Thursday, July 30, 2009

අලි අපරාධ - 2 ධර්ම සාක්‍ෂිය සහ හෘද සාක්‍ෂිය

පින්නවල අලි අනාථාගාරයේ ඉපිද, එහිම ඇති දැඩි වෙමින් සිටි කිරි බොන වයසේ ඇත් පැටවුන් දෙදෙනකු ඇත් මවුවරුන් දෙදෙන විලාප තබද්දී යුද හමුදාව සහ පොලු මුගුරු ගත් සාහසිකයන් යොදවා රැගෙන යැම පිළිබඳව "දිවයිනේ" පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ ගරුතර මහා නායක තිබ්බටුවාවේ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ ගරුතර මහා නායක උඩුගම බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එවන ලද කරුණු දැක්‌වීමක්‌ ඊයේ (30 වැනිදා) දිවයින මුල් පිටුවේ පළ වී ය. මෙරට බුද්ධාගමේ මුදුන් මල්කඩක්‌ බඳු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ උතුම් භාරකරුවන් වන උන්වහන්සේ දෙනමගේ සිත් තුළ ධර්ම සංවේගයක්‌ ඇති කිරීමට අපගේ ප්‍රවෘත්තිය ඉවහල් වී නම්, උන්වහන්සේලාගේ පා දස දහස්‌ වාරයක්‌ නමැද සමාව ඉල්ලීමට අප සූදානම් ය. එහෙත් මේ සිද්ධිය පිටුපස සිටින ගිහි හොරුන් සහ අලි බිස්‌නස්‌කාරයන් පිළිබඳව අපගේ ස්‌ථාවරය කිසි කලෙකත් වෙනස්‌ වන්නේ නැත. මෙවැනි සොරුන්ට අපායේදී අනුභවයට ලැබෙන්නේ ගිනි අඟුරු ය. අඳින්නට ලැබෙන්නේ රතු පැහැයෙන් දිලෙන ගිනියම් වූ ලෝහ ඇඳුම් ය. ඔවුන් එහිදී වචනයක්‌වත් කීමට කට ඇරියොත් වහා ලෝ දිය වත් කරනු ලැබේ.

ගරුතර මල්වතු - අස්‌ගිරි නායක හාමුදුරුවන් වහන්සේ දෙනමද මෙරට වැඩ සිටින සෙසු සියලු බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ද දන්නා පරිදි මේ රටේ අලි හොරුන් සුදු අඳින්නට පෙර සිටම "දිවයින" රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටියේ ය. සිංහල ජාතිය හා බුද්ධාගම ගැන කතා කිරීම පාපයක්‌ව තිබූ සහ බෝම්බ පහර කෑමට තරම් වරදක්‌ව තිබූ සටන් විරාම කාලයේදී පවා "දිවයින" පෙර කී කාරණා සම්බන්ධයෙන් පෙනී සිට එකල පැවැති රජයේ උදහසට ලක්‌විය. ඉතින් ගරුතර හාමුදුරුවනේ "දිවයින"ට නැතිවන්නට දෙයක්‌ ඇතොත් ඒ වූ කලී රට ජාතිය හා ආගම ය. ඒ උතුම් ත්‍රිත්වය රැක ගැනීමට "දිවයින" දිවි හිමියෙන් ක්‍රියා කරනවා ඇත.

