Saturday, June 1, 2013

ගවයා, සිංහල බෞද්ධයා, හිංදුවා සහ කටුවාවල ජේමිස්ලා

ගව ඝාතන විරෝධය පිළිබඳ ෆේස්බුක් අඩවිය ඔස්සේ මම සහ ඉන්ද්‍රනාථ තේනුවරයන්ද තවත් අය ද අතර සංවාදයක් ඇති විය. ඊට හේතු වූයේ "සිංහල බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක්‍රිස්තියානි හරක් මස් වැළඳීම" නම් ගාමිණි වියන්ගොඩ නමැත්තෙකු ලියූ ලිපියකි. එම සංවාදය වැදගත් බවත් බ්ලොග් අඩවියක සංරක්ෂණය විය යුතු බවත් ප්‍රකාශ කළේ තේනුවරයෝය. මේ එම අදහසෙහි ප්‍රතිඵලයයි. මේ අදහස් ඔබට කියවීමට ලැබීම මගින් යම් යහපතක් වේ නම් ඒ පින තේනුවරයන්ට අයිති විය යුතුය.

අපි එකිනෙකාට විරුද්ධ මතවාද දරන්නෝ වෙමු. එකිනෙකාට එරෙහි අදහස් පළ කරමු. මතවාද ඔස්සේ ගැටෙමු. එහෙත් සංවාදය ඔස්සේ බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි යැයි විශ්වාස කරමු. ගව ඝාතන විරෝධය අපේ නිදහස් අරගලය තුළ තවමත් සාක්ෂාත් කරගත නුහු ඉසව්වක් බව මගේ අදහසයි. අපේ සංස්කෘතික අක්මුල් සොයා යෑම යනු ශිෂ්ටාචාරය  අතීතයට ඇදගෙන යාමක් නොව අතීතයට වැදී අපට මග හැරුණු ඇතැම් වටිනා දෑ නුතන සමාජයට රැගෙනවිත් ඒවා අප ජීවත් වන සමාජ ක්‍රමය වෙත ගලපා ගැනීමක් වන අතරම නූතනයේ අප වෙලා ගෙන ඇති විවිධ විසාදීන් සමහන් කර ගැනීම සඳහා ක්‍රමවේද සැකසීමක් ද වෙයි. මෙතැන් සිට දිගහැරෙන්නේ ඒ සංවාදයයි.

ගාමිණි වියන්ගොඩගේ ලිපිය ගැන මගේ අදහස.

Namal Udalamatta හරක් මස් නොකෑම මේ රටේ සංස්කෘතික අංගයක්. ඒක නොක්ස් එදා හෙළදිව කෘතියේ කියනවා සිංහලයින් ගෙරි මස් අනුභව නොකරයි කියලා. ධර්මපාලතුමා ඒ වෙනුවෙන් සටන් කළා. එදා ඉඳලා බෞද්ධයෝ ගෙරි මස් නොකන්නේ මුස්ලිම් අයට කෙළවන්න ද? පිස්සු විකාරනේ. බෞද්ධයින් ගෙරි මස් නොකන්නේ මුස්ලිම් අය මේ රටට එන්නත් පෙර සිට. 

මේ රටේ බෞද්ධ හින්දු දෙපිරස ගත්තාම 85%ක් වෙනවා. 1505 පස්සේ තමා සුළු සිංහල පිරිසක් වුණත් හරක් මස් කන්න පුරුදු වුණේ. ඇයි සිංහල බෞද්ධ හින්දු දෙපිරසගේම හිත් රිදවන දෙයක් වෙන්න ඉඩ තියන්නේ? ඒකද ඔය මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය?

අනෙක ගව ඝාතනය නතර කරන තැනින් අපට සත්ව ඝාතනය නතර කරන්න පුළුවන්. අවශ්‍ය අයට පිට රටින් ගෙනැත් කන්න පුළුවන්. එවිට එහි පාලනයක් වෙනවා. මේ රටට අවශ්‍ය සීනිවලින් 94%ක් පිට රටින් ගේන්නේ. සීනි කියන්නේ හැමෝම කන දෙයක්. ඉතින් එහෙනම් ඇයි 10%ක් විතර කන හරක් මස් ගේන්න බැරි?

මේ වගේ අවස්ථාවාදීන් උතුරේ බලය බෙදීම ගැන කතා කරද්දි දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලනවා. ඔවුන්ගේ පූජනීය සතා මරාන කද්දි බයිල ගහනවා. අපි කිසියම් ආගමික ප්‍රතිපත්තියකට ගරු නොකළත් ඊට ගරු කරන්න අන්‍ය අයට ඇති අයිතිය පිළිගත යුතුයි. විශේෂයෙන් බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක විය යුතුයි.

Indranatha Thenuwara මේ ලිපියේ හැම වගන්තියකට ම මාත් එකඟ වෙන්නෙ නැහැ. 
නමුත් මා දන්නා මූලාශ්‍ර අනුවනනම් සිංහලයා අතීතයේදි හොඳට මස් මාංශ පරිභෝජනය කළ බව මා කියවා තිබෙනවා. රොබට් නොක්ස් ලංකාවට එන්නෙ ලන්දේසි, පෘතුගීසී කාණ්ඩ දෙකට ම පසුව බවත් අමතක කරන්න එපා.

