Monday, June 18, 2018

ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!

භික්ෂූන් වහන්සේ භික්ෂු විනයට මෙන්ම ජීවත් වන රටේ නීතියට ද අනුගත විය යුතුය. එහෙත් අපේ රටෙි අද ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සිංහල නීතිය නොව රෝම ලන්දේසි නීතියයි.

ඒ නීති පද්ධතිය වසර සිය ගණනක් මෙරට භාවිත වුවද එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට අප අසමත් වී ඇත. අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි ඒ නීතිය අපේ කර ගැනීමට අප අසමත් වී ඇත.

අපේ රටේ භික්ෂුවක් සිවිල් නීතියට අනුගත වරදක් කළ විට දඬුවම් ලබා දීමට එම නීතියට හැකි වීම ගැටලුවක් නොවුණ ද චීවරය ගලවා ජම්පරය ඇන්දවීමේ බලයක් එම නීතියට දිය යුතු නැත.

භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චීවරය ගලවා දැමීමේ බලය රටේ නායක භික්ෂූන් වහන්සේලාට පමණක් හිමි යුතුය. එය බන්ධනාගාර කොමසාරිස් කෙනෙකුට නොව ජනාධිපතිට පවා ලබා දීම බුද්ධ චීවරයට කරන නින්දාවකි.

දෙව්දත් හිමි අපාගත වූයේද සිවුර පිටින් බව බණ කතාවේ කියවෙයි. කුඩාපොළ හිමි වෙඩි කෑවේ සිවුර පිටිනි. සුද්දා වාරියපොළ සුමංගල හිමි සිරගත කළ ද සිවුර ගැලවූ බවක් නොකියවෙයි. සුද්දා සිවුර ගැලවුවද ඒ වරද වහා නිවැරදි විය යුතුය.

මන්ද එමගින් හෑල්ලුවට ලක් වන්නේ මේ රට දැය සමයෙහි මුර දේවතාවුන් වැනි ආර්ය මහා සංඝ රත්නය කළ මහා උදාර සේවයයි. අපේ බෞද්ධ උරුමයයි. බන්ධනාගාර කොමසාරිස් වැනි මහජන මුදලින් යැපෙන ගිහියකු අතින් ගැළවෙන්නේ හුදු සිවුරක් නොව මේ ශිෂ්ටාචාරයේ අභිමානයේ සළුවයි.

මේ මොහොතේ අප අභියස රඟ දැක්වෙන්නේ භයානක විගඩමක් බවට කිසි සැකයක් නැත. කළු ඩිපෙන්ඩරයක තරුණයකු පැහැර ගෙන ගොස් මරණ තර්ජනය කළ හිරුණිකාලා මැති ඇමතිකම් දරමින් සුවසේ වාසය කරන රටක හුදෙක් මරණ තර්ජනය කළේ යැයි ඥානසාර හිමි සිරගත කර ජම්පරය ඇන්ද වීම ඔස්සේ සතුරා අරමුණු කිහිපයක් සපුරා ගැනීමට කටයුතු කරන්නේ යැයි සිතිය හැකිය.

පළමුවැන්න මේ රටේ සතුරන් සතුටු කිරීමය. දෙවනුව මේ රටේ බුදු දහමට හිමි තැන අහිමි කොට නින්දා කිරීමය. තෙවනුව මේ ආණ්ඩුව රකින අන්තවාදී කල්ලි සතුටු කිරීමය. සිව්වනුව රට වෙනුවෙන් පෙරට එන භික්ෂුව නිහඬ කිරීමය. පස්වනුව සමාව ලබා දී වීරයන් වීමය. සය වනුව එහිමියන්ගේ ගිලිහි ගිය ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමට මග පාදා තමන්ට අවශ්‍ය පරිදි බෞද්ධයන් රැවටීමට යොදා ගැනීමය.

දැන් නිර්මාණය වී ඇති පසුබිම තුළ ඥානසාර හිමිට සිරගෙදර සිට පැමිණ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් හෝ රටේ සතුරු අපේක්ෂකයාට එරෙහිව වැටෙන බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් කඩා දැමිය හැකිය. නො එසේ නම් ඒ ජනාධිපතිවරණයට රනිල්ට හෝ රටේ සතුරාට එරෙහි අපේක්ෂකයාට සහාය දෙන බව පවසා ඔහුට වැටෙන සුළු ජාතික ඡන්ද විශේෂයෙන් මුස්ලිම් ඡන්ද කැඩිය හැකිය.