මේ නිවේදනයට ගරුතර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් අත්සන් කළත් ඒ නිවේදනය පිළියෙළ කළේ වෙනත් පාර්ශ්වයක්‌ බව අපි දනිමු. ඔවුන් ගරුතර ස්‌වාමීන් වහන්සේ දෙපළ නොමඟ යවා ලියෑවිල්ලට අත්සන් ලබාගෙන ඇති බව අපගේ විශ්වාසයයි. දළදා මාලිගාවට ඇත් පැටවුන් දෙදෙනකු ලබා ගැනීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් රජය අවසර ලබා දුන් බව ඇත්ත. එහෙත් ඇත් මවුවරුන්ගෙන් කිරි උරා බොන පැටවුන් කැඳවාගෙන එන ලෙස එම නියෝගයේ නැත. මේ ඇත් පැටවුන් ප්‍රවාහනය කිරීමට යුද හමුදාව කුමටද? මෙය සෙනසුරාදා දහවල් කාලයේදී සිදු නොකර රාත්‍රි කාලයේදී සිදු කළේ ඇයි? කිරි බොන දරුවකු මවකගෙන් වෙන් කිරීම බුදු වදනට කළ ගැරහුමකි.

ගරුතර මහා නායක ස්‌වාමීන් වහන්සේගේ නමින් නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන් වන පරිදි, ඇත් පැටවුන් දෙදෙනා මවුවරුන්ගෙන් වෙන් කිරීමට එරෙහිව කතා කරන අය මේ රටේ බෞද්ධ ආගමික සංස්‌කෘතික මංගල්‍යයක්‌ සාම්ප්‍රදායිකව පවත්වාගෙන යැම නො ඉවසන අය වෙති. අප ගරුතර ස්‌වාමීන් වහන්සේගේ දෙපා නමැද කියා සිටින්නේ එබඳු කුමන්ත්‍රණකාරයන් උන්වන්සේලාගේ අතේ දුරින් දැනට වසර තුනක පමණ සිට ගැවසෙන බවයි. එහෙත් උන්වහන්සේ ඒ බව නො දනිති. ගරුතර හාමුදුරුවනේ, මේ රටේ සිටින සමස්‌ත ඇත් පරපුරමත්, මතු උපදින්නට සිටින ඇත් පරපුරත් දළදා මාලිගයට පූජා කිරීමට යෝජනාවක්‌ එන්නේද, අප සාධුකාර දී එයට එකඟ වෙමු. එහෙත් ඒ පූජාව කරන්නේ මස්‌ කඩ කාරයන් පින් කරන ආකාරයට නම් අප එයට විරුද්ධ වෙමු. ඇත් පැටවුන් දෙන්නා සම්බන්ධයෙන් නිකුත් කළ කැබිනට්‌ පත්‍රිකාවේ පිටපතක්‌ අප සතුව ද ඇත. රෑ හතට හමුදාව සමඟ පැමිණ කිරි බොන ඇත් පැටවුන් ගෙන යන ලෙස එහි නැත.

ගරුතර නායක ස්‌වාමීන්වහන්සේගේ දැන ගැනීම සඳහා තවත් කාරණයක්‌ කියමු. පැහැරගත් අලි පැටවුන් දෙදෙනා මෙල්ල කිරීම සඳහා උන්ට පහර දී රත් කළ යකඩ වලින් සිරුරු පුළුස්‌සා තිබේ. අපට තිබෙන එකම ප්‍රශ්නය මෙයයි. මේ සා වධ බන්ධනයට ලක්‌ කර ඒ කිරි සප්පයන් හිරකර ගාල් කර තබන්නේ කුමක්‌ සඳහා ද යන්නයි.

අපගේ වැටහීම නම් මේ පහත් ක්‍රියාව රජය හා ජනාධිපතිතුමා අපහසුතාවකට පත් කිරීමට ගත් කොන්ත්‍රාත්තුවක කොටසක්‌ බව ය. යන්තම් මේ රට ගොඩ ආවා පමණි. එය යළි වළට දමා අලින් ලවා පෑගවීමට යත්න දරන බව පෙනේ.

