඇමැතිවරුන් දුසිම් ගණනින් සිටියත් ඒ සියල්ලෝම කොළඹ කේන්ද්‍ර කර ගත්තෝම වෙති. මැතිවරණයට පෙර ගම්වලට යන්නෝද වෙති.

සංවර්ධනයේ ඇත්ත කතාව නම් ගම එතනම තිබීමත් සංවර්ධනය කොළඹ අවට කැරකීමත්ය. පාරවල්, ගොඩනැඟිලි, රෝහල් ගම්වලට ගියත් ඒ ඉතා කලාතුරකින්ය. ගම්උදාව සමග රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අවංකවම ගම පුබුදු කරවීමට කැප විය. එහෙත් අද ඒ උදාගම්වලට සිදුවී තිබෙන්නේ කුමක්ද? ඒවායේ ජනතාවගේ ජීවිත දියුණු වී තිබේද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බැඳුණු ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් රුසක්ද දුෂ්කර ගම් කේන්ද්‍ර කරගෙන තිබෙන බවද අපි දනිමු. ළමා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ එබඳු යෝජනා ක්‍රියාත්මක කරන බවද කියති. එහෙත් ගෙවීගිය ආසන්න අවුරුදු ගණනාවක් තිස්සේම මේ සංවිධානවල බොහෝ දෙනා ක්‍රියාකාරී සහාය පළ කර ඇත්තේ එල්ටීටීඊ සංවිධානයට බවද නොරහසකි.

ප්‍රභාකරන්ගේ ඊනියා ඊළාම් සිහිනයට මේ බොහෝ ව්‍යාපෘතිවලින් ප්‍රබල අනුග්‍රහයක් ලැබී තිබිණි. බේත් ද්‍රව්‍ය, වෙනත් තාක්ෂණ හා අධ්‍යාපන පහසුකම් ඇතුළු බොහෝ දේවල් කොටින්ට ලබා දුන් ආකාරය වෙනම කතා කළ යුත්තකි. අපි එය පසෙක තබා මේවා විධිමත්ව හා සද්භාවයෙන් ගමට : ගමේ දියුණුවට ලැබෙන සැලැස්මක් සකසා ගත යුතුය.

සංවර්ධනය වු රටවල් තුන්වැනි ලෝකයේ සංවර්ධනය සඳහා දක්වන උනන්දුව අද බොහෝ දෙනකුගේ විවාදයට ද ලක්ව තිබේ. මානව හිමිකම් සුරුකීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දුෂ්කර රටවලට එන සංවර්ධනයේ දුතයන්ගෙන් ඒ රටවලට සිදුවු යහපතට වඩා අයහපතක් සිදුවී තිබේද යන්නත් විමසා බැලීමද උචිතය.

අනෙක් අතට අපේ රටට පැමිණෙන බොහෝ විශේෂඥයන්ගේ නඩත්තුව සඳහා ද විශාල ධනයක් වැය කළ යුතු වේ. මේ බොහෝ දෙනෙක් සුඛෝපභෝගී ජීවිතවලට හුරුවුවෝය. කාමභෝගී ජීවන රටාවලට ඇබ්බැහි වුවෝය. දුෂ්කර ගම්මානවලට යන අයට වුවද ඒ සුවපහසු ජීවිත පවත්වා ගෙන යෑමට සිදුවේ. ශීතකළ කාමර, ඉහළ අගයකින් යුතු මත්පැන්, වෙනත් විනෝදාංශ ඔවුන්ගේ ජීවිතවල අනිවාර්ය අංගයන්ය.

මේ දිනවල වව්නියාවට යන අයෙකුට පෙනී යන්නේ අධි සුඛෝපභෝගී වාහනවලින් ඉගිළි යන එක්සත් ජාතීන්ට අයත් විවිධ සංවිධානවල නිලධාරීන්ය. ඔවුන්ගේ සුවපහසු ජීවිත දෙස බලා අසරණ ගම් වැසියෝ හුල්ලති. සැබැවින්ම ඊටත් වඩා දෙයක් සිදුවන්නේද? අප ඔවුන්ට යෝජනා කරන්නේ කුඩාරම්වල ජීවත්වීමට හෝ පාන් කෑල්ලකින් තුන්වේල පිරිමසා ගැනීමට හෝ නොවේ. එහෙත් සඳලුතලවලින් එබී බලන මහේශාඛ්‍ය සුල්තාන්වරුන් මෙන් බිම දෙස බලන සුපිරි විශේෂඥයන්ගෙන් ගම්වලට හෝ රටට යහපතක් නොවන බව කිව යුතුය.

රජය හෝ විදේශ අමාත්‍යාංශය හෝ මේ රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා එබඳු ස්වෙච්ඡා ආයතන පිළිබඳ මීට වඩා විමසිලිමත් විය යුතුය. ඔවුන් හා සම්බන්ධීකරණය කිරීමට රජයට හැකියාවක් තිබිය යුතුය. දුප්පත් භාවය තුරන් කිරීමට ලැබෙන ආධාරවලින් පිරිසක් සුරසැප විඳිත් නම් එයින් ඵලක් තිබේද? පිටරටකින් ලංකාවට පැමිණ නේවාසිකව සිට ජීවිතය සැපසේ ගෙවා තමන් ලබන වෙනසට වඩා අමුතු දෙයක් මේ බොහෝ විශේෂඥයන්ගෙන් රටට ලැබී තිබේද?

කෙසේ හෝ නිදහසින් වසර හැටක් සපුරා තිබෙන අපට මේ කාලය තුළ ගම පිළිබඳ සතුටුදායක දියුණුවක් ලබාගැනීමට හැකිවී තිබේද? ස්වාභාවික විපත් කරදරවලට අමතරව වන සතුන්ගෙන් පීඩා විඳින ගම් කොපමණ තිබේද? වල් අලින්ගේ ප්‍රහාරයට ලක්වන ගම් කොපමණ තිබේද? අදටත් මේ ගම්වල ජනතාව දෙස් දෙවොල් තබන්නේ තමන් දෙස නොබලන පාලකයන්ටය. තමන්ගේ දුකට සවන් නොදෙන දේශපාලනඥයන්ටය.

ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විසින් පත් කරන ලද ජාතිය ගොඩනැඟීමේ ඇමැතිවරු පිරිසක්ද සිටිති. මේ ඇමැතිවරුන්ගේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳවද බරපතල විවේචන තිබේ. එහෙත් මේ ඇමැතිවරුන්ගෙන් මීට වඩා ප්‍රායෝගික කාර්යභාරයක් ඉටු කර ගත හැකි බව නම් කිව යුතුය.

අපේ රටේ දුෂ්කර ගම් තෝරා ඒවා සංවර්ධනය කිරීමේ කාර්යයේදී මුලික විය යුත්තේ මේ ඇමැතිවරුය, මිනිසා නොහදා ගම හැදීමට බැරිය. ගම නොහදා රට හැදීමට බැරිය. අද ඒ කාර්ය ඉටු කිරීමට රාජ්‍ය නායකයාට අවශ්‍යව තිබේ. කිසිවකුට පරාජය කළ නොහැකි බවට වහසි බස් දෙඩු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කරමින් ලොවම මවිතයට පත් කළ ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට දියුණු කිරීමට බැහැයි කියන මේ ගම් දියුණු කිරීමද අභියෝගයක් නොවන බව අපගේ විශ්වාසයයි.

ජී. එස්.

(දිවයින_09/06/05)
පසුවදන_අද කොළඹ ගෙන්දගම් පොළවේ පය ගසා සිටින අපේ මුල් ඇත්තේ ද ගම්වල ය. නගරයට සීමා වූ සංවර්ධන උපාය මාර්ග හමුවේ අපට නගරයට ඒමට සිදු වුව ද නගරයේ බින්න බසින්නට අප සුදානම් නැත. අපි අපේ සභ්‍යත්වයේ සංස්කෘතියේ පෙකනියෙන් ගමට බැදී සිටිමු. ගමේ ඉපිද ගමේ හැදී වැඩුණු ජනාධිපතිතුමා, ගම සහ නගරය අතර සංවර්ධන පරතරය බිඳදමතියි අපි විශ්වාස කරමු. කොළඹට කේන්ද්‍රීය සංවර්ධන සුළඟ ගම්දනව් ඔස්සේ යාපනයට කිලිනොච්චියට මඩකලපුවට දෙහිඅත්තකණ්ඩියට හම්බන්තොටට හමා යාමට පවතින බාධා ඉවත් කිරීම මාතෘ භූමියේ ඒකීයභාවය තව දහස් වසක් සුරැකීමට දමන අඩිතාලම වනු ඇත.

Wednesday, June 3, 2009

සැබෑ සතුරා හඳුනා ගනිමු

වසර තිහක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට විශාල පිළිලයක්ව තිබු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර දැමීමට වර්තමාන රජයට හැකිවීම සමස්ත ජාතිය ම ලැබු ඓතිහාසික ජයග්‍රහණයකි.

එම විශිෂ්ට ජයග්‍රහණය අපට හිමිකර දීමට රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනහ. එය රණවිරුවන්ගේ ලෙයින් කඳුළින් ලබාගත් ජයකි. රට වෙනුවෙන් ඒ සියලු කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් ඉතා ගෞරවාදරයෙන් යුතුව සිහිකිරීම අප කාගේත් යුතුකමකි. මේ විශිෂ්ට ජයග්‍රහණය අපට ලබාගත හැකිවුයේ රට ගැන ජාතිය ගැන හැඟීමක් ඇති ශ්‍රේෂ්ඨ නායකයකු ජාතියේ පිනින් අපට ලැබී තිබීමය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය යනු ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සඳහා මතු වු සංවිධානයක් නොවන බව පළමුවෙන් කිව යුතුය. එය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කටයුතු අස්ථාවරකොට දැමීම සඳහා බටහිර රටවල් විසින් මේ කලාපය තුළ අටවන ලද උගුලකි. බටහිර රටවල වැටී යන ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමට නම් පෙරදිග රටවල් දීනත්වයේ තැබිය යුතුය යන්න බටහිර රටවල් එදත් අදත් දරන මතය වේ. එදා ඔවුන් මේ රටවල් යටත්කොට ගත්තේ සෘජුව යුද මාර්ගයට පිවිසීමෙනි. එය පැරණි යටත් විජිතවාදයේ පිළිවෙතයි. මෙදා ඔවුන් එම කටයුත්ත ඉටුකර ගැනීමට වෑයම් කරන්නේ ඒ සඳහා බළල් අත් සංවිධානය කොට ඊට ආධාර කිරීමෙනි. මෙය අප අසා ඇත්තේ නීච යටත් විජිතවාදය ලෙසයි. කොටි සංවිධානය අප දකින්නේද එවැනි බළල් අත් සංවිධානයක් ලෙසය.

ත්‍රස්තවාදය මිහිපිටින් තුරන් කර දැමිය යුතු යැයි හඬක් නැගු එංගලන්තය ප්‍රංශය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් ශ්‍රී ලංකාවේ රජය එම කටයුත්තට සාර්ථක ලෙස උර දෙමින් කටයුතු කරද්දී ක්‍රියාත්මක වුයේ ඒ කතාවට ඉඳුරාම වෙනස් ආකාරයකටය. ඒ ක්‍රියාවලිය තුළින් අප තේරුම් ගත යුත්තේ කොටි ත්‍රස්තවාදයේ ජීවය ඇත්තේ කොතැනද යන්නය.

කොටි ත්‍රස්තවාදය හරහා බටහිර රටවල් උත්සාහ කළේ උතුරු : නැගෙනහිර දෙපළාත් වෙන්කොට වෙනම රාජ්‍යයක් මෙහි පිහිටුවීමටය. නැගෙනහිර පළාතේ පිහිටි ත්‍රිකුණාමල වරාය යුද්ධමය අතින් පෙරදිග ඇති වැදගත්ම වරායක් බව ඔවුහු හොඳින් දනිති. උතුරු නැගෙනහිර පළාත් වෙන් කළ විට එහි ඇති වරාය තමන්ගේ පාලනයට නතුකර ගැනීමට හැකිවෙතැයි ඔවුහු සිතුහ. එතැන් සිට ඉන්දියාවේ කටයුතු අස්ථාවර කොට එය කඩා කුඩා රාජ්‍යවලට කැබලිකර දැමීමේ ඔවුන්ගේ ඉලක්කයද පහසු වනු ඇත.

බටහිර එක්තරා ඔත්තු සේවාවක් විසින් "බ්‍රහ්ම පුත්‍ර" සැලැස්ම නමින් වැඩ පිළිවෙළක් ඔස්සේ ගොස් ඉන්දියාව කුඩා රාජ්‍යවලට කැබලිකර දැමීමට ගෙන ඇති උත්සාහයක් ගැන තොරතුරු මීට කලකට ඉහතදී ඉන්දීය බලධාරීන් විසින් ලොවට හෙළිකර ඇති බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටුම් සහ මතභේද ඇතිකිරීම ද මේ වැඩපිළිවෙළේ එක් අංගයක් වී තිබිණි.

මීට කලකට ඉහත ඉන්දු : ශ්‍රී ලංකා සබඳතා දෙදරා යෑමකට මග පෑදුනේ ද ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සහ යුද පුහුණුව ලබා දුන්නේ යැයි යන කතාවක් ඇසුරිණි. ඒ කතාව අප අතරට ආවේ අමෙරිකා එක්සත් ජනපදයේ පළවන සෝල්ජර් ඔෆ්පෝචුන් නමැති සඟරාව ඔස්සේය. එහි 1987 පෙබරවාරි කලාපයේ පළකරන ලද ලිපියක මෙසේ සඳහන් විය. "ශ්‍රී ලාංකික සටහන්කාමීන් පුහුණු කිරීමේ කටයුතු ඉන්දියාව තුළ ඇරඹුණේ හරියටම කවදාදැයි යන්න අපහැදිලි කරුණකි. අමෙරිකා එක්සත් ජනපද යුද්ධ ඔත්තු සේවයේ විශ්ලේෂකයකු පවසන්නේ 1983 ට පෙර ඇරඹුණු එම ක්‍රියාවලිය ඉන්පසු කාලය තුළ නවදිල්ලියට පාලනය කර ගත නොහැකි අයුරින් ව්‍යාප්ත වු බවයි.

ඉහත කී ලිපියෙහි යොදා ඇති "ශ්‍රී ලාංකික සටන් කාමීන්" යන වචන තුළ ගැබ්ව ඇත්තේ දෙබිඩි අර්ථයකි. එයට හේතුව එම සඟරාව එම ලිපිය පළකළ එම කාලවානුව තුළ ශ්‍රී ලංකාවේ සටන්කාමී කණ්ඩායම් හයක් ක්‍රියාත්මකව තිබීමයි. ජනතා විමුක්ති පෙරමුණ, ඊ. පී. ආර්. එල්.එෆ්. ඊරෝස්, ප්ලොටි, ටෙලෝ සහ එල්. ටී. ටී. ඊ. මීට අයත්ය. මේ සියලු කණ්ඩායම් අප හඳුන්වන්නේ ශ්‍රී ලංකා සටන්කාමීන් වශයෙනි. මේ සියලු කණ්ඩායම් කොටි ලෙස හැඳින්විය නොහැක. ඉන්දියාව ද්‍රවිඩ සටන්කාමීන්ට අවි පුහුණුවක් දුන්නේ යැයි යන කතාවේ සත්‍යයක් ඇතත් එල්. ටී. ටී. ඊ. සංවිධානයට අවි සහ සටන් පුහුණුව සපයන ලද්දේත් ඉන්දියාව විසින් යැයි කීම මිථ්‍යාවකි.

අපේ රටේ විදේශ විත්ති විචාරකයන් ලෙස පෙනී සිටින අයද කොටි ත්‍රස්තවාදය ගැන කතාකරන බොහෝ අවස්ථාවලදී තොරතුරු පැවසීමේදී මුලාශ්‍රයක් වශයෙන් යොදාගත්තේ ඉහත කී "සෝල්ජර් ඔෆ් පෝචුන්" නමැති සඟරාවය. ඒ අනුව කොටි පුහුණු කිරීම සම්බන්ධව ඇති සියලු මහදොස් පැවරුණේ ඉන්දියාව මතය. සැබෑ අපරාධකරුවා පිළිබඳ තොරතුරු සියල්ල එනිසාම යටපත්ව ගියේය.

එහෙත් "සෝල්ජර් ඔෆ් පෝචුන්" සඟරාව ගැනත් එහි කතුවරයා ගැනත් වැදගත් තොරතුරු රැසක් පැරණි සෝවියටි දේශයේ සිටි ලේඛකයෙකු වු ව්ලැඩිමර් කෝල්ඩොබ්ස්කි විසින් රචිත "වෘත්තික මිනීමරුවා" නමින් පළකරනු ලැබීම නිසා ත්‍රස්තවාදය පිළිබඳව තොරතුරු රැසක් ලොවට හෙළි විය. එහි කතුවරයා කලක් ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ බලකා සේවයේ යෙදී සිටිමින් කුලී භටයන් පුහුණු කළ අයෙකි. රොබටි බ්‍රවුන් නමින් හැඳින්වුණු ඔහු කලක් පීරු රටේ සී අයි ඒ සංවිධානයේද සේවය කොට ඇත. පසු කලෙක ඔහු යුද අවි වෙළෙඳාමට බැස්සේය.

ඉහත කී කරුණු අනුව කොටි ත්‍රස්තවාදීන් ගැන ඇති තොරතුරු යටගැසිය හැකි අයුරින් විවිධ ලිපි ප්‍රකාශයට පත් කිරීම එම සඟරාවේ අරමුණ විය හැක. අප දකින ආකාරයට එල්. ටී. ටී. ඊ. සංවිධානයට යුද අවි සැපයීමේ කතාව සම්බන්ධව ඇත්තේ බටහිර අධිරාජ්‍යවාදය හා බද්ධව ඇති රාජ්‍ය නොවන සංවිධානවලටය. එය වඩාත්ම පැහැදිලි වන්නේ එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදී නායකයින් විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ඉන්දියා විරෝධී වැඩපිළිවෙළ දෙස බලන විටය.

