Saturday, July 9, 2022

ජුනි 09 සතුට සහ ජුලි 09 සතුට...!

 පසුගිය ජුනි 09 වෙනිදා ගාලු මුවදොර දී සජිත්ට පහර දෙද්දි සතුටු වුණා. ඒක මරු වැඩේ සජියට දුවන්න දුන්නා කියලා.ඒ වීඩියෝ එක ශෙයාර් කරමින් වින්දනයක් ලැබුවා. 

අරගලකාරයෝ එදා රෑ වෙද්දි මිනී මරල ගෙවල් ගිනි තියද්දි පිරිසක් සතුටු වුණා.

සමහරු ඒවා සාධාරණීකරණය කළේ මැති ඇමතිලා අනුකම්පාව ගන්න තමන්ගේ ම ගෙවල්වලට ගිනි තියාගෙන කියලා. 

පිරිසක් කීවේ ඉන්ෂූවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න කියලා. සමහරු කීවේ හොරා කෑ සල්ලි නිසා ගිනි තිබ්බට කමක් නෑ කියලා. 

අපේ රටේ සිය ගණනකට රැකියා දුන් රටට ඩොලර් උපයා දුන් දැවැන්ත හෝටලයක් ගිනි තියල කොල්ලකද්දි ඒවා ලංසගේ කුඩු සල්ලි කියල සතුටු වුණා.

ඒ අතර එදා අර සිදුවීම් ගැන දුක් වුණ පිරිසක් ඊට මාසෙකට පස්සේ ජුලි 09 සතුටු වෙනවා, රාජිතට මහ පාරේ ගැහුවා කියලා. 

ඒක මරු වැඩේ, ඕකට ඔහොම වෙලා මදි කියලා. සමහරු ඒ වීඩියෝ එක 1500 වාරයක් බලලා නිරාමිස සතුටක් ලබලා. 

ඊට පස්සේ රෑ අරගලකාරයෝ රනිල්ගේ ගෙට ගිනි තියනවා. රනිල්ම ගෙට ගිනි තියා ගත්තා කියල පිරිසක් කියනවා. 

යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බ නිසා රනිල්ගේ ⁣නිවස ගිනි තැබීම සාධාරණයිලු. අනික ඒක කුරුඳුවත්තේ රෝයල් එකට මිසක් වන්නියේ දුප්පත් ඉස්කෝලේකට පවරල නෑලු.

මේ ගිනි තැබීම් පහර දීම් කිසිවක් ගැන මට සතුටු වෙන්න බෑ. අපේට විරුද්ධ සජිත්ට වගේ ම රාජිතට පහර දීම ගැනත් මම කනගාටු වෙනවා. ඒ වගේ ම අපේ රටේ අනාගතය ගැන රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පැවැත්ම ගැන මට තියෙන්නේ දැඩි බයක්. 

රාජිත හෝ සජිත් සමග හෝ වෙන අයකු සමග අපට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ගනුදෙනු කරන්න බැරි නම් කැලෑ නීතිය අනුව ඔහු පරාජය කළ යුතුය සිතනවා නම් එහෙම කළා ම අපි සතුටු වෙනවා නම් අපි ඉන්නේ ආපසු හැරිලා ගල් යුගයට යන ගමන්.

මේ කිසිවක් ශිෂ්ට රටක විය යුතු හෝ ශිෂ්ට මිනිස්සු සතුටු විය යුතු දේවල් නෙමෙයි. මේ සිදුවීම් මාලාවට අප දැක්වූ ප්‍රතිචාර අපට අපවම මැනගන්න කැටපතක් හදනවා.මේවා මහා ජයග්‍රහණ විප්ලව කියල හිතන අයට ළිප ගිනි ඇවිළෙන තුරු දිය හැලියේ නටන්න බාධාවක් නෑ. නමුත් මේක මහා ඛේදවාචකයක්.

Tuesday, July 5, 2022

ඉන්ධන අර්බුදයෙන් පෞද්ගලික රෝහල් වැහුණ ද?

ඉන්ධන අර්බුදය නිසා කිසිදු පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩල සේවයට වාර්තා නොකර සිටි බවක් වාර්තා වන්නේ නැත. කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකළ නිසා පෞද්ගලික රෝහලක් වසා දැමූ බවට තොරතුරක් ද නැත. 

සෑම ගමකම නගරයකම දැකිය හැකි පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ද වසා දමා නැත. ඉන්ධන අර්බුදය නිසා රජයේ රෝහලට යා ගත නොහැකි වෛද්‍යවරු පවා දුරුකතර ගෙවා ගෙන සිය පෞද්ගලික සායන සඳහා ගමට ඇදෙති. 

සිය රාජකාරී වේලාවේ තෙල් පෝලිමේ සිටින බව කියන වෛද්‍යවරු සිය චැනල් සේවා සඳහා ද ගම්වල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ද පැමිණීමට කාලය කළමනාකරණය කර ගනිති.