(දිවයින_09/07/31)

ටිප්පණිය_අලි පැටවුන්ට වූ අසාධාරණය ජනපතිතුමාගේ මැදිහත්වීමෙන් කෙළවර වී තිබේ. එහි අවශ්‍යතාව අපි පෙරදා අවධාරණය කළෙමු. මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් ද නොමග යවමින් යම් වසලයින් පිරිසක් නොහොබිනා වැඩක් කරතිබේ. උතුම් දළඳ වහන්සේගේ නම විකුණමින් මෙවන් නීච වැඩ කරන්නන් ගැන වහාම පියවර ගත යුතුය. මේ වූ කලී උතුම් දළඳාවට කළ නින්දාවකි. මල්වතු අස්ගිරි නාහිමිවරුන්ට ද කරන ලද නින්දාවකි.

පිරිහුණු අධ්‍යාපනයේ අඳුරු අනාගතය

අද ශ්‍රී ලංකාවේ දූෂිතම අංශය පොලිසිය නොව අධ්‍යාපනය වන අතර එහි වරද අධ්‍යාපන ඇමැතිවරයාගේ නොව 1970 දී බලයට පත් සමගි පෙරමුණ ආණ්‌ඩුව බව අවධාරණය කරමින් අද මේ තීරුව ආරම්භ කරමු. සිංහල ළමයා ඉතිහාසයක්‌ නැති ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව ඉතිහාස පාඩම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. සිංහල ළමයා භාෂාවක්‌ සහ සාහිත්‍යයක්‌ නැති ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව සිංහල සාහිත්‍යය පාඩම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. සිංහල ළමයා ප්‍රජාචාරය සහ භූගෝල විද්‍යාව නො දන්නා ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව ඒ පාඩම් දෙකම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. 1977 දී බලයට පත් උගත් නීතිඥ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා බුද්ධ ධර්මය, සිංහල භාෂාව හා සාහිත්‍යය ගැන ඉංගිරිසියෙන් කියෑවූ විද්වතකු වූ බැවින් මේ රටේ අනාගත පරපුර අධ්‍යාපනයේ පිරිහීම නිසා විනාශ මුඛයට යමින් සිටින බව තේරුම් ගත්තේ නැත. එතුමා දුටුවේ එකම සිහිනයකි. ඒ ශ්‍රී ලංකාව සමාන්තර සිංගප්පූරුවක්‌ හෙවත් ආසියානු ආර්ථික බලවතකු බවට පත් කිරීමේ සිහිනයයි. ප්‍රභාකරන් පළමුවන බෝම්බය පිපිර වූ සැණින් ඒ සිහිනය කැබලි වී ජනතාවගේ හිස මතට පහත් විය. එයින් ඔලු තුවාල කරගත් අපි එදා සිටම විශ්ව ගම්මානය, ගෝලීයකරණය, පිටරටින් ගෙන්වන කදිම ක්‍ෂණික ආහාර මිලට ගැනීමට වත්කමක්‌ නො තිබීම සහ ඒ වත්කම ලබා ගැනීම සඳහා කෙසේ හෝ මුදල් සොයන ආකාරය ගැන කල්පනා කරමින් සිටියෙමු. ඒ අතර ලෝකය වෙනස්‌ වී, කාලය තවදුරටත් ඉදිරියට ගොස්‌ සා. පෙළ ගණිත විෂයයෙන් ළමයින් 45% ක්‌ අසමත් වන්නට පටන් ගත් විට සියලු දෙනාගේම පස්‌සා පැති ගිනි ගන්නට විය. අද කතාව එතැන් සිට ය.