ඊශ්‍රායෙල් මොසාඩ් ඔත්තු සේවයේ යෙදී සිටි වික්ටර් ඔත්‍රොස්කි නමැත්තා විසින් ලියන ලද "රවටපු හැටි" නමැති ග්‍රන්ථයේ ලංකාවේ ද්‍රවිඩ සටන්කාමීන් පුහුණු කිරීම සිදු කළ ආකාරය ගැන පැහැදිළි විස්තරයක් ඇති බව මෙහිදී අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එහි මෙසේ සඳහන් වේ. "ඊශ්‍රායලය විසින් පුහුණු කරන ලද එක් කණ්ඩායමක් භාරව සිටියේ යොෂීය. එසේ වුවත් එම කණ්ඩායමේ අයට මගේ කණ්ඩායමේ අය මුණගැසීමට අවසර නොතිබිණි. ඔවුන් මගේ සිංහල කණ්ඩායමට සතුරු වු පිරිසක් විය. ද්‍රවිඩයන් සන්නද්ධ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ඉන්දීය නිලධාරීන්ට චෝදනාකොට ඇත. ඔවුන් දොස් පැවරිය යුත්තේ මොසාඩ් ආයතනයටය. බාධක තුළින් රිංගා යන සැටිත්, බිම් බෝම්බ අටවන සැටිත් සන්නිවේදන කටයුතු හසුරුවන සැටිත් ඩෝරා වැනි නැව් පුපුරවා හරින හැටිත් පිළිබඳව පුහුණුව ලැබුවේ කමාන්ඩෝ නාවික කඳවුරේදීය.

යුද්ධය නිම වෙමින් පවතින අවස්ථාවේ මේ රටේ ආණ්ඩුවට නිරතුරුවම බලපෑම් කළේද බටහිර රටවල් බව අපි හොඳින් දනිමු. කුෂ්නර්ලා සහ වේවිඩ් මිලිබෑන්ඩ්ලාට තමන්ගේ රාජකාරී වැඩ තිබුණේ යුරෝපයේ නොව ශ්‍රී ලංකාවේය. එය හොරාට පෙර කෙසෙල් කැන පැන්නා වැනි කතාවකි.

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පිළිබඳව විස්තර රැසක් රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳව පරීකෂණ කටයුතු මෙහෙයවු ජායින් කොමිෂන් වාර්තාවේ අඩංගු වේ. 1998 අප්‍රියෙල් මස 9 දින නිකුත් "දිවයින මුල් පිටුවේ" කොටි සමඟ හවුල් වී අමෙරිකාව ත්‍රිමලේ වරාය අල්ලන සැලසුමක් යන ශීර්ෂය යටතේ පළ කරන ලද වාර්තාවේ ඒ ගැන සඳහන් කර තිබුණේ මෙසේය. "කොටින්ට අවි ආයුධ සපයා ඒ මාර්ගයෙන් හෝ ත්‍රිකුණාමල වරාය අත්පත් කර ගැනීමට අමෙරිකාවේ මධ්‍ය රහස් ඔත්තු සේවය (කෂ්: කොටි සංවිධානය සමඟ කුමන්ත්‍රණය කර ඇතැයි "ජායින්" කොමිසමේ වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළත කටයුතුවලට අතපෙවිය හැකි අන්දමට රට කුඩා කැබලිවලට කඩා දැමීම බටහිර ඇතැම් ආණ්ඩුවල අවශ්‍යතාවකි. 1940 ගණන්වලදී එංගලන්තයේ පළවන ප්‍රබල පුවත්පතක් වු "මැන්චෙස්ටර් ගාඩියන්" පුවත්පත සිය කතුවැකියෙන් යෝජනා කර තිබුණේ යුදෙව් ජාතික යුරෝපීය අනාථයන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතේ පදිංචි කළ යුතු බවයි.

1943 මැයි 22 දින නිකුත් කළ සිංහල බෞද්ධයා පුවත්පත යුදෙව්වන්ට සුදුසු රට ලංකාව ද? යන ශීර්ෂ පාඨය යොදමින් මැන්චෙස්ටර් ගාඩියන් කතුවැකිය විවේචනය කොට අදහස් පළකර තිබු ආකාරය අපේ පැරැන්නන් තවමත් ආඩම්බරයෙන් කතා කරති. එදා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුදෙව් ඊශ්‍රායලයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කළ එම විදේශ බලවේගවලට මෙදා අවශ්‍යව තිබුණේ" ද්‍රවිඩ ඊශ්‍රායලයක් හෙවත් ඊළමයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමය. ප්‍රභාකරන් යනු එවැනි බලවේගවල බළල් අතක් බව ශ්‍රී ලාංකිකයන් තේරුම් ගත යුතුය.
(දිවයින_09/06/04)

පසුවදන_කොටි ත්‍රස්තවාදය පරාජය වෙමින් පවතින යුගයේ හමුදා විසින් අල්ලා ගන්නා ලද යුදායුද පිළිබඳ ජනතාව මවිත විය. එසේ ම ඔහු ත්‍රස්තවාදියෙකු වුව ද සිය අරමුණ වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයෙකැයි පිරිසක් කීහ. මේ ලිපියෙන් ඒ මතය නිශේධනය කෙරෙයි. ප්‍රභාකරන් යනු බටහර රූකඩයකි. එය නැටවූයේ සුදු අත්වලිනි. ඒ රූකඩය පරදින විට කලබල වූයේ සුද්දෝ ය. අදත් ඒ ජයග්‍රහනය කණපිට පෙරලන්නට දත කන්නේ සුද්දෝ ය. ඇතැම්හු මෙරට සිට සුද්දාගේ සපත්තු ලොවින කළු සුද්දෝ ය.

Tuesday, June 2, 2009

බෙදුම්වාදී දේශපාලන පෙරමුණද පරදවමු

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ජාතිවාදී බීජ වපුරා 1948 පෙබරවාරි 4 වැනි දින දේශීය නායකයන්ට භාරදුන් ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ දෙපාර්ශ්වයේම දේශපාලනඥයන්ගෙන් "පොහොර හා ජලය" ලැබ වැඩෙන්නට පටන් ගත් "දමිළ ජාතිවාදය" දෙමළ දේශපාලනඥයන් බලයට පත්වීමේ පහසුම "උපකරණය" ලෙස තෝරා ගත්හ. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක රාජ්‍ය සමයන්හි විවිධ බලපෑම් හරහා "උතුරට වෙනම පාලනයක්" ලබා ගැනීමේ අරගලයක යෙදුනද ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. එහෙත් මෙම උත්සාහයන් තුළ පැවැති අනතුර තේරුම් ගෙන ක්‍රියා නොකළ හේතුවෙන් දිනෙන් දින "දමිළ ස්වරාජ්‍ය" සංකල්පය වැඩෙන්නට විය. බලය ලබා ගැනීමේ අරමුණෙන් දකුණෙන් වෙන්වු "ස්වරාජ්‍යක්" ගැන කතා කළ දමිළ දේශපාලනඥයන්ට එරෙහිව 1950 දශකයේ මුල් භාගයේ කළු කොඩි එසවු දමිළ තරුණයන් 1970 දශකය තුළ "ඊළාම් රාජ්‍යයක්" දිනා ගැනීම පිණිස සන්නද්ධ වුයේ මුල් අවස්ථාවේම දමිළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ සුදානම් තේරුම් නොගැනීමේ වරද නිසාය.