බොදුබල සේනාව බිහි කළ පාර්ශව පවසන පරිදිම එය දෙපැත්ත කැපෙන අසිපතකි. රටට හිතැති බලවේග ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්ත්වයට පත් වනු අැත. එහෙයින් ජනතාව වෙනදාටත් වඩා පරිස්සමින් ඉවසීමෙන් මේ දෙස බලා සිටිය යුතුය. මේ නාටකට ඔස්සේ සිදු කරන සංස්කෘතික සංහාරයට එරෙහි විය යුතුය. නැතහොත් මේ අසිපත් පහරක් ලක් මවගේ ගෙලට එල්ල විය හැකිය.

Monday, June 11, 2018

කර්නල් රත්නප්‍රිය උතුරෙන් උදුරා නොගනු!

උතුරේ ජනතාව කාකි ඇඳුමට දක්වන්නේ පුදුම බියක් බවත් ඒ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව පෙනෙන්නේ ආක්‍රමණික ස්ත්‍රී දූෂක මිනිමරුවන් පිරිසක් බවත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබූ මතයයි. ඒ අනුව හමුදාව උතුරින් ඉවත් කිරීම, ඉතිරි හමුදාව බැරැක්කවලට සීමා කිරීම, මහජන සබඳතා කටයුතුවලින් ඉවත් කිරීම ආදිය යහපාලන ආණ්ඩුව මහා ප්‍රජා සත්කාර ලෙස සිදු කළේය. ඔවුන් සංහිඳියාව ලෙස දුටුවේ එයයි. 

සුනන්ද දේශප්‍රිය වැනි අයකු කිලිනොච්චියේ දැල්වුණු වෙසක් කූඩුවක් පවා සිංහල බෞද්ධ ආක්‍රමණයක් ලෙස දුටු අතර ඒවා හමුදා කඳවුරුවලට සීමා කළ යුතු බව ප්‍රකාශ කෙරිණි. මේ මතය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවලින් එදා වේල සපයා ගන්නා පිරිස දිවා රෑ නොබලා පෙනී සිටියේය. උතුරේ ජනතාව සමග එතරම් සබඳතා නැති සිංහල ජනතාවට ද මේ අදහස් විශ්වාස කිරීම හැර වෙන විකල්පයක් නොතිබිණි.  

ඔවුන් මාධ්‍ය ඔස්සේ දුටුවේ බුදු පිළිම ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සංවිධානය කරන උද්ඝෝෂණය. උතුරු පළාත් සභාව නාගදීපයේ බුදු පිළිමය තැනීම තහනම් කිරීමය. උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වසා දැමිය යුතු බවට නඟන හඬය. සිංහල ජනතාව නැවත උතුරේ පදිංචි කිරීමට එරෙහි සටන්ය. උතුරට සිංහල රාජ්‍ය නිලධාරීන් පත්කිරීම පවා ඔවුන්ගේ විරෝධයට හේතු විය. 

එහෙත් ඒ සියල්ල දෙමළ සන්ධානය නිර්මාණය කළ නාඩගම් මිස දෙමළ ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න නොවන බව කොටි ත්‍රස්තවාදය පරාජය කර දශකයක් ගත වීමට මත්තෙන් ශ්‍රී ලංකා හමුදාව සනාථ කර තිබේ. පසුගිය දා කිලිනොච්චියේ සේවා කාලය නිමවා පැමිණීමට සුදානම් වූ යාපනය කිලිනොච්චි මුලතිව් අණ දෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මුහුණ දුන් අත්දැකීම් ලෝකයට නිහඬව එහෙත් ගැඹුරු හඬින් කියා පෑවේ ඒ කතාන්දරයයි. 

දෙමළ ජනතාව තමන්ගෙන් සමුගෙන යන හමුදා නිලධාරියා වෙනුවෙන් මෙසේ හඬා වැළපෙනු දැකීමට බෙදුම්වාදී බලවේග හෝ ඊනියා සංහිඳියා මස් වැද්දන් කිසිසේත් කැමති නොවනු ඇත. එහෙත් ඒ ජනතාව තමාගෙන් සමුගන්නා හමුදා නිලධාරියාගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬ වැළපුණේය. වැඳ වැටුණේය. මල් මාලා පැළඳ වූයේය. මල් වරුසා ඉස්සේය. තම කර මතින් වීදි දිගේ ඔසවා ගෙන ගියේය. 