නෑ මම කීවේ නැහැ සිංහලයා මස් කෑවේ නැහැ කියලා. විශේෂයෙන් වැව් ආශ්‍රිත සෙල් ලිපිවල පැරණි ජනප්‍රවාද සහ පොත පතෙහි තියෙනවා ඒ ගැන විස්තර. හැබැයි සිංහලයා මස්වලට ප්‍රමුඛත්වය දුන්නා කියලා එමෙම නැත්නම් හොඳට මස් කෑවා කියලා කියන්න තරම් සාධක නැහැ මට. 

විශේෂයෙන් සිංහල සංස්කෘතියට අයත් කිසිම කෑමක් නැහැ මස් මාංශ ඇතුළත්. (තියෙනවා නම් මට කියන්න.) මගේ තර්කය මීට අදාළව නම් සිංහලයා ගෙරි මස් කෑවේ නෑ කියන එකයි. අදත් සිංහල බෞද්ධයා ගෙරි මස් කන්නේ නැහැ. සිංහලයා චිකන් කෑ පමණින් තර්ක කරන එක වැරදියි ඇයි හරකාට විතරද පණ තියෙන්නේ කුකුළා කළු ද? කියලා. ඒක සියුම් ලෙස වටහාගත යුතු සංස්කෘතික කාරණයක්. අපි අපේ සහෝදරිය සමඟ පවුල් නොකන්නේ ඈ ගැහැනියක් නොවන නිසා නෙමේ අපි ගරු කරන සංස්කෘතිය හර පද්ධතිය නිසා කියලා තේරුම්ගත යුතුයි. 

අනෙක අපි ආරක්ෂා කළ යුතු ගරු කළ යුතු තවත් ප්‍රධාන කාරණයක් තමා ගවයා අපේ හින්දු අයගේ පූජනීය සතෙක්. ඒ නිසානේ පොළොන්නරුවට එද්දි සඳකඩ පහණින් ගවයා ඉවත් වෙන්නේ. අපි ඔවුන්ගේ ආගමික අයිතියට සංවේදි විය යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. 

නොක්ස් ලංකාවට ආවේ ඉංග්‍රීසි කාලයේ නෙමේ 1660 දී. 2 වන රාජසිංහ රජ කාලයේ. ඒ කියන්නේ ලන්දේසී පාලන කාලයේ. 20 අවුරුද්දක් ලංකාවේ හිරගත කරලා ඉඳලා අවසානයේ පළා යන නොක්ස් මොකක් සිංහලයා ගැන කියන්නේ? "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍යපානය නොබොන්නේය. සොරකම් පිළිකුල් කරන්නේය. ගෙරිමස් මුවෙහි නොතබන්නේය." අන්න එහෙමයි සිංහලයා. 

එයින් පැහැදිලියි සිංහලයා ගෙරි මස් නොකන්නේ මේ ඇතැම් මානසික ව්‍යාධිකාරයින් කියන විදිහට මුස්ලිම් මිනිස්සුන්ට කෙළවන්න නෙමේ කියලා. ඒ සටන අධිරාජ්‍ය විරෝධි සටනේ කොටසක්. තවම සාක්ෂාත් කරගත නොහැකි වූ කොටසක්.

Hiran De Saram මුස්ලිම් සහෝදරවරුන්ගේ ගවමස් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු...!!

ඔව් මම එකඟයි. රටේ හරක් මස් පිළිකුල් කරන ජනතාව 85%යි. ඉන් ගවයා පූජනීයත්වයෙන් සලකන පිරිස 15-18 විතර. ගව මස් කන පිරිස මුස්ලිම් නම් ඒ 8%යි. එතකොට අපි ආරක්ෂා කළ යුත්තේ බහුතරයේ ආගමික සංස්කෘතික අයිතියද? සුළුතරයේ මස්කෑමේ අයිතියද? ඒ සුළුතරයට අවශය මස් අපට පිට රටින් ආනයනය කළ හැකි නම් ඉන් දෙපිරිසේම අයිතිය ආරක්ෂා කරගත නොහැකිද?

Hiran De Saram ලංකාවෙ චිකන් කන අයගෙ ප්‍රතිශතය කීයද...

Namal Udalamatta මේත පව් පිං පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. සංස්කෘතික කාරණයක්. ඒක මගේ කලින් කමෙන්ට් එක එළඹි සිහියෙන් බැලුවා නම් තේරුම් යන්න ඕන.

Indranatha Thenuwara සඳකඩ පහණෙන් ගව රූපය අයින් වන්නෙ හින්දු ආක්‍රමණ නිසා බව ඇත්ත. එතකොට හින්දු ආක්‍රමණ ලංකාවට සිද්ද වෙන්න කලින් සිංහලයා ගෙරි මස් කෑවද..?? ඊට කළින් සිංහලයො හිටියෙ නැද්ද..?
ඊ ළඟට පිටරටින් ගේන හරක් මස් කෑවට කමක් නැද්ද..??

සිංහලයා ඉතිහාසයෙහි කිසිදු අවස්ථාවක ගෙරි මස් කෑ බවට කිසිදු සනාථ කළ හැකි සාධක නොමැත. සිංහලයා ගතකළ කෘෂිකාර්මික දිවිපෙවෙත මෙන්ම අසල්වැසි භාරතීය සංස්කෘතික බලපෑමද ඊට හේතු වූයේ යැයි සිතිය හැකිය. ගවයා ඔහුට හිතවතෙක් විය. අනෙක් අතට අවිහිංසාවාදී බුදුදහමේ බලපෑම නිසා ඔහු බෙහෙවින් නිර්මාංශ ආහාරවලට නැඹුරු විය. ඉන් කියැවෙන්නේ සිංහලයා වෙජිටේරියන් බව නොවේ. ගවමස් කන්නා සිංහලයාගේ පිළිකුළට හේතු විය. 