කොටි සංවිධානයේ බිහිවීම

1970 දශකයේ මුල් අවධියේදී පැමිණි දමිළ දේශපාලන පකෂ නායකයන් ඊළාම් සංකල්පයට උචිත ලෙස තම පකෂවල නම්පවා වෙනස් කරමින් ක්‍රිය කළද ඉන් සෑහීමට පත් නොවු උතුරේ තරුණ කැළ පැරුණි නායකයන් මෙන්ම විවිධ නම්වලින් සන්නද්ධ සංවිධාන පිහිටුවා ගත්හ. පද්මනාභ, ශ්‍රී සභාරත්නම්, උමා මහේෂ්වරන් එසේ සංවිධාන පිහිටුවාගත් නායකයන් කීප දෙනෙකි. මොවුන්ගේ නායකත්වය පිළිනොගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් පුරා තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකාව ලෙයින් තෙත් කළ ම්ලේච්ඡතම සංවිධානය හෙවත් ඊළාම් විමුක්ති කොටි සංවිධානය 1975 මැයි 5 දා පිහිටුවීය. දෑඩි ජාතිවාදී මතවාදයෙන් සන්නද්ධ වු ප්‍රභාකරන් කැපී පෙනෙන ආකර්ශනීය චරිතයක් වු අතර ඔහුගේ සන්නද්ධ ව්‍යාපාරය සෙසු සංවිධාන අභිබවා ගිය ක්‍රියාශීලීත්වයක් පෙන්නුම් කළේය. 1970 මුල් අවදියේ වැල්වැටිතුරේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ගිනිබත් කර ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්වයට අත්පොත් තබා 1975 ජුලි 27 වැනිදා එවකට යාපනේ පුරපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය කර වේලුපිල්ලේ ප්‍රභාකරන් එහි වගකීමද භාර ගත්තේය. ඒ ප්‍රභාකරන්ගේ ප්‍රථම මිනිස් බිල්ලය. ප්‍රභාකරන් "දෙමළ ඊළමක් උදෙසා මෙලෙස තුවක්කුව අතට ගනිද්දී දෙමළ එක්සත් පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" නමින් "නැගෙනහිරු" ලාංඡනය යටතේ ප්‍රතිසංවිධානය වෙමින් "ඊළමට" උත්තේජනය සපයමින් ක්‍රියාකළද පසුව එහි නායකයන්ද ප්‍රභාකරන් සිය තුවක්කුවෙන් සදහටම නිහඬ කළේ ඔහුට අවශ්‍ය අයුරින් අවනත නොවීම හේතුවෙනි. කෝපායි මහජන බැංකුව කොල්ලකෑමට පැමිණි සිවකුමාරන් සයිනයිඩ් සංස්කෘතියට ගොදුරුවු ප්‍රථම තරුණයා බවට පත්වෙද්දී 1980 දශකය තුළ ප්‍රභාකරන් විසින් දමිළ තරුණයා "මිනිස් බෝම්බයක්" බවට පරිවර්තනය කරනු ලැබීය. ප්‍රභාකරන් සිය සන්නද්ධ ව්‍යාපාරය මෙලෙස ශක්තිමත් කර ගනිද්දී එය වඩාත් පහසුකර ගැනීම පිණිස උපාය මාර්ගයක් ලෙස තම සගයන් සාකච්ඡා මේසයටද වාඩි කරවීය. 1984 න් ආරම්භ වු සාකච්ඡා 2006 දක්වාම වරින්වර විවිධ හැඩයන්ගෙන් පැවැත් වුවද ප්‍රභාකරන් තම නියෝජිතයන් ඊට සහභාගි කරවුයේ සාමකාමී දේශපාලන විසඳුමක් ලබා ගැනීමට නොව තම සන්නද්ධ කටයුතු වඩාත් හොඳින් කරගෙන යෑමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමටය. ඒ අනුව කොටි සංවිධානය එදා මෙදා තුර හැම සාකච්ඡා මණ්ඩපයකින්ම බැස ගියේ යුද්ධයෙන් දිනාගත් දැට වඩා වැඩි ජයග්‍රහණ රුසක් සාකච්ඡා මේසයේදී අත්පත් කර ගනිමිනි.

රට පාවාදුන් සටන් විරාම ගිවිසුම

1994 බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය තුළ ඇමැතිකම් දෑරු බෙදුම්වාදීන්ගේ අතකොලු බවට පත් පිරිසක් දේශපාලන විසඳුමක් ලෙස බෞතීස්ම කරමින් බෙදුම්වාදයට පාර කපන "පැකේජයක්" 1998 ඉදිරිපත් කළද ඊට එරෙහි නැඟුණ දෑවැන්ත උද්ඝෝෂණ හමුවේ එය හකුලා ගැනීමට සිදුවිය. අනතුරුව 2001 බලයට පත් රනිල් වික්‍රමසිංහ රජය 2002 පෙබරවාරි 22 දින තම ඇමැති මණ්ඩලයට පවා හොරෙන් කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එය ප්‍රභාකරන්ට දෑවැන්ත ජයග්‍රහණ රුසක් ලබාදුන් ගිවිසුමක් වු අතර රනිල් වික්‍රමසිංහ රජය එතෙක් පැවැති "ඒකීය රාජ්‍ය තත්ත්වය" සිය කැමැත්තෙන්ම අත්හිරිනු ලැබීය. මෙම ගිවිසුම මගින් මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් වු කොටි සංවිධානයට ජාත්‍යන්තර පිළිගැනීමක් හා නිත්‍යානුකුල භාවයක් අත්කරදුන් අතර කොටි පාලන ප්‍රදේශ දමිළ නිජබිම ලෙස පිළිගනු ලැබීය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත් දෙක කොටි සංවිධානයේ පාලන ප්‍රදේශ ලෙස පිළිගැනුණි. කොටි හමුදාව ආයුධ දෑරීමට අයිතිය ඇති නිල හමුදාවක් ලෙස පිළිගත් අතර ඔවුන් ලාංකේය හමුදාව හා සම තත්ත්වයෙහිලා පිළිගන්නා ලදී. අනතුරුව කොටි උසාවි, අධිකරණ ඔවුන්ගේ නීතියේ ආදිපත්‍ය පිහිටවු ආයතන බවට පත්විය.

මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමගම මාර්ග බාධක ඉවත්වී ආරකෂණ ක්‍රියාවලිය මුලුමණින්ම ලිහිල් වු අතර මුළු රටම "සාම සැණකෙලියක්" බවට පත්විය. රනිල් වික්‍රමසිංහ රජය මෙය රටට සාමය ගෙන ඒමේ අවංක වුවමනාවෙන් ගෙන ආ ගිවිසුමක් විය හැකි වුවත් ප්‍රභාකරන් කිසිදාක සාමකාමී මාවත් හරහා ඊළම අපේකෂා කළ අයෙක් නොවීය. කෙසේ වුවද ගිවිසුම අත්සන් කිරීමත් සමග උතුරේ දකුණේ මාර්ග බාධක ඉවත්වීම තුළ දකුණේ ජනතාවට උතුරටත් උතුරේ ජනතාවට දකුණටත් යන්නට එන්නට අවකාශ ඇතිවිය. එසේ වුවද උතුරට යන හැම වැසියෙකුගෙන්ම බදු අය කරන්නට කොටි සංවිධානය අමතක නොකළේ උතුර හා නැගෙනහිර තම නිජබිම් බව තහවුරු කිරීම පිණිසය. මෙම ගිවිසුම හරහා ඇතිවු "නිදහස" රනිල් වික්‍රමසිංහ රජයේ හා බෙදුම්වාදයේ මතවාදී පෙරමුණේ නොමඳ ඇගයීමට ලක් වුවද ගිවිසුම අත්සන් කළදා පටන්ම ජනතා විමුක්ති පෙරමුණ මෙය රට පාවාදුන් ගිවිසුමක් ලෙස අර්ථ කථනය කර ඊට එරෙහි ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීය. අද වන විට බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී ඇති පැරුණි වමේ පකෂත් වික්‍රමබාහු, වාසුදේව වැනි "ත්‍රිවිල් පකෂ" නායකයන්ද ගිවිසුම ගෙන ආ එජාපය සමග එක පෙළක හිඳ ජවිපෙට පහර දුන්නද ජවිපෙ තම විරෝධතාවය ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ඉදිරියටම ගෙන යනු ලැබීය. ජාතික හෙළ උරුමය ජාතිවාදී පදනමක් මත පිහිටා වුවද මෙම ගිවිසුමේ භයානක කම අර්ථ දක්වනු ලැබීය. ජවිපෙ හා හෙළ උරුමය ගිවිසුම පිළිබඳව ගෙනගිය මතය සමාජ ගතකරන්නට ඉඩ හසර ලබාදෙනු ලැබු විද්‍යුත් මාධ්‍යක් එදා නොවුණද ගිවිසුමෙන් මවු බිමට එන හානිය පිළිබඳව නිසි අධ්‍යයනයක යෙදී "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් ජවිපෙ මතය හා අනුගත වෙමින් කළ මෙහෙවර අති ප්‍රබලය. 2002 මාර්තු 20 දින පැවැති පළාත් පාලන මැතිවරණය ජවිපෙ මෙම ගිවිසුමට එරෙහි මතය ප්‍රකාශ කරන්නට වේදිකාවක් කරගත්තද එයින් ජවිපෙ ඡන්ද පදනම තුනෙන් එකක් දක්වා පහත වැටුණි.

රනිල් වික්‍රමසිංහ රජය ගිවිසුම අකුරටම රකිමින් දිනෙන් දින හැකිලෙද්දී කොටි සංවිධානය සියලු අංශවලින් තරවන්නට විය. කොටි කඳවුරු ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවන්නට පටන් ගත් අතරම මනිරාසකුලම් කොටි කඳවුර සටන් විරාම සමයේ ඉදිකළ කඳවුරු අතර ප්‍රධාන තැනක් ගනු ලැබීය. සටන් විරාම ගිවිසුමට මුවාවී එල්ටීටීඊය නැව් පිටින් ආයුද ගෙන ආ අතර මේ සියල්ල සිදුවුයේ සටන් විරාම ගිවිසුමේ සිටි ප්‍රධාන නිරීකෂකයා වු නෝර්වේ රජය දෑනුවත්ව බව ඒ අවස්ථාවලදීම අනාවරණය කළද මේ පිළිබඳව ආරකෂක අංශ රජයට අවස්ථා කීපයකම දෑන් වුවද රනිල් වික්‍රමසිංහ රජය ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධාන හා නෝර්වේ ප්‍රමුඛ ස්කැන්ඩිනේවිජියානු රටවල උපකාරයෙන් නවීන තාකෂණයෙන් යුත් උපකරණ කොළඹ වරාය හරහාම උතුරට යැවුනි. කොටින්ගේ භාණ්ඩ රුගත් කන්ටෙිනර් හමුදා ආරකෂාව යටතේ කිලිනොච්චියට ගෙන ගොස් භාරදුන් අවස්ථාද විය. ප්‍රභාකරන්ට උපන් දින තෑගි ලෙස අධිතාකෂණයෙන් යුත් සංනිවේදන උපකරණ උතුරට යැවුයේද මෙම වකවානුවේදීය. ලාංකේය හමුදාව සටන් විරාම ගිවිසුම අකුරටම රකිද්දී කොටි සංවිධානය සටන් විරාම ගිවිසුම තඹ දොයිතුවකට මායිම් නොකර දස දහස් වාරයක් උල්ලංඝනය කරනු ලැබීය. වරෙක කොටින්ගේ මායිම පැන්න වරදට ලාංකේය හමුදාවේ සෙබළු අත්අඩංගුවට ගෙන කොටි අධිකරණයේ දඬුවම්වලටද යටත් කරනු ලැබීය. මේ සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් නොදුටු නොඇසුන අයුරින් ක්‍රියා කළ රජය කොටි විසින් සිදුකළ මිනිස් ඝාතන "නාඳුනන තුවක්කුකරුවන්ගේ" ඝාතන ලෙස හුවා දක්වා "කොටි බේරා ගනු ලැබීය."