උතුරු මැද පළාතේ මධ්‍ය වාර පරීක්‍ෂණය සඳහා 8 වැනි ශ්‍රේණිය වෙනුවෙන් මුද්‍රණය කර තිබූ බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ තිබූ සෝදුපත් දෝෂ සහ විෂය දෝෂ ගැන පසුගිය සතියේ පුවත්පත්වල පළවිය. ත්‍රිපිටකය වෙනුවට දේපිඨකය යන්න මුද්‍රණය වී තිබීමත්, පෙර සඳහන් දෝෂ සමූහයත් නිසා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී. ඒ අතරම විභාගයේ ඉතිරි කොටස පැවැත්වීම 28 වැනිදාට යොදා තිබූ නමුත් ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට මුද්‍රණය කර ගැනීමට නොහැකි වූ නිසා විභාගය අවලංගු කෙරිණ. මේ විභාගයේම නව වැනි ශ්‍රේණිය සඳහා බෙදා දුන් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ ද දෝෂ බහුල විය. එහි බොහෝ තැන්වල "පිළිතුරු" යන වචනය මුද්‍රණය කර තිබුණේ "පිලිතුරු" යනුවෙන් මුර්ධජ ළි යන්න රහිතවය. "සන්‍යාසි" වෙනුවට "සන්නයාසි" ලෙසත් "බමුණා" වෙනුවට බමුනා ලෙසත් මෙහි සටහන්ව තිබිණි. වැරදි වශයෙන් ගණන් කළහොත් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ ඇති වැරදි ගණන 20 ඉක්‌මවයි. මේ වැරදි ප්‍රශ්න පත්‍රය හැදූ පඬිරුවනට එක වරදට එක කස පහර සහ අවුරුද්දක සිර දඬුවම බැගින් දෙන ලෙස යෝජනා කරමු. මේ අඳුරු කෙරෙමින් පවතින්නේ ජාතියේ අනාගතයයි.

වසර 30 ක්‌ තිස්‌සේ පැවැති අඳුරු බෙදුම්වාදී යුද්ධය විසින් අපට බොහෝ දේ අමතක කරන ලදී. අධ්‍යාපනය සංස්‌කෘතිය පමණක්‌ නොව කෑම, ඇඳීම පවා අපට අමතක විය. අපි අතට අසු වූ දේ ගිල දමා අතට අසු වූ දේ ඇඳගෙන යුද්ධය දෙස කට ඇරගෙන බලා සිටියෙමු. අද යුද්ධය නිම වී ඇති අතර කට යළි තිබූ තැනට ගෙන අනාගතය දෙස බැලීමට අපට සිදු වී තිබේ. එසේ බලන විට අපට පෙනී යන්නේ පිරිහුණු අධ්‍යාපනයක්‌ සහ අඳුරු අනාගතයක්‌ නම් එයින් එහා වචනයක්‌වත් කතා කිරීමට අපට ඉතිරි වන්නේ නැත.

(දිවයින_09/07/30)

ටිප්පණිය_මේ ප්‍රශ්න පත්‍ර සැදූ අය 70 සහ 77 දරුවෝ ය. පෙර කී හේතු නිසා ඔවුන් විෂය දැනුමෙන් පමණක් නොව සමාජ දැනුමින් ද පිරිහී තිබේ. ඔවුන් කෙතරම් ආගාධයකට වැටී ඇද්ද යන්න පැහැදිළි වන්නේ බුදු රජානන් වහන්සේගේ මෘත දේහයක් ගැන කතා කිරීමෙනි. 77 සිට සිංගප්පූරු පාර දිගේ අප ගමන් කරන්නේ සංස්කෘතික කාන්තාරයක් කරා ද යන්න විමසා බැලිය යුතුය.

Tuesday, July 28, 2009

අලි අපරාධ!

