Sunday, September 30, 2012

මගේ සිහිනය

2/3ක බලයක් සහිත වර්තමාන ආණ්ඩුව විසින් කළ යුතු ඉතා වැදගත් කාර්යය දෙකක් තිබේ. එකක් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. අනෙක බෙදුම්වාදයට සුජාතභාවය සපයන රටට බරක් වී ඇති පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමයි. පළාත් සභා අහෝසි කොට රටේ ඒකීයභාවය ශක්තිමත් කිරීමට නැවත ඉතිහාසය විසින් අපට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් දේශපාලකයින්ගේ හතර වරිගයට රැකියා සපයන අතිශය ලාභදායි පළාත් සභා කර්මාන්තය එලෙස අහෝසි කිරීමට ඔවුන් කැමති නැත. එහෙයින් අපට අකමැත්තෙන් වුව පළාත් සභා ක්‍රමය ගැන නිතර කතා කරන්නට සිදුවේ. ඒ මේ මොහොතේ එය යථාර්ථය හෙයිනි.

නැඟෙනහිර මැතිවරණය සඳහා ආණ්ඩුව මැනවින් මුහුණ නොදුන් බව අපි මීට පෙර ද කීවෙමු. ශක්තිමත් සන්ධානයක් වෙනුවට එකට ආණ්ඩුවේ කැබිනෙට්ටුවේ ළඟින උන්ම උනුනුන්ට චෝදනා කර ගනිමින් කා කොටා ගනිමින් බෙදුම්වාදී සතුරාට හොඳ පසුබිමක් නිර්මාණය කළේ සන්ධානයයි. දැන් මුස්ලිම් කොංග්‍රස් ශයිලොක්ට මස් රාත්තලම ලැබෙන පරිදි පළාත් සභාව පිහිටුවා ඇමති මණ්ඩලය පත් කොට තිබේ. ඇමති මණ්ඩලයේ මහ ඇමති ඇතුළු තිදෙනෙක් මුස්ලිම්ය. එක් අයෙක් සිංහලය. දෙමළ කිසිවෙක් නැත. ආණ්ඩු පක්ෂයේ සිටින ජනතාව පත් කළ එකම දෙමළ නියෝජිතයා හිටපු මහ ඇමති ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ය. සන්ධාන ප්‍රසාද ආසනය සඳහා ද දෙමළ නියෝජිතයෙකු පත් කොට තිබේ.


යුද්ධයේ අමිහිරි මතකයන් තවමත් දෙමළ ජනතාවගේ සිත් තුළ තිබේ. මතවාදය කුමක් වුව ද පසුගිය යුධ සමයේ ඔවුන්ගේ නෑ හිත මිතුරු බොහෝ දෙනා යුද්ධයේ ගොදුරු බවට පත්ව ඇත. ඔවුන් අතට තුවක්කු දී රජය සමඟ සටනට ඔවුන් දක්කන ලද්දේ කොටි ඇතුළු බෙදුම්වාදීන් වුව ද ඔවුන් වෙඩි කා මිය ගියේ ආණ්ඩුවේ හමුදා අතින් හෙයින් වරදකරු රජය යැයි ඔවුන්ට පහසුවෙන් ඒත්තු ගැන්විය හැකිය. යුද්ධයෙන් තුවාල වී ඇති ඔවුන්ගේ ආධ්‍යාත්මය වහා ජාතිවාදී අදහස්වලින් ඔද්දල් කළ හැකිය. ආතුර කළ හැකිය. දෙමළ රාජ්‍ය පක්ෂය මෙවර නැඟෙනහිර ආසන 11ක් ලබා ගැනීම පිටුපස ඇති රහස එයයි. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජනතාව සිංහලයින් සමඟ එකට ජීවත් වීමට අකමැති බව ද මධ්‍යම ආණ්ඩුවට අවනත නැති බව ද ලෝකයට ප්‍රදර්ශනය කොට කොටි ලවා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම එක්සත් ජාතීන් ලවා නොමිලේ ම ලබා ගැනීමයි. දෙමළ රාජ්‍ය පක්ෂයේ මේ අදහස ආණ්ඩුව අවබෝධ කරගත් බවක් නොපෙනේ. ඔවුන්ගේ පටු අරමුණවලට සරිලන පළාත් සභාවක් නැඟෙනහිර පිහිටුවීමෙන් එය සනාථ වේ.