මේ සාකච්ඡාව අපේ සංස්කෘතිය නිර්මාණය වන යුගයට සීමා කර ගැනීම මැනවි. නැතහොත් ක්‍රිස්තු පූර්ව යුගවල මානවයා මිනී මස් අනුභව කර ඇති බැවින් හදිසියේ ඉඩී අමීන් කෙනෙක් මතුවී මිනී මස් කෑම ආරම්භ කළහොත් ලෝකය මෙතෙක් ගොඩනඟා ගත් සියලු සංස්කෘතික පදනම් බිඳ දමා කැනිබල්ස්ලාගේ මිනී මස් කෑමේ අයිතියට ඉඩ දියයුතු යැයි කියන පමණට කෙනෙකුට තර්ක කළ හැකිය.

මා පිටරටින් හරක් මස් ගෙන ඒමට එකඟ වන්නේ එය අවශ්‍ය යැයි සිතන මුස්ලිම් පිරිස වුව අසහනයට පත් නොකිරීමේ අවශ්‍යතාව නිසාය. අපට අවශ්‍ය මේ රටේ සංස්කෘතික හර පද්ධති ආරක්ෂා කරගෙන ජීවත්විය හැකි පරිසරයක් මිස කිසිවෙකුට රිදවීමට නොවේ. මේ රටේම ජනතාවගේ කිරි අවශ්‍යතාවට නවසීලන්තයට ඕස්ටේලියාවට දුවන අයට 8%ක් ජනතාව වෙනුවෙන් හරක් මස් ගෙන ඒමට නොහැකි ඇයි? එවිට 85%ක් වන බෞද්ධ හින්දු ජනතාව විඳවන්නේ නැත. මුස්ලිම් ජනතාවට ද හරක් මස් ලැබේ. එවිට කිසිවෙකුට ගැටලුවක් ඇති නොවන පරිදි මේ ගැටලුව විසඳාගත හැකිය. මා දක්වා ඇති මතුගම සෙනෙවිරුවන් ලියූ ලිපිය කියවීමෙන් බොහෝ දේ උගත හැකිය.

Thushara Disanayaka ගව මස් නිසා බෞද්ධ ජනතාව විඳවන්නේ නෑ සහෝදරයා, විඳවන්නේ බෞද්ධ ජනතාවගේ අයිතිකාරයෝ තමන් යයි හිතාගෙන ඉන්න අතලොස්සක්.

Namal Udalamatta සමාවෙන්න, මා බෞද්ධ ජනතාව යනුවෙන් අදහස් කළේ සිංහල බෞද්ධ ජනතාවය. එනම් ආගමින් බෞද්ධ වූද සංස්කෘතිය සිංහල බෞද්ධ වූද පිරිසය. ආගම සහ සංස්කෘතිය යනු දෙකකි. මම ආගමින් කතෝලික වුව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ යැයි මර්සලින් ජයකොඩි පියතුමා පැවසූයේ ඒ අර්ථයෙනි. මා දන්නා කිසිදු සිංහල බෞද්ධයෙක් හරක් මස් නොකයි. 

එහෙත් සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන අයෙකුට එය වේදනාවක් නොවිය හැකිය. ඔහුට ගවයා යනු තවත් සතෙකි. ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ වැඩුණු අයෙකු බුදු දහම වැළඳ ගතහොත් ඔහුට ගවයා හා සම්බන්ධ සිංහල බෞද්ධ සංස්කෘතිය අවබෝධ කරගත නොහැකිය. ඔහු ඊට ආගන්තුක වෙයි. පරමවිඥානවාදී ඕල්කට්තුමාගේ බලපෑම නිසා මෙරට ආගමින් බෞද්ධ වන සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන පිරිසක් නගරාශ්‍රිතව බිහි විය. (ගනනාථ ඔබේසේකර වැන්නෝ ඒ පිළිබඳ ලියා තිබේ.) 

ඔවුහු ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයෝ වෙති. ඔවුහු ආගමින් බෞද්ධ වන අතර සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වෙති. ඒ සංස්කෘතිය අනුව සතා, සීපාවා පමණක් නොව අහස පොළව ජලය වාතය ආදි සියල්ල මානව පරිභෝජනය සඳහා දෙවියන් වහන්සේ දුන් දේය. ඔවුන්ට පෙරකී බෞද්ධ සංස්කෘතික විඥානය අවබෝධ කරගත නොහැකි අතර ඊට ආගන්තුක වෙයි. මෙලෙසම ද්‍රවිඩ හින්දුවා තුළ ගවයාට ඇති බැඳීම ද්‍රවිඩ කතෝලිකයා තුළ නොමැත. මන්ද ඔහු සිය සංස්කෘතික මුල්වලින් උදුරා දමන ලද අයෙකි. 

එහෙත් තවමත් මේ රටේ බහුතර සිංහලයෝ සිංහල බෞද්ධයෝය. ඔවුහු සිය ධනය වියදම් කර මරණයට කැප වු හරක් නිදහස් කරති. ගව ඝාතනයට එරෙහිව නැගී සිටිති. ගව අනාථාගාර තනති. ගී ලියති. චිත්‍රපට තනති. රටපුරා ගව ඝාතන බලපත් මිලයට ගෙන මස් කඩ වසා දමති. ඒ බව දන්නා ඇතැම් වෙළෙන්දෝ සිය කිරිපිටි අලෙවි කොට ලැබෙන ලාභයෙන් කොටසක් වෙන් කොට ගවයින් නිදහස් කරති. එය ආගමික කාරණාවක් නොව සංස්කෘතික කාරණාවකි. තර්කය වැනි මොට ආයුධ ගෙන හරඹා පා එම කාරණා අවබෝධ කරගත නොහැකිය.