"දිවයින" පුවත්පත් ආයතනයේද සහාය ඇතිව ජවිපෙ හා සිංහල උරුමය වෙන් වෙන් වුවද රජයේ මේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම්වලට එරෙහිව විවිධ උද්ඝෝෂණ ගෙන ගියද රනිල් වික්‍රමසිංහ රජය සිය කොටි හිතවාදී ගමන වෙනස් කළේ නැත. ඒ නිසාම අවසන් විසඳුම ලෙස රනිල් වික්‍රමසිංහ රජය පෙරළා දෑමීම සඳහා ජවිපෙ ගාල්ලේ සිට කොළඹටත්, නුවර සිට කොළඹටත් පා ගමන් සංවිධානය කෙරුණි. ශ්‍රීලනිපයේ සැලකියයුතු පිරිසක් මෙම විරෝධතාවයන්ට එක්වු අතර මේ සඳහා දෑවැන්ත ජන සහභාගීත්වයක් ලැබුණි. මෙමගින් කළ බලපෑම නිසාම 2004 පෙබරවාරි 7 වැනි දින ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. මෙය ජවිපෙ බලපෑම මත තමා කළ මෝඩ වැඩක් ලෙස ජනාධිපතිනිය පසු කලෙක පවසා තිබුණද එදා එසේ නොකළේ නම් රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඊළම දිනාගැනීමට ද ඉඩ තිබුණි.

රනිල් වික්‍රමසිංහ රජය රටට කරනු ලබන ද්‍රෝහීකම වළක්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් දේශපාලනිකව පරාජය කරනු පිණිස ජවිපෙ 2004.01.20 දින ඓතිහාසික ගිවිසුමකට එළඹුණි. ඒ නිසාම 2004.04.02 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය පරාජය කර එජනිස සන්ධානය බලයට පත්විය. ඒ අනුව අමාත්‍යධුර 4 ක් හා උප අමාත්‍ය ධුර 4 ක් භාර ගනිමින් ජවිපෙ රජයට එක් වුවද සටන් විරාම ගිවිසුම අහෝසි කරන ලෙසත් උතුරු නැගෙනහිර දෙපළාත යළි වෙන්කරන ලෙසත් ගෙනිගය අරගලය අත්හළේ නැත. චන්ද්‍රිකා රජය ඊට එකඟ වුයේ නැත. මේ අතර 2004.12.26 දින සුනාමි ව්‍යසනය රටට දෑවැන්ත විනාශයක් සිදුකළ අතර ජීවිත 40,ත00 ක් පමණ අහිමිවිය. උතුර මෙන්ම දකුණද එකසේ විනාශ වුවද බටහිර ජාතීන්ගේ "මානව දයාව වැඩිපුර යොමු වුයේ උතුරේ ජනතාව වෙතයි. ඒ අනුව අතිවිශාල ආධාර ප්‍රමාණයක් ප්‍රභාකරන්ට අතට පත්කෙරුණි. එයින් සෑහීමකට පත්නොවී උතුරු ප්‍රදේශයේ ජනතාව නඟා සිටුවීමට සුනාමි සහන මණ්ඩලයක් පිහිටුවීමටද බටහිර ජාතීන් යෝජනා කළේය. ඒ අනුව කොටි සංවිධානයට බලය හිමිවන සංයුතියක් සහිතව සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමටත්, රුපියල් කෝටි විසිඅටදහසක් එම මණ්ඩලයට ලබාදීමටත්, උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අටක සහන කටයුතු එමගින් සිදුකිරීමටත් යෝජනා කෙරුණි. චන්ද්‍රිකා රජය මෙය ක්‍රියාත්මක කරන්නට සුදානම් වීම හේතුවෙන් ජවිපෙ ඊට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් ගෙන ගියද එය නොසලකා "රටට වඩා සුනාමි සහන මණ්ඩලය වටිනවා" කියමින් සන්ධාන රජයේ ප්‍රබල ඇමැතිවරු සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කරන්නට සුදානම් විය. මේ නිසාම ඊට විරෝධය පා 2005 ජුනි 16 වැනි දින ජවිපෙ සන්ධාන රජයෙන් ඉවත්විය. පසුව අධිකරණ ක්‍රියා මාර්ගයක් මගින් සුනාමි සහන මණ්ඩලයත් උතුරු නැගෙනහිර එක් කළ ගැසටි නිවේදනයක් අහෝසි කිරීමට ජවිපෙ සමත් විය.

මහින්ද දිනවීමේ බර ජවිපෙ කරට ගනී

මේ වන විට සන්ධාන රජය සමග ජවිපෙ උරණවී තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වුවහොත් රටට විය හැකි හානිය සැලකිල්ලට ගෙන තම පකෂයට වන හානිය නොසලකා මහින්ද රාජපකෂ මහතා දිනවීම පිණිස කටයුතු කරන්නට ජවිපෙ තීරණය කරනු ලැබීය. ඒ අනුව 2005.11.17 දින පැවැති ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ දිනවන තොණ්ඩමන්-හකීම් සාධකයද පරාජය කරමින් සන්ධානයේ අපේකෂකයා වු මහින්ද රාජපකෂ මහතා ජයගනු ලැබීය. ජවිපෙ තම ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ නොවන අපේකෂකයකු දිනවීමට ක්‍රියා කළේ මෙම මැතිවරණයේදීය. ශ්‍රීලනිප මුලස්ථානය පවා වසා දමා මහින්ද රාජපකෂ මහතා පරාජය කිරීමට ඔහුගේ පකෂයේම අය ක්‍රියා කරද්දී ජවිපෙ දෑවැන්ත කැපවීමක් කර මහින්ද රාජපකෂ මහතා බලයට පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් නියත වශයෙන්ම ඊළාම් රාජ්‍ය ලබාදීමට ක්‍රියාකරන බව දෑන සිටි නිසාය.