ආණ්ඩුව නැඟෙනහිර සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ගේ ඡන්ද ලැබූ බව සත්‍යයකි. එහෙත් බොහෝ දෙමළ පිරිසක් දෙමළ රාජ්‍ය පක්ෂය කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා තිබේ. ගිය වර දෙමළ මහ ඇමතිවරයෙක් පාලනය කළ පළාත් සභාවේ මෙවර කිසිදු දෙමළ ඇමතිවරයෙක් නොමැතිවීම අප රටක් ලෙස ලද පරාජයක් බව මගේ හැඟීමයි. එමෙන්ම එය බෙදුම්වාදයේ ජයග්‍රහණයකි. තමන්ගේ ජාතියේ නියෝජනයක් නොමැති පාලනය දෙමළ අය තව තවත් මධ්‍ය කේන්ද්‍රයෙන් ඈතට තල්ලු කරනු ඇත. එය අනෙකෙකු විසින් තමන් පාලනය කරන්නේය යන හැඟීම පහසුවෙන් ඇති කළ හැකි තතත්ත්වකි. එය ඔවුන්ගේ අභිමාණය පිළිබඳ මානසික ප්‍රශ්නයක් ද වනු ඇත.

සැබවින් ම පළාත් සභාවේ ඇමති මණ්ඩලය පත් කළ යුතුව තිබුණේ සන්ධානයට ඡන්ද දුන් පදනම අනුව නොව මේ මොහොතට අවශ්‍ය සමාජ දේශපාලන උපක්‍රමවලට සරිලන අයුරිනි. නිදසුනක් ලෙස ඇමති මණ්ඩලය තුළ ප්‍රබල අමාත්‍යංශ කිහිපයක් දරන දෙමළ ඇමතිවරයෙක් සිටියේ නම් අදාළ ඇමති මණ්ඩලය ලෝකය හමුවේ වඩා ප්‍රබල එකක් වනු ඇත. එනම් දෙමළ රාජ්‍ය පක්ෂය දිනූ ආසනවල දීප්තිය අඩු වනු ඇත. එම පාලනය තමන්ගේ පාලනයක් නොවේ යැයි ආණ්ඩුවට ඡන්දය නොදුන් දෙමළ ජනතාවට වුව පහසුවෙන් සිතිය නොහැකි වනු ඇත. දැන් සිදුව ඇත්තේ සිංහල සහ මුස්ලිම් ඇමති මණ්ඩලයක් නැඟෙනහිර පාලනය කරන බව ද දෙමළ නියෝජිතයින් විපක්ෂය බව ද ඉතා හොඳින් ලෝකයට පෙනෙන්නට සැලැස්වීමය. මේ වනාහි බෙදුම්වාදීන්ගේ මනදොළ පුරවාලන තත්ත්වයකි. දෙමළ ජනතාව බෙදුම්වාදීන්ට පාවදීමකි.

දෙමළ ජනතාව නැවත දිනා ගැනීම සඳහා යටිතල පහසුකම් ගොඩනැඟීම මෙන් ම ඔවුන්ගේ හදවත් සමඟ සියුම් සංවේදී ගනුදෙනුවක් ආරම්භ කිරීම ද වැදගත්ය. ඇතැම් විට රුපියල් මිලියන ගණනක් වියදම් කොට දිනාගත නොහැකි ජනතා මතයක් ඔවුන්ගේ හදවත් හඳුනා ගෙන කරනු ලබන ඉතා සුළු දෙයකින් දිනාගත හැකිය. වසර 30ක් පමණ ෆැසිස්ට්වාදය යටතේ ජීවත්වූ දෙමළ ජනතාව නැවත ප්‍රජාතන්ත්‍රවාදය මත විශ්වාසය තැබීම ම අප රටක් ලෙස ලද ජයග්‍රහණයක් බව අමතක කළ යුතු නැත. එහෙයින් එම ජයග්‍රහණය සමස්ත රටේ ජයග්‍රහණයක් බවට පත් කිරීමට කටයුතු කිරීම සැමගේ වගකීමයි. කෙසේ වුව ද සන්ධානය සිය ප්‍රසාද ආසනය සඳහා දෙමළ නියෝජිතයෙකු පත් කිරීම අපි අගය කරමු.

