Thursday, July 8, 2010

ලංකාව ඉරාකයක් නොවන්නට නම්!

ඉරාකයේ පරමාණු අවි ඇතැයි කියා ඒ රට ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීම කළේ ඇමරිකාව විසිනි. ඊට පසු 2002 ඉරාකය ආක්‍රමණය කළ අතර මෙතෙක් පරමාණු අවි සොයා ගෙන නැත. එහෙත් අභිමාණවත් ශිෂ්ටාචාරයක් ලොවට අහිමි විය. ලක්ෂ 6ට වඩා ජනතාවක් මරා දැමිණි. සදාම් හුසේන් එල්ලා මරා දැමුවේ ය. අද රටේ බෝම්බයක් නො පිපිරෙන දවසක් නැත. මුළු රට ම විශාලා මහ නුවරකි. තැන තැන ළතෝනි ය. කෙඳිරිලි ය. රතු ලේ ය. මර හඩ ය. මළ කඳන් ය. මිනි ගඳ කුණු ගඳ ය. එහෙත් ලේ දහරා මැදින් ඇමරිකාවට නිදහසේ තෙල් ගලා යයි. කිසිවෙකුට අත නොපා ජීවත් වූ ජාතියක් අද අසරණ වී සිටියි.

හෙට දින තවත් ඉරාකයක් දකුණු ආසියාවෙන් බිහි වන ලකුණු දැන් කෙමෙන් පහළ වෙයි. ත්‍රස්තවාදය මර්දනය කළ මෙහෙයුම සමයේ සිදු වූ මානව අයිතීන් කඩවීම පිළිබඳ සෙවීමට පත් කළ බෑන් කී මූන්ගේ කමිටුව සනිටුහන් කළේ එහි ආරම්භයයි. දෙපාර්ශවය ගැන ම මේ ඊනියා කමිටුව සොයන බව කීව ද අද ඇත්තේ එක් පාර්ශවයක් පමණි. සන්නද්ධ කොටි ප්‍රධානීහු අද මෙලොව නැත. එහෙයින් ඒ ගැන සොයා පලක් නැත. දඬුවම් දීමට ද කෙනෙක් නැත. එහෙයින් මේ කමිටුව පත් කළේ ලංකාවේ සේනාධිනායක, හමුදා ප්‍රධානීන් ඇතුලු ආරක්ෂක හමුදාව දං ගෙඩියට යැවීම පිණිස පැහැදිළි ය. එහි අර්ථය මේ කමිටුව අපේ රටට විරුද්ධව පත් කළ කමිටුවක් බව ය.

එය පත් කළේ ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ ඉටහිර රටවල් විසිනි. බෑන් කී මූන් යනු ඔවුන් අත නැටවෙන පඹයෙක් පමණි. එක්සත් ජාතීන් යනු අද ක්‍රියාත්මක තලයේ බටහිර අධිරාජ්‍යවාදය අරමුණු සපුරන ආයතනයකි. (සඳරුවන් සේනාධීර මහතාගේ 7 ශ්‍රේණීයේ පොතේ මේසේ සඳහන් නොවේ.)

මේ කමිටුව තව සිව් මසකින් ප්‍රකාශ කරන වාර්තාව වන්නේ යුද සමයේ ලංකාවේ මනාව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ය. අතිඋතුම් ජෙනරාල්තුමාගේ සුදු කොඩි කතාව ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් වනු ඇත. මේසේ ලංකාව යුද්ධය දිනුවේ මානව හිමිකම් උල්ලංඝනය කර බව, අද වන විට ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දැමූ ඇමරිකා-එංගලන්ත අළුගෝසුවන් දෙදෙනා ලෝකයට පවසනු ඇත.

එසේ අපේ ර ලද යුද ජයග්‍රහණයේ අභිමාණය විනාශ කරන අතර අපේ රටට විවිධ සම්බාධක පනවමින්, ශවේන්ද්‍ර සිල්වා ඇතුලු රණ විරුවන් නඩු ඇසීමට තමන් වෙත භාර දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනු ඇත. එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන කල අපේ රට ලෝක සාමයට තර්ජනයකැයි පවසා ආක්‍රමණය කිරීම සඳහා සුදුසු දේශපාලන වටපිටාවක් සකසා දීමට CNN, BBC වැනි ආයතන ක්‍රියා කරනු ඇත.