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ 
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ 
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ 
උදයෙම මේ කය නිසසල වන්නේ 

උගේ කිරෙන් බෝධිය දෝවන්නේ 
උගෙන් මැඩූ බත දනට පුදන්නේ 
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ 
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ 

බානෙන් බැඳ... 

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ 
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ 
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ 
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ 

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ 
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ 
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ 
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ///

Indranatha Thenuwara මෙහෙමයි Namal, ඔබේ තාර්කික කතාව බොහොම හරි.
නමුත් මං පුංචි කාලෙ හැදුනෙ අම්පාරෙ. අම්පාර වැනි ප්‍රෙද්ශයක හරකාගෙන් ගන්නා ප්‍රෙයා්ජන අසීමිතයි. අපේ ලොකු තාත්තාටත් ලොකු ගව පට්ටියක් තිබුන. එහි වැස්සියන්ගෙන් කිරි ගත්ත. වස්සන්ගෙන් කුඹුරු වැඩ ගත්ත. ඒව සේරම හරි. නමුත් අම්පාරෙ කිසිම මස් කඩයක ගව මස් හැර වෙනත් මස් වර්ග විකුණන්න තිබුනෙ නැහැ. මාලු එන්නෙත් හැතැප්ම 35ක් ඈත මඩකලපුවෙන්. ඒ නිසා ගව මසට ලොකු ඉල්ලුමක් තිබුන. 
කුකුල් මස් අපි කෑවෙ මගුල් ගෙයක් වැනි සුවිශේෂී අවස්ථාවක...!
ඌරු මස්, දඩ මස් ලැබුනෙ නොමිලෙ..! ඒව සල්ලිවලට ගත් බවක් මා අසා නැහැ.
ඒ කාලෙ මසට ගවයන් මැරුවා කියා පරිසර තුලණයේවත්, ගොව් සංස්කෘතියේවත් කිසිදු ගැටලුවක් ඇති උනේ නැ.ැ..!
නමුත් අද තත්ත්වය ඊට වඩා ඉඳුරාම වෙනස්. අද වැස්සියන්ගෙන් කිරි ගන්නවා හැර වස්සන්ගෙන් කුඹුරු වැඩ කර ගැනීමක් නොකෙරනම තරම්. අත් ට්‍රැක්ටර්, ලොකු ට්‍රැක්ටර් හැම ගොවියෙක් ළඟ ම තියෙනව. අස්සැන්න නෙලන්නෙ සුනාමි කියන මැෂිමෙන් සුරුස් ගාල...!!
අම්පාර, පොළොන්නරුව, මඩකලපුව විතරක් නෙමෙයි උතුරු මැද පලාතෙත් තත්ත්වය ..ඇත්ත තත්ත්වය ඕක..!
එතකොට හිතන්න ඉස්සර හරකාට තිබුණු තැන දැන් තියෙනවද කියල..නැහැ...!
දැන් හරක් මැරුවෙ නැත්නම් ලොක් පාරසරික ගැටලු ඇති වෙන්න පටන් ගන්නව. අපි ඒව ගැනත් හිතන්න ඕනෙ.
සත්තකින් ම Thushara Disanayaka කියන කතාව හරි. (ගව මස් නිසා බෞද්ධ ජනතාව විඳවන්නේ නෑ සහෝදරයා, විඳවන්නේ බෞද්ධ ජනතාවගේ අයිතිකාරයෝ තමන් යයි හිතාගෙන ඉන්න අතලොස්සක්.)
අද තවලම් නැහැ. බක්කි කරත්ත නැහැ. ගොං කරත්ත නැහැ.
කුඹුරු කොටන්න, පාගන්න, මඩ කරන්න, ගොයම් පාගන්න ආදී කුඹුරු වැඩවලට හරක් යොදා ගන්න එක ගොවියන්ට පාඩුයි..
ඒ නිසා අපි අහන ගීත, අපි කියවන ලිපි කතා ආදිය අද සාහිත්‍යාංග විතරයි..!

Roshan Manoj Pemasiri සර්. දැන් හරක් මැරුවෙ නැත්නම් ලොක් පාරසරික ගැටලු ඇති වෙන්න පටන් ගන්නව. ඔබතුමන් මේ කීව කතාව අනුව බැලුවොතින් මේ වන විට ලෝකයෝ ලොකුම පාරිසරික ගැටලුව ඇත්වෙලා තියෙන්නේ හරකුන් නිසාද නැතිනම් මිනිසුන් නිසාද ඒ අනුව බලන විට පාරිසරික ගැටලුව විසදන්න මරන්න වෙන්නේ හරකුන්ද මිනිසුන්ද...... මගේ මතය නම් අපි හැමෝම මිනිසුන් වශයෙන් හැමවිටම වැඩ කල යුත්තේ මේ ලෝකය හැමෝටම හොදින් ජීවත් වීමට පුලුවන් තැනක් බවට පත් කිරීමටයි මිනිසාට මේ ලෝකයේ ජීවත් වීමට ඇති අයිතිය ඒ ආකාරයෙන්ම මේ ලෝකයේ ජීවත් වන හැම සතෙකුටම තිබිය යුතුයි (එක් පැත්තකින් බැලුවහම සතුන්ට මිනිසාට වඩා මේ ලෝකයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මොකද පරිසරයට කරන හැම කැනහිලිකමක්ම කරන්නේ පරිසරය විනාශ කරන්නේ මිනිසුන් නිසා) මිනිසුන් වශයෙන් අපි හැමෝම කියන්නේ මිනිසාගේ පරම යුතුකකම මිනිසාට සේවය කිරීමයි කියන අර්ත්මාර්ථකාමී කතාවයි ඒත් අපි ඇත්තමට සිදුකලයුත්තේ මිනිසා ඇතුලුව සියලුම සතුන්ට මේ ලෝකය ජීවත් වීමට සුදුසු ලස්සන තැනක් බවට පත් කිරීමයි......