පසුගිය සති කිහිපයේ මුණ ගැසුණු ගමෙන් බැහැරව පෞද්ගලික රෝහලක රියදුරෙකු ලෙස කටයුතු කරන මිතුරෙකු ද පෞද්ගලික වාහන අමතර කොටස් අලෙවි ආයතනයක සේවය කරන මිතුරෙකු ද පෙදරේරුවෙකු වන අසල්වැසියෙකු ද පැවසුවේ ඉන්ධන අර්බුදය නිසා දිනපතා නිවසට නොපැමිණ දින 4-5 නතර වී රැකියාව කරන බවයි.

මේ තිදෙනාට ම සිය රැකියාව කළ යුතු වේලාවේ ඉන්ධන පෝලීමේ සිටිය ද වැඩ වර්ජනය කළ ද තෙල් නැතැයි නිවසේ නැවතුණ ද වැටුප් ලැබෙන්නේ නැත. එහෙයින් මෙම අර්බුදයට මුවා වී සිය රැකියාවේ වගකීම අතහැරීමට ඔවුන්ට නොහැකිය.සිය සේවාදායකයා අපහසුතාවට පත්කළ නොහැකිය.

අපේ රටේ දුම්රිය, තැපැල්, ලංගම, විදුලිය, ඛනිජ තෙල් වැනි බොහෝ රාජ්‍ය සේවා ද මෙලෙස පෞද්ගලික ව්‍යවසාය යටතේ ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි දුෂ්කර අවස්ථාවක ජනතාව ප්‍රාණ ඇපයට ගෙන කිසිවෙකුට සිය සේවයෙන් බැහැර විය නොහැකිය. ජනතාව කබලෙන් ළිපට ඇද දැමිය නොහැකිය. එසේ වූයේ නම් උදේ නිවසින් කාර්යාලයට පැමිණි දුම්රිය හවස වර්ජනය කරන රටක් අපට උරුම නොවන්නට ඉඩ තිබිණි. 

මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව එංගලන්ත දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බවය. විශ්වාස කරන්න, එවැනි වර්ජනයක් එංගලන්තයේ ක්‍රියාත්මක වන්නේ අවු. 25 පසුවලු. ඔව්, පැය නෙමෙයි, දවස් නෙමෙයි, සති නෙමෙයි, මාස නෙමෙයි, අවුරුද්දක් දෙකක් නෙමෙයි. අවුරුදු 25කට පස්සේ. දශක දෙකහමාරකට පස්සේ.

අනුරට අගමැති වෙන්න ජන වරමක් නැද්ද?

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි තමන් සිතන මන්ත්‍රීවරයාට අගමැතිකම දෙන්න ජනාධිපතිවරයාට පුළුවන්. ඒ අනුව රනිල්ට වගේ ම අනුරටත් අගමැතිකම දෙන්න ජනාධිපතිට පුළුවන්.

දැන් පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි මුළු රටේමත් ජාත්‍යන්තරයෙත් බහුතර විශ්වාසය තියෙන්නේ අනුරට. ඒ නිසා අනුර තමන්ට අගමැති පුටුවේ වාඩිවෙන්න ජනවරමක් නෑ කියන එක පදනම් විරහිත කතාවක්. ඔහුට ඒ සඳහා ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා.

අනෙක් අතට රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී නිසා අගමැතිකම දරන්න බැරි බව කීම වගේ ම ඔහු ඡන්දෙන් පැරදුණු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව කීම විහිළුවක්. 2015 මහා මැතිවරණයට මාතරින් තරඟ කරල පරාද වුණ සුනිල් හඳුන්නෙත්ති එදා පාර්ලිමේන්තු ආවේ ජවිපෙ ජාතික ලැයිස්තුවෙන්. 

එදා හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ආවේ ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිවෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගන්නා බවට ජවිපෙ ජනතාව ඉදිරියේ සපථ කළ පසුබිමක. හැබැයි 2019 එජාපය නම් පරාජිතයෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවන්නේ නෑ කියල රටට පොරොන්දු වුණේ නෑ කියලයි මතක. 

ජනතාව ප්‍රතික්ෂේප කළ හඳුන්නෙත්ති ජනතාවට ලබා දුන් පොරොන්දුවත් කඩලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත් ජවිපෙ නායකත්වය තමා සමිමතයෙහි පිහිටා නොසිට රනිල්ට වැදි බණ දේශනා කිරීම උත්ප්‍රාසජනකයි. 

ඒ නිසා කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තවත් ටිකක් නොඉල්ල, අන්දරේ වගේ ගල උස්සල මගේ කරෙන් තිබ්බොත් අරන් යන්නම් නොකිය අගමැතිකම භාර අරගෙන රට අර්බුදයෙන් ගලවා ගැනීමට නායකත්වය දෙන එක අනුරගේ වගකීම. අපට රට මිස පක්ෂ වැදගත් නොවන නිසා අනුරට රට ගොඩගන්න සහය දෙන්න අපි ලෑස්තියි.


 
සිය රට දේ සිරි සැප දේ !