ඒ මාධ්‍ය මෝහණය කිරීම් මැද සිය හමුදාව මෙරටට ගොඩ බැස්සවීමට ඇමරිකාවට හැකි ය. ලංකා හමුදාව සමග ඇවිලෙන යුද්ධය සෙසු බටහිර රටවල ද උදව් ඇති ව දිනා ගෙන මහින්ද, ගෝඨාභය, ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, සරත් වීරසේකර ඇතුලු රණවිරුවන් ත්‍රස්තවාදය විනාශ කළ වරදට එල්ලා මරා දැමිය හැකි ය. සරත් ෆොන්සේකාට ඇමරිකන් රජයේ හෝ එක්සත් ජාතීන්ගේ සාක්ෂිකරුවෙකු වී අභය දානය ලද හැකි ය.

මෙරට පාලනය රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක හෝ ආර්. සම්බන්ධන් වැනි ඇමරිකන් ගැත්තෙකුට පවරා, ත්‍රිකුණාමල වරාය අත්පත් කරගැනීමට ඔවුන්ට හැකි ය. රට වටා මුහුදේ ඇති තෙල් ටික ද ඛනිජ ටික ද ඇමරිකාවට යැවිය හැකි ය. ඇමරිකන් ගැති ආණ්ඩුවට එරහිව මෙරට ඇති වන සිවිල් අරගල සඳහා නවීන ආයුධ විකිණීමට ඇමරිකාව පමණක් නොව නෝර්වේ රටට ද එක් විය හැකි ය. අටේ අනාගත පරපුරට නැවත 1983 සිට ඉදිරියට අප ගෙවූ කාලය නැවත මුල සිට ගෙවා දැමිය හැකි ය. එවිට ලංකාව තවත් ඉරාකයක් වනු ඇත.

මූන්ගේ කමිටුව සුළුවට සලකා අමතක නොකළ යුත්තේ එහෙයිනි. මෙය තලියෙහි පැනෙහි කිඹුලෙකු දැකීම කැයි නොසිති යුත්තේ එහෙයිනි. එහෙයින් වහා අවදි වන්නැයි සකල දේශප්‍රේමි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු. මුළු ලෝකය ම එරෙහිව එද්දී අපට කොටි ත්‍රස්තවාදය විනාශ කළ හැකි වූයේ ඔබේ ශක්තියෙනි. නැවතත් මර උගුලක වැටෙන්න යන මව් බිමට ඔබේ පිහිට අවැසි ම මොහොතයි මේ. සියලු වාදභේද දුරලා එක මිටට මව් බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රොද බැඳිය යුතු මොහොතයි මේ.

2 comments:

Unknown said...

එක්සත් ජාතීන් යනු අද ක්‍රියාත්මක තලයේ බටහිර අධිරාජ්‍යවාදය අරමුණු සපුරන ආයතනයකි. (සඳරුවන් සේනාධීර මහතාගේ 7 ශ්‍රේණීයේ පොතේ මේසේ සඳහන් නොවේ.)"

අනර්ඝයි.

නාමල් උඩලමත්ත said...

විමල් වීරවංශ සුද්දාගේ මුරණ්ඩුකමට එරෙහිව උපවාස කිරීම, ලංකාවේ කීර්ති නාමයට කැළලක්ය කියපු එදා මෙදාතුර ලක් අම්මාට ලැබුණු අදීන පුත්‍ර රත්නය වන රනිල් වික්‍රමසිංහ උතුමා ඇමරිකාවෙන් ඉල්ලීමක් කරලා, යුධ සමයේ මානව හිමිකම් ගැන සොයන්න රජයට බල කරන්න කියලා. මේ ද්‍රෝහි ක්‍රියාවෙන් අපකීර්තියට පත්වෙන්නේ අපේ රට නෙමේ ද? අපේ විරෝදාර හමුදාව නෙමේ ද? මීට වඩා රට ජාතිය අපකීර්තියට පත් කරන්න පුළුවන් වැඩක් තියෙනවා ද? සුද්දාට ‍එහෙම කියලා බෑන් කී මූන් කමිටුව පත් කළා ම අපි විරුද්ධයි කියලා රටට කියනවා. ඒ වගේ ම මූන්ගේ කමිටුව ආරක්ෂා කරමින්, ඊට විරුද්ධ වන අයටත් බනිනවා. අපේ රටට තව මේ වගේ නිවටයෝ දෙන්නෙක් හිටියා නම් මුළු දකුණු ආසියාව ම ඉවරයි. මේ වගේ තුප්පහි බත් බැලයෝ උපදින කාලයක උපදින්නත් අපි ලොකු පවක් කරලා තියෙන්න ඕන.

 
සිය රට දේ සිරි සැප දේ !