එක්‌දහස්‌ අටසිය තිස්‌ ගණන්වලදී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණි භයානක මැරයන් දෙදෙනකු ගැන පොත්වල කියවූ දේ අපට සිහිපත් වේ. මේ මැරයන් දෙදෙනාගෙන් එකකුගේ නම මේජර් තෝමස්‌ විලියම් රොජර්ස්‌ ය. අනෙකා සැමුවෙල් බේකර් ය. පළමුවැන්නා ආසියාවේ සහ අප්‍රිකාවේ අලින් ජීවත්වන රටවල ඇවිදිමින් උන්ට වෙඩි තැබීමෙහි නිරත විය. රොජර්ස්‌ විසින් මෙසේ මරණ ලද අලි ඇතුන් ගණන 1500 ඉක්‌මවයි. ස්‌වභාවවේදියකු ලෙස හඳුන්වා ගනිමින් ලෝකය රැවැටූ දෙවැන්නා අලින් මෙන්ම ගෝනුන්, මුවන්, නරින් යනාදී සතුන්ට වෙඩි තබා මරමින් සතුටු විය. හෝටන් තැන්නේ ඇති දියඇල්ල උඩ කඳුගැටයට එන ගෝනුන්ට දිය ඇල්ලෙන් පහළට වැටෙන පරිදි වෙඩි තැබීම ඔහුගේ "වීරකම" විය. අද මේ ප්‍රාණඝාතක නරුමයාගේ නමින් ඒ දියඇල්ල බේකර් දියඇල්ල ලෙස නම් කර ඇත. මේ මහත්වරුන් දෙදෙනාගේ මිනී වළවල් දෙකෙන් එකකට අදටත් අකුණු සැර වදින බව දැනගන්නට තිබේ. ඒ, කාගේ වලටදැයි අපට මතක නැත.

වංශ ජනකතාවට අනුව සිංහලයා සිංහයකුගෙන් පැවැතෙන නමුත් තුන් සිංහලයේ සිංහලයා එදා සිටම ළඟින් ඇසුරු කළ සතා අලියා ය. තම දැවැන්ත ශක්‌තිය සහ බලය නොදත් මේ අහිංසක තිරිසනා දුටුගැමුණු රජතුමාට විජිතපුර සටන දිනවා දීමට උදව් කර තුන් සිංහලය එක්‌ සේසත් කිරීමේ ගෞරවය දුටුගැමුණු රජ සමඟ බෙදා හදා ගත්තේ ය. විජිතපුර සටනින් පසු කණ්‌ඩුල නමැති ඒ ඇතා කිසිදු කාර්යයකට නොයොදා නිදහසේ තැබීමට දුටුගැමුණු රජ නියම කළේය. ඉතා නිදහසේ සැපවත් ජීවිතයක්‌ ගතකර මියගිය කණ්‌ඩුල ඇතා දෙව්ලොව උපන් බව කියනු ලැබේ.

අප මේ සියල්ල ලිවුයේ මන්ද? පින්නවල අලි අනාථාගාරය තුළ සිදු වූ නීච ක්‍රියාවක්‌ ගැන ඊයේ (28 දා) "දිවයිනේ" පළ වූ පුවතක්‌ දැකීමෙනි. ඒ වූකලී පින්නවලදී උපන් පළමුවන ඇත් පැටවුන් දෙදෙනා ඇත් මවුවරුන්ගේ විලාප මැද පැහැරගෙන යැම පිළිබඳ පුවත ය. ඇත් පැටවුන් දෙදෙනා කිරි බොන වයසේ, එනම් අවුරුදු තුනක්‌ වයසැති පැටවු වූහ. ඇත් පැටවෙක්‌ සාමාන්‍යයෙන් වසර 05 ක්‌ මවගෙන් කිරි උරා බොයි. ඒ අතර ඇත් මවක්‌ වසර 05 ක්‌ යනතුරු කිරි නො වරයි. අලි පැටවුන් දෙදෙනා පැහැරගෙන යැමේ කටයුත්තට රජයේ ආරක්‍ෂක අංශ සහභාගි වූහ. එය ඒ මිනිසුන්ගේ රැකියාවයි. ඉහළින් එන නියෝග පිළිපැදීමට ඔවුහු බැඳී සිටිති.

අලි පැටවුන් පැහැරගෙන යැම පිළිබඳ කතාව පසුබිම ඇති කතාව මෙසේයá දළදා මාළිගා පරිශ්‍රය සඳහා ඇතුන් දෙදෙනකු ලබා ගැනීම සඳහා රජයට ඉල්ලීමක්‌ ලැබිණ. රජය එයට අනුමැතිය දුන්නේ ය. එහෙත් මවු ඇකයේ කිරි බොමින් සිටින ඇත් පැටවුන් යුද හමුදාව යොදවා පැහැරගන්නා ලෙස රජය කීවේ නැත. පින්නවල අලි පැටවුන් දෙදෙනා දෙස ඇස ගසාගෙන සිටි අධමයෙක්‌ මුග්ධ ඇමැතියකු සමඟ එක්‌ව ඇත් පැටවුන් දෙදෙනා පැහැර ගැනීමට සැලසුම් කළේ ය. මෙය අරක්‌කු ලයිසමෙන් කසිප්පු පෙරුවාක්‌ වැනි වැඩකි. ගස්‌ මැදීමට ඇති ලයිසමෙන් හොර පොල් කැඩුවාක්‌ වැනි කටයුත්තකි. ආණ්‌ඩුව අවසර දුන්නේ එක්‌ කාරණයකටයි. සිදුවූයේ තවත් දෙයකි. සිය මවුවරුන්ගෙන් වෙන් කරන බව දැනගෙන ක්‍රියාත්මක වීමේ හැකියාව මේ අලි පැටවුන්ට වී නම් ඉකුත්දා කොළඹ බාලිකා විදුහලක සිසුවියක්‌ ගුරුවරුන්ට බියෙන් ටයි පටියෙන් ගෙළ වැලලාගෙන සිය දිවි නසා ගත්තාක්‌ මෙන් උන්ද සිය දිවි නසා ගන්නවා ඇත.

මේ භයානක කොල්ලය ගැන දළදා මාළිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිර්මාංශාහාර භක්‍ෂණයෙහි නියුතු ගරු නිලංග දෑල බණ්‌ඩාර මැතිතුමා දැනුවත් කිරීම අපගේ යුතුකම ය. එතුමා මේ බව දැන සිටියේ නම් කිසි කලෙකත් මෙබන්දක්‌ සිදු වන්නේ නැත. පැජරෝ හත අටකින් ගොස්‌ අලි රංචුවල පැටවුන් වටකර උන් පැජරෝවල පටවාගෙනවිත් අලි හිමියන් සතු ඇතින්නියන්ගේ පැටවුන් ලෙස ලියාපදිංචි කිරීමේ ජාවාරමක්‌ ඇත. මේ සියලු කාරණාවලට ගරු ජනාධිපතිතුමා මැදිහත් විය යුතු කාලය දැන් පැමිණ තිබේ. මේ රටේ ඇත් පරපුර රටටම අයත් ජාතික වස්‌තුවකි. එය පැහැරගෙන විනාශ කිරීමට ඉඩ නොදෙමු.

(දිවයින_09/07/29)

ටිප්පණිය_කොටි විසින් මව් ඇකයේ සිටින දරුවන් උදුරා ලොරි රථවල ටයරයේ ගසා මරා දැමූ අඳුරු යුගය නිම විය. දැන් එවැනි ම නීච ක්‍රියාවක් තවත් නරුම පිරිසක් විසින් සිදු කර තිබේ. එය යහපත් අරමුණකින් කළා විය හැකි ය. එහෙත් එය අන්තිම අධම නීච ක්‍රියාවකි. මේ කුඩාවුන්ට සිදු වූ අසාධරණය ජනපතිතුමාගේ අවදානයට යොමු විය යුතුය. පෙර කල එළාර රජු ගව දෙනකට සිදු වූ අසාධාරණයක් සඳහා යුක්තිය ඉටු කළ අයුරු එතුමා දන්නවා ඇත. නැතහොත් පසුකලක මේ අධමයින් සිහිවනු පිණිස බේර්කර්ස් ඇල්ල මෙන් සිහිවටන නම් කරනු ඇත.
 
සිය රට දේ සිරි සැප දේ !