Sunday, June 2, 2013

සමරමු බැතිනි - මල් පැලේ උපන් පන්සලේ පියතුමා!

ගරු මර්සලීන් ජයකොඩි පියතුමාගේ උපත් සමරුව අදයි.

මම ලෝගුවට වගේම සිවුරට ආදරෙයි. මගේ ආගම කතෝලික. මගේ සංස්කෘතිය සිංහල බෞද්ධ යැයි සිංහනාදෝ කළෝ මර්සලීන් ජයකොඩි පියතුමාණෝය. ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි මර්සලීන් ජයකොඩි පියතුමා ගැන පොතක් ලීවේය. බෞද්ධ භික්ෂුවක් කතෝලික පූජකවරයෙකු පිළිබඳ ලියූ මුල්ම සහ එකම පොත එය විය යුතුය. අද පේ රටට මර්සලීන් ජයකොඩි පියතුමන්ලා සිය දහස් ගණනක් අවශ්‍ය මොහොතකි. බහුතරය බෞද්ධ වු පමණින් අනෙක් අය බෞද්ධාගමිකයින් විය යුතු නැත. විය යුත්තේ ඔවුන් බුදුදහම පදනම් කරගත් මහා සංස්කෘතියෙහි අභිමාණවත් කොටස්කරුවන් වීමය. මේ රටේ බෞද්ධ උරුමය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමය. වෙනත් ලෙසකින් කිවහොත් රටට අවශ්‍ය සිංහල හින්දු, සිංහල කතෝලික, සිංහල ක්‍රිස්තියානි, සිංහල මුස්ලිම් පිරිසකි. ඔවුන් එසේ වන අතර ඔවුන්ගේ ආගමික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගත යුතුමය. ඒ සඳහා සහාය දීම සිංහල බෞද්ධයින්ගේ යුතුකමයි.



                                                                        (අපේ පියතුමා මාපලගම විපුලසාර හිමි සමඟ)


පන්සිය වසක් අප ආපසු යන දා ට
හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
මාලති මල් නෙළාගෙන යති බුදු ගේට

පන්සලටය පෙර පරපුර අකුරු ගියේ
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ
අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ

ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්
                                       රචනය - මර්සලීන් ජයකොඩි පියතුමා

උන්වහන්සේ ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !