Sunday, April 1, 2012

බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීම


එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ බැතිමතුන් වන මගේ මිතුරන්ගේ කිහිප දෙනෙකු නිතර ම පාහේ සිය පරාජිත දේශපාලන මානසිකත්වය ප්‍රදර්ශනය කරන එක්තරා කැත විදිහක් තිබේ. ඒ වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සසඳන පදනම් විරහිත අතාර්කික වල්පල් සහිත ඡායාරූප ෆේස්බුක් පිටුවල අභිරුචියෙන් පළ කිරීමය.

2009 සරත් ෆොන්සේකාට ආදරය නිසා නොව මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමේ අදහසින් ඡන්දය පාවිච්චි කොට පරාජය වී මානසික ආතතිය වැළඳ ඇති මේ පිරිස් කරන ක්‍රියාවෙහි ඇති පහත් වර්ගවාදී හෙළුව මොවුන්ට නොපෙනී යාම පුදුමයක් නොවන්නේ එතරම් දුර සිතිය හැකි කිසිවෙක් තව දුරටත් මේ පක්ෂවල ලැග සිටිතැයි සිටිය නොහැකි හෙයිනි. අනෙක් අතට ඉතිහාසය පුරා ප්‍රදර්ශනය කළ සිය අපරිණත දේශපාලන දැක්මට එහා ගිය යමක් මෙමගින් ප්‍රදර්ශනය නොවන බව කිව යුතුමය. මෙවැනි ඡයාරූප ප්‍රදර්ශනයෙන් රටේ හතුරන් විශේෂයෙන් ටැමිල් ඩයස්පෝරාව වෙනුවෙන් මොවුන් නොමිලේ කඩේ යන බවක් වත් තේරුම් ගැනීමේ ශක්තියක් මොවුන්ට නැත.

2009 මැයි මස වෙල්ලමුල්ලිවයික්කාල්හිදි ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම හුදු සරත් ෆොන්සේකාගේ නොව සමස්ත රජය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ සහ දේශප්‍රේමී ජනතාවගේ ජයග්‍රහණයකි. එහෙත් සෙසු සියල්ලන් අමතක කොට එම ජය්‍රහණය ෆොන්සේකාගේ පෞද්ගලික ජයක් ලෙස හුවා දක්වන්නට මේ දේශපාලන අනාථයින්ට සිදුව ඇත්තේ අන් කිසිවක් නිසා නොව පෞද්ගලිකව තමන් හෝ තම පක්ෂ හෝ ඒ වෙනුවෙන් තඹ දොයිතුවක කැපකිරීමක් නොකළ නිසා පමණක් නොව හැකි සෑම අයුරින් ම යුද්ධය නතර කොට ජයග්‍රහණය ආපසු හැරවීමට උත්සාහ කළ හෙයිනි. ඒ නිසා මහා ජයග්‍රහණයක් අවසාන දේශපාලන නරාවළට පැන සිය පණ නසා ගත් ෆොන්සේකා වෙත මේ ජයග්‍රහණය ලඝු කිරීමට මොවුන්ට සිදුව තිබේ.

හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා යුද්ධය ජයග්‍රහණය කිරීමට මහත් සේවයක් කළ බව අවිවාදිතය. එමෙන් ම ඒ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සැපයූ දේශපාලන නායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ මගපෙන්වීම නාවික ගුවන් සිවිල් ආරක්ෂක ප්‍රධානීන් සහ සමස්ත හමුදාව ද කළ සේවය ඒ තරමට ම අවිවාදිතය. ගමේ පන්සලය ගොස් මලක් පුදා රටට සෙත් පැතූ වයසක අත්තම්මා දක්වා ඒ ජයග්‍රහණයේ ගෞරවය බෙදී යා යුතුය. එහෙත් එවන් සුළු කටයුත්තක් හෝ නොකළ මොවුන්ට කළ හැක්කේ “එතුමා තමා ඔක්කොම කොළේ“කියා උඩුබිරීමට පමණි. මන්ද තමන් කළ නිසිවක් නැති හෙයිනි. ජයග්‍රහණයේ සෙසු සියලු හිමිකරුවෝ තම දේශපාලන එදිරිවාදීන් ලෙස සැලකීමේ දුප්පත් මානසික තත්ත්වය බැරෑරුම් හෙයිනි.

උක්ත ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීමට එවක නැගෙනහිර කොටි නායකයා වූ මුරලිදරන් කොටි සංවිධානනේ කැඩී යාම ප්‍රබල සාධකයක් විය. කරුණා සහ ප්‍රභාකරන් අතර භේද ඇති කළේ තම පරිණත දේශපාලන දැක්ම විසින් යැයි නිතර උදම් අනමින් අනුන්ගේ දරුවන්ට හොර උප්පැන්න හදන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂ ගෝලබාලයින් තව මොහොතකින් පවසනුයේ ‘කරුණාට රජ සැප, ෆොන්සේකා හිර ගෙට‘වැනි තුච්ඡ ජාතිවාදය අවුස්සන ප්‍රකාශ ය. මෙහි කිසිදු තාර්කික සම්බන්ධයක් ඇති කාරණයක් ද නොවේ. කරුණා ආණ්ඩුවේ සිටීම නිසා ෆොන්සේකා හිරේ ළඟින බවක් අප දන්නේ නැත. කරුණා ආණ්ඩුවේ සිටිය ද නැත ද අධිකරණ තීන්දුව අනුව ඔහුට සිරගත වීමට සිදුවනු ඇත. සිය පක්ෂයේ දකුණේ ජාතිවාදී හරක් රංචුවට මෙවන් කතා කියන රනිල් වික්‍රමසිංහලා අනතුරුව තවමත් රට දෙකඩ කරන්නට කැස කවන සම්බන්ධන්ලා සමග යාපනේ මැයි දින රැළි පැවැත්වීමට යති. මේ රැළිවලට ඕන ගොනෙකුට නීතිඥයෙක් විය හැකි බව රටට කියාදුන් කිරිඇල්ල ලා මෙන් ම මැදවච්චි කරුණානායක ද ගැලවීමේ හමුදාවේ මංගල ද තොප්පිගල කැලේ මැදින රනිල් සමග යනු ඇත. සිය නායකයින්ගේ දෙබිඩි පිළිවෙත අවබෝධ කර ගැනීමට පවා මේ අසරණයින්ට නොහැකි වීම කෙතරම් අභාග්‍යයක් ද?

අනෙක් අතට මේ මහා යුද වීරයා ජනාධිපතිවරණ සමයේ දෙමළ ජාතික සන්ධානය සමග හොර ගිවිසුම් ගැසූ බව කීවේ අප නොව විකිලීක්ස් වෙබ් අඩවියයි. ජනාධිපතිවරණ ප්‍රතිඵල සලකා බැලූ කල ද එය මැනවින් පසක් කරගත හැකිය. උතුරු නැගෙනහිර බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ ෆොන්සේකා ය. එම ඡන්ද ඔහුට ලැබෙන්නේ නිකන් ම නොව ඔහුට ඇති ආදරයකට ද නොව ටැමිල් ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය අනුවය. ඔවුන් හා ගැසු හොර ගිවිසුම අනුවය. රටේ යුද වීරයා මෙලෙස යුද්ධය දිනා වසරක් ගිය තැන කොටි හුරතලෙක් වුයේ කෙසේද? ඔහු ජනාධිපති කරවීමට බටහිර රටවල් සහ ඇමරිකාව ඩොලර් මලු ගණන් විසි කරමින් මහා සටනක් ගෙන ගියේ ඇයි? අද ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත පවසන පරිදි ෆොන්සේකා නිදහස් කර ගැනීමේ සටනේ පෙරමුණේ ඇමරිකාව සිටින්නේ ඇයි? ඔහු රට වෙනුවෙන් කළ සේවයට උපහාර වශයෙන් ද? නැතහොත් රටත් ජාතියත් පාවා දෙමින් යාමට උත්සාහ කළ ගමනට උපහාර වශයෙන් ද? යන ප්‍රශ්න මේ අඳබාලයින්ට කිසි විටෙක මතු නොවනු ඇත.

මුරලිදරන් කොටි සංවිධානයෙන් බිඳී අවුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්ව සිටින අයෙකි. ඔහු වර්තමාන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකි. උතුරු නැගෙනහිර ජනතාව බෙදුම්වාදී පක්ෂවලින් මුදවා ගෙන රටේ ඒකීය බව සුරක්ෂිත කිරීමට මෙය අත්‍යවශ්‍ය කොන්දේසියකි. අප වැඩි වැඩියෙන් ඒ පලාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වැනි රටේ ප්‍රධාන පක්ෂවල නායකයින් බිහි කරගත යුතුය. කොටි බෙදුම්වාදී ත්‍රස්තවාදය ආරම්භ කළේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනේ සංවිධායක සහ නගරාධිපති වු ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතතනය කරමින් බව මෙහිලා සිහිපත් කරන්නේ කොටි ද අපේ ඇතැම් අඳබාලයින්ට වඩා සූක්ෂම බව පේනවා දීමට ය. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් උතුරු නැගෙනහිර පලාත්වලින් බිහිවීම සිය බෙදුම්වාදී ගමනට මරු පහරක් බව බෙදුම්වාදීහු මැනවින් දනිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ පවා උතුරු නැගෙනහිර නියොජිතයින් මරා දැම්මේ නැතහොත් එම පක්ෂවලින් ඉවත් වීමට බල කළේ එහෙයිනි. අද මුරලිදරන්ට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශ කරන විපක්ෂයේ ගොන් රැළ නොදැන කරන්නේ ද එදා කොටි කළ දෙයමය. අද බෙදුම්වාදීන් විසින් අපේක්ෂා කරන දෙයමය. කරුණා ආණ්ඩුවෙන් කැඩී ගොස් දෙමළ ජාතික සංවිධානයට එක් වේ නම් වඩාත් සතුටු වන්නේ රට බෙදන්නට බලා සිටින බෙදුම්වාදී ද්‍රෝහීන් බව ආණ්ඩුවට ආසනයක් අහිමි වීමේ අහිංසක සතුට විඳින්නට බලා සිටින දේශපාලන පිංගුත්තරයින්ට නොවැටහීම ජාතියේ අවාසනාවකි.

අනෙක් අතට තවමත් දෙමළ ජනතාව රටේ ප්‍රධාන දේශපාලන දහරාවට යොමු කර ගැනීමට මේ ආණ්ඩුව කරන ලද කාර්යභාරය ප්‍රමාණවත් යැයි අප විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට රටේ ගෞරවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පසුබිම තවමත් සැකසී නැති බව කනගාටුවෙන් වුව කිව යුතුමය. විශේෂයෙන් යුද්ධයෙන් පසු ඇති කළ තාවකාලික නිවාස සහිත ගම්මානවලට රට වෙනුවෙන් විශාල සේවයක් කළ ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද කුමාරස්වාමි ආදීන්ගේ නම් දැමූ ආණ්ඩුව කොටි වෙනම රටක් ඉල්ලා හඬ නඟන සමයේ පවා කිසිම විරෝධතාවක් නොමැතිව පැවති 'ආනන්ද කුමාරස්වාමි මාවත' 'නෙළුම් පොකුණ මාවත' ලෙස නම් කිරීම නින්දිත වැඩක් බව‍ නොකියාම බැරිය. එය දෙමළ ජනතාවගේ පමණක් නොව බහුතර සිංහල ජනතාවගේ ද අප්‍රසාදයට ලක්වූ කාරණාවකි.

රටට ඉමහත් සේවයක් කළ ආනන්ද කුමාරස්වාමි වැනි දෙමළ සම්භවයක් සහිත විද්වතෙක් පිළිබඳ කාරණයක දී රජය මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණි. එය අප සලකන්නේ දෙමළ ජනතාවට පමණක් නොව රටට ම කරන ලද අගෞරවයක් ලෙසය. මෙවන් කටයුතුවලින් සිදුවන්නේ දෙමළ ජනතාව තව තවත් අන්තවාදී මතවාද වෙත තල්ලු කිරීමක් පමණි. සැබවින් ම දිනාගත් සාමය ආරක්ෂා කිරීමට කැප වන ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ අදාළ කුළුණ 'ආනන්ද කුමාරස්වාමී නෙළුම් කුළුණ' ලෙස නම් කොට කුමාරස්වාමී මතකය නැවත නැවත රැව් නැඟීම මිස ඔහුගේ නම මකා දැමීම නොවේ. එසේ කළේ නම් වෙනම රටක් දිනා ගැනීමේ යුද්ධය පරාජය වී දැන් ක්‍රමයෙන් සමනය වෙමින් ඇති දෙමළ සිත් සතන්වලට එය කෙතරම් ආස්වාදයක් වේද? ඔවුන්ට අභිමාණයෙන් මේ රටේ ජීවත්වීමේ අවස්ථාව දැන් උදාවී ඇතැයි ඔවුන්ට පසක් වන්නට එයම හේතුවක් නොවන්නේද? එහෙත් මෙලෙස දේශප්‍රේමී දෙමළ විද්වතුන් නොතකා හැරීම ටැමිල් ඩයස්පෝරාව ඇතුළු බෙදම්වාදීන්ගේ වාසියට හේතු නොවන්නේ ද? එහෙයින් ආණ්ඩුව රටේ සාමය සුරක්ෂිත කිරීම සඳහා කළ යුත්තේ දෙමළ සන්ධානය හෝ ඇමරිකාව හෝ පිනවීම නොව දෙමළ ජනතාවට රටේ අභිමාණයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බව ඉතා හොඳින් අවබෝධ කරගත යුතුය. පෙර කී ආකාරයේ කටයුතුවලට ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින්ගෙන් ආණ්ඩුව පරිස්සම් විය යුතුය.


2 comments:

Chatura Wijekoon said...

ඔබේ කතාවේ ඇත්තක් තියෙනවා.. විශේෂයෙන් නෙළුම් පොකුණ ගැන කියපු ටික.. හරියටම හරි..

කරුණා පාර්ලිමේන්තු ඇවිල්ලා.. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වෙලා.. ජනාධිපති තුමාත් එක්ක ඉන්න එක ඉතා හොඳයි.. හැබැයි එහෙම වෙද්දී.. දිනපු යුද්ධයේ ලොකුම පංගුකාරයෙකු වුණු සරත් ෆොන්සේකා මහත්තයා හිරගෙයි ලගින එක සාධාරණ ද?

විමැසිය යුත්තේ කාගෙ කාගෙත් හෘද සාක්ෂියෙන්ම තමයි...

නාමල් උඩලමත්ත said...

ඔහු හිරේ ඉන්නේ යුද්ධය දිනූ නිසා නෙමේ. ඔහු වීරයෙක් වුණේ ඒ නිසා. ඒත් අද ඔහු සිටින තත්ත්වයට වගකිව යුතු ඔහුමයි. ඔහුට විරුද්ධව මෑතකදී අහන්න ගිය නඩුවක් අධිකරණය ප්‍රතික්ෂේප කළා. මොකද ඒක යුධ අධිකරණයෙන් අහලා දඬුවම් දීපු නඩුවක් නිසා. අපේ අධිකරණය ඒ වෙලාවේ නිවැරදි තීන්දුවක් දුන්නා. ඒක ආණ්ඩුවට කනේ පහරක් ගැහුවා වගේ. නමුත් ඒ ගැන අධිකරණය මහින්දට අවශ්‍ය තීන්දු දෙනවා කී විපක්ෂය නිහඬවෙලා තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය කළා. වරදක් කළා නම් දෙයියෝ බුදුන් වුණත් දඬුවම් ලැබිය යුතුයි. පූර්ව ආත්මයක කළ කර්මයක් නිසා බුදු රජුන් ජීවිත කාලය පුරා හිසේ රුදාවකින් පෙළුණා. එහෙම නම් ඉතින් පෘථග්ජන අපට කවර කතාද? හිරේ ඉන්නේ යුධවීරයා නෙමේ ඒ වීරයා මරාගෙන උපන් ද්‍රෝහියා.

 
සිය රට දේ සිරි සැප දේ !