බෙදුම්වාදයේ මතවාදී පෙරමුණෙන්ද ඉට බේරා ගත යුතුයි

2009.05.19 දින එතෙක් රටටම මහත් පිලිලයක් වුද මිනිස් ජීවිත ලකෂයක් පමණ බිළිගත්තා වුද කොටි සංවිධානය මුළුමනින්ම පරාජය කර බෙදුම්වාදයේ "යුද පෙරමුණ" පරාජය කරනු ලැබීය. ඒ නිසාම මේ වන විට මනුෂ්‍යත්වයේ සීමා මායිම් ඉක්මවා යමින්ද එම ජයග්‍රහණය සමරමින් සිටියි. ඒ ආනන්ද ජනක මොහොත තුළට මෙතෙක් යුද්ධයෙන් බෙදා වෙන් කළ නොහැකි වු රට සාමකාමීව බෙදා වෙන් කිරීමට දේශීය හා විදේශීය බෙදුම්වාදයේ "මතවාදී පෙරමුණ" ක්‍රියාත්මක වෙමින් සිටී. ආණ්ඩුව තුළ සිටින අද වනවිට බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී සිටින පකෂ නායකයන් සහ රට බෙදා වෙන් කිරීමේ මතවාදී පෙරමුණේ දේශීය නියෝජිතයන් දේශීය වශයෙන්ද තතවද ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ඉතාලිය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් කීපයක් විදේශීය පෙරමුණ ලෙස ක්‍රියාත්මක වෙමින් සිටී. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ඔහුගේ නායකත්වයෙන් ඊළම ලබාදීමට කළ හැකි හැම සතුරුකමක්ම කළ මොවුන් වර්තමානයේ කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් නම්වු වත්මන් කොටි නායකයාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන කොටි සංවිධානය ශක්තිමත් කරන අතරම දේශපාලන විසඳුමක් නමින් ඊළම ලබාදීමට ක්‍රියාකරමින් සිටිති. එජා මහලේකම් හතළිහක පිරිසක් සමග ලංකාවට එන්නේද ඒ වුවමනාවටය. ඒ බලපෑම ඔහු රට බෙදා වෙන් කිරීමට පදනම දෑමු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන රට බෙදා වෙන් කිරීමට පාර කපන දේශපාලන විසඳුමක් ගෙන ඒමට රජය උත්සාහ කරන බව වාර්තාවේ.

වෙනම පාලනයක් ලබාදීමෙන් පමණක් විසඳිය හැකි ප්‍රශ්න හෝ ආර්ථික ගැටලු උතුරු නැගෙනහිරට නැත. එහි ජනතාව මුහුණ දෙන්නේද අප මුහුණ දෙන ආර්ථික අර්බුදයටමය. මධ්‍යම රජයට විසඳිය නොහැකි ගැටලු එහි නැත. රජය දෑන් කළ යුත්තේ උතුරු නැගෙනහිර ජනතාවට, ආහාර පාන, නිවාස, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සපයා රුකියාද ලබාදී දකුණේ අප මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසාදීමය. ඒ හැර සුවහසක් දුක් දෝමනස්සයන්ගෙන් වේදනා විඳි ඒ ජනතාවට දෑන් අවශ්‍ය වන්නේ දේශපාලන විසඳුම් නොවේ. අවශ්‍ය වන්නේ කුසට අහරකි. ඉනට වැරහැල්ලකි. හිසට සෙවනකි. ලංකා ඉතිහාසය අලුතින් ලියු මහින්ද රාජපකෂ ජනාධිපතිවරයා බෙදුම්වාදයේ යුද පෙරමුණ වු කොටි සංවිධානය විනාශකර බෙදුම්වාදයේ මතවාදී පෙරමුණ හෙවත් දේශපාලන පෙරමුණද පරාජයට පත් කරමින් සිටී. බංකොලොත් දේශපාලන පකෂ නායකයන් ගෙන එන ඊළමට පාර කපන දේශපාලන විසඳුම් ලබා නොදීමටත් රණවිරුවන් ලේ හලා දිවිපුදා බේරාගත් රට දේශපාලන ලියවිල්ලකින් යළි බෙදුම්වාදීන් අතට පත් නොකිරීමටත් ආණ්ඩුව වගබලා ගත යුතුය.

ගුණවර්ධන ගල්ගමුවගේ
(දිවයින_09/06/03)

පසුවදන_බෙදුම්වාදයේ අතිදරුණු ත්‍රස්තවාදී පෙරමුණ පරාජය කළ විරෝධාර ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආණ්ඩුව හමුවේ දැන් ඇති අභියෝගය බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරාජය කිරීමයි. අප ජයගත් අභියෝලයේ තරමට එය නොකළ හැක්කක් නොවේ. එහෙත් එහි ඇති දුෂ්කරතාව නම් රටේ සතුරන් අප අතර මිතුරු වෙසින් ගැවසීමයි. ත්‍රිවීල් මාක්ස්වාදී සමාජවාදී දේශපාලන පක්ෂ ඇනිය, ෆෙඩරල් උණ අසාධිත සරසවි ඇදුරන්, ජඩ-මාධ්‍යවේදීන් සහ ජාතික සාම මණ්ඩලය, සහජීවන ව්‍යාපාරය ආදී තුප්පහි NGO කාරයින් මේ පෙරමුණ නියෝජනය කරති.

අප වහාම මේ සතුරන් හදුනා ගත යුතු ය. ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු ය. ජනමතයට පිටුපෑමට කිසිවෙකුට නොහැකි ය. අද බංකොලොත් දේශපාලනයේ එරී දඟලන ජවිපෙ විසින් මව් බිමේ විජයග්‍රහනය වෙනුවෙන් කරනු ලැබූ කාර්යභාරය මේ ලිපියෙන් සිහිපත් කිරීම වටියි. ඔවුන් අද කොතැන හිටිය ද කළ හොඳ අප අමතක කළ යුතු නැත. ඒ පිළිබඳ මම මීට පෙර සංහිඳේ ලීවෙමි. (යන්න_http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html)
 
සිය රට දේ සිරි සැප දේ !