එදා තමන්ගේ නායකයා ප්‍රභාකරන් බවත් දැන් කර්නල්වරයා බවත් කියමින් තමා අතැර නොයන ලෙස ආයාචනා කළේය. තමන්ගේ සතුට අදින් අවසන් බව කියමින් එක කාන්තාවක් මහ හඬින් හඬා වැළපුණාය. කර්නල්වරයාගේ දෑසින් ගලන කඳුලු සඟවාලීමට ඔහු පැළඳ සිටි අව් කණ්ණාඩියට හැකි වුව ද ඔහුගේ හැඟුම්බර ඉරියව් කෙසේ සඟවාලන්නද? මේ සියල්ල දෙස බලා සිටින විට අපට අවබෝධ වන්නේ ඒ අහිංසක දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ද මිත්‍රයා ද අම්මා ද තාත්තා ද ලෙස කටයුතු කර ඇත්තේ මේ කාකි සූට්කාරයා බවය. 

ඒ ජනතාව ත්‍රස්තවාදය නිමා වූ පසු මෙතෙක් කල් ආරක්ෂා කළේ කාගෙන්ද? දකුණේ සිංහල ජනතාවගෙන්ද? නැතහොත් උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්ඩායම්වලින් ද? කර්නල්වරයා සමුගත් විට ඔවුන් අසරණ වනවා යැයි ඔවුන්ට හිතෙන්නේ ඇයි? දෙමළ සන්ධානය මේ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ලෙස කරන රඟපෑම කෙතරම් විහිළුවක්ද? 

දෙමළ ජනතාව නියෝජනය කරන්නේ යැයි පරසක්වළ ගහන කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ කෙතරම් පරතරයක්ද? මේ රටේ පාලකයන් ඊනියා සංහිඳියාවේ නාමයෙන් උතුරේ ජනතාවගේ එකම විශ්වාසනීය ආරක්ෂකයා වන හමුදාව ඉවත් කර ඔවුන් බෙදුම්වාදයට බිලි දෙන්නේ ඇයි? මේ ගැටලුවලට අපට පිළිතුරක් තිබේද? නැත්නම් වහාම පිළිතුරු සොයා ගත යුතුය. 

අප සැබවින්ම සවන් දුන්නේ එදා නන්දිකඩාල් වෙරළේ දී අපේ රජුට ගිහින් කියන්න අපි බේරගන්න කියලා යැයි හඬා වැළපුණු කාන්තාවගේ හඬට නොව ඒ ජනතාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙළන ක්‍රිස්තියානි බළල් අතක් වන දෙමළ සන්ධානයේ බෙදුම්වාදී හඬටය. ඉතිහාසයේ අප කරගත් බරපතළම වරද ලෙස එය නූතන ඉතිහාසය ලියන දිනයක ලොකු අකුරින් සටහන් විය යුතුය.

සිය සිංහල ආරක්ෂක නිලධාරියාගේ මරණය හමුවේ හඬා වැටුණු යාපනේ විනිසුරු ඉලන්චේලියන්, උසාවියේ භික්ෂූන් වහන්සේලාට අසුන් පැනවූ චන්ද්‍රසේකරන් විනිසුරුතුමිය සහ මෙදා කර්නල් රත්නප්‍රිය දෙවියකු ලෙස සලකා බුහුමන් කරන කිලිනොච්චි ජනතාවගේ හෘද සාක්ෂිය සමග අප සිටගත යුතුය. ලෙයින් තෙත් වූ භූමියෙන් මතුව එන සැබෑ ළෙංගතුකමේ පුෂ්පය අප දෝතින්ම වැළඳගත යුතුය.  

දැන්වත් මේ රටේ පාලකයන් උතුරේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳනා ගත යුතුය. ඒ ප්‍රශ්නවලට ඒ ජනතාවට විසඳුම් ලබා දිය යුතුය. ඒ ජනතාව නැවත බෙදුම්වාදයට තල්ලු කර දැමීමට කටයුතු කරන කල්ලි කණ්ඩායම් පරාජය කළ යුතුය. ඒ සඳහා ගත යුතු මූලික පියවරක් තිබේ. ඒ සාමාන්‍ය හමුදා නීතිය මේ ජනතා ඉල්ලීම හමුවේ වෙනස් කරමින් කර්නල් රත්නප්‍රිය නැවත ඒ ජනතාවට ලබා දීම මගිනි. 

සාධාරණ ජනතා අපේක්ෂාවලට ඉහළින් ක්‍රියාත්මක වන නීතියක් තිබිය යුතු නැත. එමගින් අපට උතුරේ ජනතාවට ලබා දිය හැකි ලොකුම පණිවුඩය අප ඔබේ හදවතට අපි ඔබේ හඬට සවන් දීමට සූදානම් බවය. අප සහ ඔබ දෙදෙනකු නොව එක් අයකු බවය. කර්නල්වරයා වසර පහක් තුළ උතුරේ ජනතාව අතර දිනාගත් ආදරය ජීවිත කාලය පුරා ඊළම වෙනුවෙන් පෙනී සිටි වික්‍රමබාහු කරුණාරත්නට හෝ වෙනත් එන්ජීඕකාරයකුට දිනාගත හැකි යැයි අප විශ්වාස කරන්නේ නැත. 



එහෙයින් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ජනාධිපතිවරයා මැදිහත් වී කර්නල්වරයාට උසස් වීමක් ද ලබා දී නැවත උතුරේ ජනතාවට සේවය කිරීමට ඔහුට විශේෂ වරමක් ලබා දිය යුතුය. ඔහු යටතේ තවත් එවැනි නිලධාරි පිරිසක් පුහුණු කළ යුතුය. එය රටේ දිගුකාලීන සාමය ද සැබෑ සංහිඳියාව ද සොයා යන ගමනේ මං සලකුණක් වනු නො අනුමානය.    

Thursday, June 7, 2018

අඹර හිමිගේ කතා වස්තුව

ජනවාරි 8 අපේ රටට යහපාලනය පිරුණු සාධාරණ සමාජයක් දිනාදීමට සටන් බිමේ පෙරමුණේ සටන් කළ අඹර හිමි පිළිබඳ මේ රටේ බහුතර ජනතාව තුළ මෙන්ම මා තුළ ද ඇත්තේ අසීමාන්තික ගෞරවයකි. භක්තියකි. ඒ ගෞරවය කෙතෙක් ද යත් රට්ටු එහිමියන්ගේ දෙමාපියන් පවා නිතර සිහිකරති.
එවැනි පසුබිමක උන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත් එක්තරා මිත්‍යාදෘෂ්⁣ටික පිරිසක් අර්ජුන් ඇලෝෂියස් නම් නීලකාස සොර දෙටුවකුගෙන් අල්ලස් ගත්තේ යැයි බොරු චෝදනාවක් රට පුරා ප්‍රචාරය කර හැරීම පිළිබඳ මුළු රටම කම්පාවට පත් විය.
රට දෙගොඩතලා සංවර්ධනය කළ ආසිරි වැසි නැවතිණි. වෙනදා මෙන් නැගෙනහිරෙන් ඉරු නැඟුණේ නැත. මල් නොපිපීම පර විය. කුරුල්ලෝ සෝ ගී පමණක් ගයන්නට වූහ. පොළෝ මහී කාන්තාව සලිත විය.
මැදමුලනේ මහින්ද නම් පෝරිසාදයකු සමග එකතු වී රටේ මහ බැංකුව කඩා කෙළක් ධනය සොරකම් කළ චෞරයකු සම්බන්ධ කර අසාධාරණය පරදා සාධාරණ සමාජයකක් තැනීමට කැප වූ අඹර හිමියන්ට අපහාස කර විට සොබාදහම පවා කම්පා වීම අසාධාරණ නොවේ.
මහින්ද ඇලෝෂියස් ලවා සොරා ගත් මුදලින් පවුලේ සාමාජිකයන්ට එක ගණනේ හෙලිකොප්ටර් ගත්තේය. ලැම්බෝගිනි ගත්තේය. ඇමරිකාවේ බකිංහැම් මාළිගාවෙන් රත්තරන් අස්පයන් ගත්තේය. ඉතිරි ඩොලර් බිලියන 18 පිටරට බැංකුවක තැන්පත් කර අැත. මෑතක ඇලෝෂියස් පාර්ලිමේන්තු මැති ඇමතිලා ඇතුළු 118 දෙනෙකුට බෙදා දී තිබුණේ ඔහුට ලැබුණු සුළු මුදලින් කොටසකි.
මෙවැනි අපරාධකාරයන් සමග සාධාරණ සමාජයක් තැනීමට කැපවූ අප හිමියන් සබඳතා නොපවත්වන බව රට්ටුන්ට මෙන්ම මට ද ගූගල් බැලුම් මෙන් විශ්වාසය. කෙසේ වුවද මේ අවලාද මුසාවාද වරුසාවට මගේ අප්‍රසාදය සහ කනගාටුව පළ කිරීමට සිතූ මම උන් වහන්සේ ⁣බැහැදැකීමට පන්සලට ගියෙමි.
පන්සලේ මකර තොරණ යටින් වැටුණු සුදු වැලි පාරේ ඉදිරියට ඇදුණු මට අරලිය ගසක් යට භාවනාවේ නිමග්න අඹර හිමියන් ඈතදීම දැකගත හැකිවිය. සෙමෙන් ඒ අසලට ගිය මට "සාධාරණ සමාජයක් වේවා" "සාධාරණ සමාජයක් වේවා" යැයි උන් වහන්සේ මුමුණන හඬ ඇසෙයි. මෙවන් මහා ගුණැති අප හිමියන්ට නැඟෙන අවලාද සිහිවී සිතට නැඟුණු වේදනාව සමනය කරගත්තේ බුදුන්ට චිංචි මානවිකාව යොදා ගෙන නැඟූ අවලාද සිහි කිරීමෙනි.