දෙමළ ජනතාවට තව තවත් පාලන කටයුතු හා සම්බන්ධ කර ගනිමින් එය ඔවුන්ගේම නියෝජිතයින්ගේ පාලනයක් බව සිතන තැනට යාමට දෙමළ ජනතාවට උදව් කළ යුතුය. උතුරු නැඟෙනහිරින් උගත් බුද්ධිමත් සියලු ආකාරයේ බෙදුම්වාදයන් ප්‍රතික්ෂේප කරන තරුණ පිරිසක් නිර්මාණය කර ගැනීම අද රට හමුවේ ඇති ජයගත යුතු ප්‍රධාන අභියෝගයකි. එවන් පිරිසක් නිර්මාණය කොට ඔවුන් රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ කරගත යුතුය. ඔවුන්ට රජයේ ප්‍රධාන වගකීම් ලබාදිය යුතුය. කොටින් ම අනාගතයේ මේ රටේ දෙමළ කතා නායකවරු, ඇමතිවරු, අගමැතිවරු පමණක් නොව ජනාධිපතිවරු ද බිහිවිය යුතුය. මා දැන් දිවා රෑ දකින සිහිනය එයයි. බෙදුම්වාදයට සදාතන විසඳුම ද එයයි.   

5 comments:

මාතලන් said...

ඔබේ අදහස් හා එකඟ වෙමි. කොමෙන්ට් නොකලේ දීර්ග කොමෙන්ටුවක් දැමීමට වේලාවක් නැමැති නිසයි. නමුත් ඔබ ගෙනයන මේ සාකඡ්චාව නම් ඉතා වටිනා කාලෝචිත දෙයක් බව නම් සඳහන් කළ යුතුමයි.

රතු රජරට said...

//ඔවුන් අතට තුවක්කු දී රජය සමඟ සටනට ඔවුන් දක්කන ලද්දේ කොටි ඇතුළු බෙදුම්වාදීන් වුව //

ඔවුන් අතට තුවක්කු ලබා දුන්නේ ඇත්තටම කොටින් විසින් යැයි ඔබ සිතනවාද? කොටින් කියන්නේ ? පිටසක්වල ජීවීන් විශේෂයක්ද ??නැත ..ඔවුන් මේ රටේම සුජාත දරුවන් ය .ඔවුන් අතට තුවක්කු වීසි කලේ බලලෝභී දේශපාලකයන් බව අප පිළි නොගන්නේ ඇයි?

නාමල් උඩලමත්ත said...

බෙදුම්වාදයේ උපත පිළිබඳ මගේ පැරණි ලිපිවල බෙහෙවින් සාකච්ඡා කොට ඇති බැවින් ඒ ගැන නැවත කථා කළ යුතු නැත. කෙටියෙන් කිවහොත් බෙදුම්වාදය ලන්දේසි, ඉංග්‍රීසි විසින් පෝෂණය කොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටි ජාතිවාදී ද්‍රවිඩ නායකයින් අතට ලැබී ඔවුන් විසින් ද පෝෂණය කොට අනතුරුව ත්‍රස්තවාදීන් අතට පත් කරන ලද්දකි.

රතු රජරට said...

මම හිතන්නේ ඔබට ජාතිවාදී සිංහල නායකයන් ගැන අමතක වී තිබෙන හැඩකි.

නාමල් උඩලමත්ත said...

ඔව්, මම කැමතියි ජාතිවාදී සිංහල නායකයො කවුද කියලා දැනගන්න. කවුද ජාතිවාදී සිංහල නායකයෝ? මොනවාද ඔවුන් කළ ජාතිවාදී කටයුතු?

දෙමළ ජාතිවාදයට අනුකම්පා නොකර ඇතැම් පක්ෂ අතීතයේ කළ කටයුතු සාධාරණීකරණය කරන්න බැහැ. ඒ නිසා එය කළ යුතුව තියෙනවා.

 
සිය රට දේ සිරි සැප දේ !