Indranatha Thenuwara පාරිසරික ගැටලු මතු උනාම ඉස්සෙල්ලාම ඒව බලපාන්නෙ අනෙක් සතුන්ටයි. මිනිසාට ඒක එන්නෙ අන්තිමට..!!

Namal Udalamatta සංස්කෘතිය යනු යම් පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ සාක්ෂාත් කරගන්නා හෝ ඔහුගේ මරණයෙන් කෙළවර වන දෙයක් නොවේ. එය ජාතියක ආරම්භයේ සිට එහි අවසානය දක්වා විකාශනය වන්නකි. නිදසුනක් ලෙස ඇෆ්ගනිස්ථානයේ විසූ බෞද්ධ ජාතිය අවසාන වීම සමඟ එහි වූ බෞද්ධ සංස්කෘතිය කෙළවර වෙයි. තුෂාර දිසානායක වැනි බෞද්ධයින් අද මස් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ආගමිකයින් මොටාර් ගසා අල්ලාහු අග්බාර් කියා විනාශ කළ බාමියන් බුදු පිළිම වනාහි එකී වඳවූ බෞද්ධයින්ගේ සංස්කෘතියෙහි භෞතික නිර්මාණ වෙයි. 

සැබවින්ම ඉතිහාසයේ බාමියන් පිළිම නිර්මාණය කළෝ සිංහල බෞද්ධයින් නොව ඒවාට මෝටාර් ගසා විනාශ කළ අයගේ ම බෞද්ධ මුතුන් මිත්තෝය. නූතන ඇෆ්ගන් මුස්ලිම් වැසියා යනු පැරණි ඇෆ්ගන් බෞද්ධයාගේ මුනුපුරෝය. ඔවුන් විනාශ කළේ සිය මුතුන් මිත්තන් නිර්මාණය කොට වන්දනාමාන කළ ඔවුන්ගේ උරුමයයි. 1929 ශ්‍රී මහා බෝධිය පොරවකින් කපා දැම්මේ ආගමික සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූ කටුවාවල ජේමිස් නමැති අබෞද්ධ සිංහලයෙකි. නූතන ප්‍රොතෙස්ත්‍රන්ත බෞද්ධයා සහ කටුවාවල ජේමිස් අතර වෙනසක් නැත. දෙදෙනාම එක්තරා ආකාරයක සංස්කෘතික ආක්‍රමණයක ඛේදනීය ගොදුරුය. 

සෑම සංස්කෘතියකම ගමන් මග සොඳුරු ඉසව් හරහා මෙන්ම අඳුරු ඉසව් ඔස්සේ ද වැටී ඇත. අනුරාධපුර යුගය අපේ සංස්කෘතියෙහි ශ්‍රේෂ්ඨතම අවදියකි. එහෙත් 1505 ඇරඹි ගෙවා දැමූ ශත වර්ෂ පහක පමණ කාලය අප අවබෝධ කරගත යුත්තේ ඉතා අඳුරු කාල පරිච්ඡේදයක් ලෙසය. 
දැනට වසර 200ට පමණ පෙර ලංකාවේ පන්සල් තිබුණේ නැත. තිබුණේ ගණේ ගෙවල්ය. හාමුදුරුවරු සිටියේ නැත. සිටියේ ගණින්නාන්සේලාය. ඔවුහු සිවුරු නො ඇන්දාහ. එහෙත් කහ නූලන් පැලැන්දෝය. හදි හූනියම් කරමින් ගණේ ගෙදර කුඹුරු කරමින් සිය බිරිඳ සහ දරුවන් සමඟ ඔවුහු ජීවත් වූහ. එහෙත් වැලිවිට සරණංකර හිමි සිය ජීවිතය කැප කොට නිර්මල බුදු දහම සොයා පාදා සියම් රටින් උපසම්පදාව ගෙනැවිත් නැවත සංඝ සමාජය බිහි කළේය. වසර 200 පෙර ගණින්නාන්සේලා සිය පවුල් කෑවේ යැයි අද හාමුදුරුවරුන්ට පවුල් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? සංඝ සමාජයෙහි අඳුරු අවධිය පසුකොට නැවත අපි ආලෝකය සොයා යන්නෙමු. එය සිංහල බෞද්ධ සංස්කෘතියට ද අදාළය. එක්තරා අඳුරු යුගයක අම්පාරේ පැවති විකෘතිය අපි පසුකර යායුතුය. අනෙක් අතට 555%ක් පමණ ඉස්ලාම් සහ කතෝලික වන අම්පාර සිංහල බෞද්ධ සමාජයකට ගත හැකි නියැදියක් නොවේ. 

බටහිර ආක්‍රමණ, අනතුරුව ගලා ආ මාක්ස්වාදය, ලිබරල්වාදය ආදි සියල්ල අප අපේ සංස්කෘතික මූල පද්ධති විනාශ කරන පිළිල බවට පත් විය. අතීතයේ සිදු වූ පරිදි ඒ ඒ චින්තන ධහරාවලින් අපට අවශ්‍ය කොටස් බෞද්ධ සංස්කෘතියට දිරවා ගනු වෙනුවට සිදු වූයේ අපේ උරුමය අමතක කොට ඒවා උමතුවෙන් වැළඳ ගෙන අන්ධයින් සේ වන්දනාමාන කිරීමය. අපේ රටේ සිවුරු පොරවන කාල් මාක්ස් අදහන පිරිස මේ සඳහා කදිම නිදසුනකි. ඔවුන්ගේ ශාස්තෘවරයා කාල් මාක්ස් මිස බුදුන් නොවේ. ආක්‍රමණිකයා මේ රටට හඳුන්වා දුන්නේ මැකෝලි ස්වාමි කී ආකාරයේ අධ්‍යාපන ක්‍රමයකි. 1815-1825 දක්වා ලංකාවේ මිෂනාරිකරණ ව්‍යාපෘතිය භාරව සිටි ජී. එච්. එස්. බැලනි යෝජනා කළ අධ්‍යාපන ක්‍රමයයි. මේ රටේ නිදහස් අධ්‍යාපනය යැයි අද ද පොවන්නේ ලෙයින් මසින් පමණක් දේශීය වන චින්තයෙන් මේ රටට සංස්කෘතියට ආගන්තුක පිරිසකි. (මේ ගැන වැඩි විස්තර සඳහා බලන්න-මගේ සංහිඳ අඩවිය බලන්න)

මා මේ ටික කීවේ ඔබ ජීවත් වූ සහ ඔබ සහ මම අද ජීවත් වන යුගය සංස්කෘතිකමය වශයෙන් කාන්තාරයක් බව පෙන්වා දීමටය. එය කිසිසේත් සිංහල බෞද්ධ සංස්කෘතිය ලෙස ගත නොහැකිය. විශේෂයෙන් ඔබ උපන් ප්‍රදේශය මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයකි. 1626 කොන්ස්ටන්ටයින් ද සා මුස්ලිම්වරුන් සමූලඝාතනය කරන විට පහත ර සිට උඩරට සිංහල රාජ්‍ය වෙත පළා ගිය 4000 මුස්ලිම්වරුන් සෙනරත් රජු පරම්පරා 4න් සිංහල වීමේ පොරොන්දුව පිට පදිංචි කළේ අම්පාර ඇතුළු නැගෙනහිර ප්‍රදේශවලය. එයින් වසර 200 ගිය තැන ඔවුන් සිංහලයින් වනු වෙනුවට කළේ තමන් පාලනය කිරීම සඳහා මුස්ලිම් පාලකයෙකු සුද්දාගෙන් ඉල්ලා සිටීමය. අනතුරුව 2003 ඕලුවිල් සම්මුතිය හරහා යෝජනා කළ මුස්ලිම් සපරිස්ථානයට ඔබේ උපන් ගම ද අයත්ය. 45%ක් පමණ මුස්ලිම්වරු සිටින තැනක වෙළඳාමේ ඒකාධිකාරීත්වය ඔවුන් දරන තැනක ගව මස් පමණක් කෑමට තිබීම ගැන අප පුදුම විය යුතු නැත. සමස්ත ජනගහනයෙන් 8%ක් වන මුස්ලිම්වරු සිටින රටේ  92%ක් වන අන්‍ය ආගමික ජනතාවට හලාල් කැවීමට ඔවුන්ට හැකි නම් අම්පාරේ හරක් මස් පමණක් තිබීම මොන කජ්ජක් ද? මට පුදුම ඔබ මොහමඩ්, අහමඩ්, අල්හාජ් නොවී තවමත් සිංහල නමක් දැරීම සහ තවමත් ආගමින් හෝ බෞද්ධ වීමය.  

ඔබ දිගින් දිගටම දක්වා ඇත්තේ හරකාගේ ආර්ථික වටිනාකම නූතන තාක්ෂණික දියුණුව විසින් අහිමි කර ඇති බවට සාධකය. ආර්ථික වටිනාකම සංස්කෘතික ඇගයුම් වටිනාකම් තීරණය වන එකම හෝ වැදගත් නිර්ණායකය නොවේ. බෞද්ධ අප ඇසතු ගහට වඳින්නේ එය 2500 අවුරුද්දකට පෙර සිදුහත් කුමරුට බුදු බව ලැබීමට පිහිට වූ නිසාය. බුදුන් වහන්සේ  සත් දිනක් අනිමිසලෝචයෙන් ඊට කෘතගුණ දැක්වූහ. අපි ඒ නිසා ශ්‍රී මහා බෝධියේ බීජ අංකුරවලට පවා නමස්කාර කරමු. එය සංස්කෘතියෙහි අංගයකි. එයින් ඇති ඵලය කිමදැයි කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකිය. එසේම ගවයා අද ආර්ථික වටිනාකම නැතැයි මරා කෑ යුතු යැයි කීම සංස්කෘතිය පිළිබඳ අනවබෝධය ප්‍රකට කරයි. මම පෙරද කී පරිදි සංස්කෘතිය ජාතියක ආරම්භය සමඟ ඇරඹී එහි අවසානය තෙක් පවතී. සංස්කෘතිය යනු තනි පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මය නොව ජාතියේ ආධ්‍යාත්මයයි. 

අද පරිසරය විනාශ කරන්නේ බටහිර දැනුම් පද්ධති විසින් ගවයින් කළ මිනිසුන් විසින් මිස ගවයින් නොවේ. දෙවියන් වහන්සේ සියල්ල මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාය යන බටහිර චින්තයට එය ගැලපුණද එය අපට තරම් නොවේ. සිංහලයා පරිසරය සමඟ ඉතා සහජීවනයෙන් ජීවත්වූවෙකි. ඔහු අහාර ගත් විට නිවසේ කපුටු පොල් කටුවට බත් මිටක් දැම්මේය. කුඹුරේ ගොයම් කපන විට කුරුලු පාලුව යැයි කොටසක් ඉතිරි කළේය. නිවසේ බරාදයෙහි කුරුල්ලන්ට වී කරල් මිටියක් එල්ලා තැබුවේය. තමාගේ නිසවට කුඩා කල සිට ආ ගිය තලගොයාට "නිවන් පුරේ පලයන් තලගොයි පැටියා" යැයි කීවේය. පාරේ බල්ලෙක් මළ විට පවා අනේ අපොයි කීවේය. අප යා යුත්තේ ඒ සංස්කෘතික අක්මුල් සොයා ගෙනය. ඒ හරපද්ධති නූතන ජාතික ආධ්‍යාත්මය වෙත ගෙන ඒම අපේ වගකීමය.

 අනෙක් අතට ගවයා වන්දනාමාන කරන මේ රටේ හින්දු ජනතාවට ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? උදෑසන අවදි වූ සැනින් බොන කිරි වීදුරුව දොවා ගන්නා ගවයා මරා කෑ යුතු යැයි කෑ ගසන බෞද්ධයින් පිරිසක් ද මේ රටේ නිර්මාණය වීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි. තමා ඇති දැඩි කළ මව්පියන් වයසට ගිය කල මහලු නිවාසවලට ගාල් කරන්නේ මේ චින්තනය විසින් නොවෙද? මන්ද වයසට ගිය එවුන්ගේ ඇති ආර්ථික වටිනාකම කුමක්ද? ඉතින් අපේ මුතුන් මිත්තන්ට සිය ශිෂ්ටාචාරය ගොඩනඟා ගැනීමට උපකාර කළ ගවයා කෙරෙහි කටුවාවල ජේමිස්ලාගෙන් අනුකම්පාව පැතීම වඳ ගැහැනියකගෙන් දරුවන් පැතීමක් විය හැකිය. කෙසේ වුව ද අනාගතයෙහි දිනෙක මේ රට තවත් ඇෆ්ගනිස්ථානයක්, බංගලිදේශයක් හෝ මාලදිවයනක් වේ නම් එදිනට ඔබ බොහෝ දෙනාගේ අභිප්‍රාය පරිදි නිදහසේ ගවයා මරාගෙන කා හැකිය. බාමියන් පිළිම මෙන්ම ගල්විහාර පිළිම බිමට සමතලා කළ හැකිය. අමිල වටිනාකම් ඇති දැවමය බංගලිදේශ පන්සල් මෙන් දළඳා මාලිගාව ගිනිබත් කළ හැකිය. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවට ඉතා ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තුළ ජීවත් වීමේ භාග්‍ය උදාවනු ඇත. එහෙත් ඒ සඳහා මේ රටේ අවසාන සිංහල බෞද්ධයා ද විනාශ කළ යුතුය. 

Indranatha Thenuwara Namal Udalamatta ඔබේ තාර්කික සහ හරවත් අර්ථ දැක්වීම හිසනමා මහත්සේ අගය කරනව. එමෙන් ම ඔබේ ඉතිහාස දැනුමට ද, ගවේෂණශීලි පවට ද හිස නමා ගරු කරනවා.
මා දක්වන්නෙ මගේ අදහස. ඒක පිළිගන්නත්, නොපිළිගන්නත්, එය අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමන්නත් ඔබට අයිතියක් තියෙනව. 
කතාවක් තියෙනවනෙ බල්ලො බිරුවත් තවලම යනව කියල..
නමුත් අද තවලම් නැහැ. ඒ බල්ලො බුරපු නිසා නෙමෙයි. ලෝකෙ දියුණු වෙච්ච නිසා සහ ඒ සංස්කෘතීන් සහ හර පද්ධතීන් අපටත් ආදේශ වෙච්ච නිසා, එදා තවලමෙන් කරපු දේ ම අද අත්ට්‍රැක්ටර්, ලොරි, ප්‍රයිම් මූවර්වලින් කරනව. තවලම තමයි අපේ දේශීය අනන්‍යතාවය, ඒක තමයි අපේ උරුමය කියාගෙන ම හිටියානම් අද අපි මීට වඩා ගොඩක් පිටිපස්සෙන් ඉන්න තිබුණ. (ඉස්සරහට ගිය එක හොඳක්නම් නෙමෙයි..!)
ලෝකය කැරකෙනකොට සංස්කෘතිනුත්, හර පද්ධතිනුත්, මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕන. ඒ මං හිතන විදිහ. එහෙම හිතන එක මගේ අයිතිය. කාලයක් ගිහිං ඔබ සැම කියන දේ අහල මම මගේ ක්‍රමය වෙනස් කර ගන්නත් ඉඩ තියෙනව. ඒ මගේ හැටි සහ ඔබේ දක්ෂකම..!!

ඒ වගේම නාමල් මේ බුකියෙ ලියන දේවල් අසුරු සැණෙන් මැකිල යන්න පුලුවන් නිසාවෙන්, මේ ලියැවිලි වෙනත් ආකාරයකටත් ආරක්ෂා කරන්න. අඩු තරමින් බ්ලොග් එකකවත්...!

Namal Udalamatta ඔව් ඒක ඇත්ත අයියේ. අපි වෙනස් යුගවල වෙනස් අදහස් දරන මිනිස්සු. මමත් මේ සමාජය තුළ ජීවත් වෙන තවත් ප්‍රාණියෙක් විතරයි. මම හිතන්නේ නැහැ මම සර්වතෝභද්‍ර කියලා. මම සොයා යන්නෙක් විතරයි. මටත් වරදීවි. වැරදි වැරදි හරි අපි නිවැරදි මග සොයාගත යුතුයි. නැත්නම් මම නවතින තැනින් තවෙකෙක් එය ඉ දිරියට රැගෙන යා යුතුයි. වඩා හොඳ දේ තමා අපි සංවාද කරලා ජාතිය යා යුතු මග සොයා ගැනීම. 

ඇත්තටම ඔබේ අදහස් මෙසේ නොලියන්න මං ඒ ගැන හිතන්නේ නැහැ. ඔබේ අදහස් නිසා තමා මම අවදි වෙන්නේ. ඒ පිළිබඳ මම ඔබට ස්තුති කළ යුතුයි. අපේ ඉතිහාසය ලියැවෙන දෘෂ්ටිය පවා ප්‍රශ්න කළ යුතුයි. අද අපට උගන්වන බුදුදහම පවා ප්‍රශ්න කළ යුතුයි. දීපංකර බුදු සමයෙහි සුමේධ තවුසා ලෙස රහත් වෙන්න තිබූ අවස්ථාව විසි කරලා ලෝක සත්වයා වෙත කරුණාවෙන් බුද්ධත්වය පැතූ බුදුන්ගේ බුදු දහම අද පරාර්ථකාමී මිනිසුන් වෙනුවට ආත්මාර්ථකාමී මිනිසුන් බෝ කරනවා. අපේ පැරණි සංඝ සමාජය සහ බෞද්ධයින් එහෙම හිතුවා නම් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කළ යුතුයි. 

මම කියන්නේ නැහැ ඔබ මගේ අදහස් පිළිගත යුතුය කියලා. ඒ පිළිබඳ හිතුවාම හොඳටම ඇති. අපි නිදහස් චින්තනයක් යට ජීවත් වෙන මිනිස්සු. බුදුහාමුදුරුවෝ කීවානේ තමන් කීවා කියලාවත් අධානග්‍රාහීව පිළිගන්න එපා කියලා. ඉතින් මං වගේ ලිලිපුට්ටෙක් ගැන කවර කතා ද? 

(මම බ්ලොග්වල ලියනවා. නමුත් බ්ලොග් ඔස්සේ සංවාද කරන්න හරි අමාරයි. එනවා අඩුයිනේ. ෆේස්බුක් ඒ සඳහා හොඳයි. හැබැයි මේ වගේ මං ලියපු ගොඩක් දේවල් දැන් මැකිලා. ඒ නිසා මේවා බ්ලොග්වලට එකතු කළ යුතුය යන අදහස මතක් කිරිම අගය කරන අතර ඒ සඳහා ඉක්මණින් කටයුතු කරන්නම්)

Roshan Manoj Pemasiri සංවාදය නම් නියමයි ඇත්තටම මෙන්න මේක තමයි වෙන්න ඕනි. නිකන් බොරුවට ගහ මරාගන්නේ නැතිව සංවාද, මතවාද වලින් ඉදිරියට ගෙන යන්න ඕනි සටනක් මේක

Thushara Disanayaka ඇත්තටම නාමල්ගේ සංයමයට මමත් හිස නමා ආචාර කරනවා මුලින්, ඒ වගේම තර්කානුකුලා කරුණු දැක්වීමත් එහෙමමයි. ග්‍රේට්.

6 comments:

Indranatha Thenuwara said...

ඔබේ සංයමයෙන් යුතු සංවාදය ද, ඔබේ තාර්කික සහ මාතෘකිව ඔස්සේ ම කරන අදහස් දැක්වීම ද, ඒ අදහස් ඉදිරියටත් දැක බලා ගන්නට සංරක්ෂණය ද එක සේ අගය කරමි.

සෙන්නා said...

විරුද්ධ මතධාරියාට ගොනා, බූරුවා බල්ලා යැයි අමතමින්ම සංවාද ( විවාද ) පටන් ගන්නා නූතන සිංහල බ්ලොග් අවකාශයට, මනා සංයමයෙන් යුතුව, එකිනෙකාට ගරු කරමින් කෙරුණ මේ කතා බහ අපූරු ආදර්ශයක් සපයනවා..

ඔබ සියලු දෙනාටම, ඉදිරියටත් මෙවන් ඵලදායක සංවාදයන් තුලින් සියල්ලන්ට හරි මග පෙන්වාදීමේ හැකියාව ලැබේවායි පතමි !

nayana said...

නාමල්, මම ඔබේ බ්ලොග් එකට අවේ අහම්බෙන්, ඔබේ කරුණු දැක්වීමේ විලාශය ඉතාම අගනියයි

ravi said...

bohoma sthuthii.godak pin.

Sri Tech said...
This comment has been removed by the author.
Sri Tech said...

ගව ඝාතනය ගැන මගේ අදහස http://www.layan.info/2014/01/blog-post.html

 
සිය රට දේ සිරි සැප දේ !