අඹර හිමි අඩ හෝරාවකට පමණ පසු සාධාරණුස්‍රති භාවණවෙන් මිදුණු විට ඉදිරියට ගිය මම උන් වහන්සේගේ දෙපා නමැද එකත්පස් වීමි.
'අපේ මහත්තයා හදිසියේම පන්සලට ආවේ මං ගැන රට්ටු කියන දේවල් නිසා කියලා මම දන්නවා.' හිමියෝ මගේ සිත කියවන්නට වූහ.
'එහෙයි, හාන්දුවනේ, නීලකාස හොරෙකුගෙන් සල්ලි ගත්තා කියලා බොරු කියන එවුන් මොන අපායක යයිද කියලා මං මේ කල්පනා කළේ.'
'නෑ අපේ මහත්තයෝ ඒ කතාව බොරුවක් නෙමේ.'
'මොනවා, ඔබ වහන්සෙත් ඒ බොරු විශ්වාස කරනවාද? ගොබෙල්ස් න්‍යාය මේ තරම් බලවත් කියලා මං නම් කවදාවත් හිතුවේ නෑ අපේ හාන්දුවනේ..'
'නෑ නෑ මහත්තයෝ, මාව විශ්වාස කරන්න. මම ඇලෝෂියස් කියන ඇත්තාගෙන් මූල්‍යමය පරිත්‍යාගයක් ඉවසා වැදෑරු බව ඇත්ත. ඒත් මම ඒක ක⁣ළේ යහපත් අරමුණින්. ක්‍රියාව නෙමේ අරමුණයි වැදගත්. එහෙමයි බණේ තියෙන්නේ.'
'හොරෙක් දෙන සල්ලි ඉවසා වදාරන්න පුළුවන් ද හාමුදුරුවනේ යහපත් අරමුණින්. බුදු හාමුදුරුවෝ සල්ලි සර්පයකුට නේද උපමා කළේ? ' වියවුලට පත් මම ඇසීමි.
'මුලදි චණ්ඩා⁣ශෝක කියලා අඳුන්නපු අයෙක් තමයි පස්සේ ආසියාවේ බෞද්ධ සමාජයක් හදන්න ආධාර කළේ මහත්තයෝ. ඉතින් ඇලෝෂියස් ඇත්තාට මෙදා සාධාරණ සමාජයක් හදන්න උදව් වෙන්න බැරිද? අංගුලිමාල කියන මිනිමරුවා පස්සේ අංගුලිමාල මහ රහතන් වහන්සේ වුණු බව අමතක කරන්න එපා අපේ මහත්තයෝ. අනෙක බුදු හාමුදුරුවෝ සර්පයාට උපමා කළේ ඉන්දියානු රුපියල් මිස ලංකා රුපියල් හරි ඩොලර් හරි නෙමේ.' මගේ අඳුරු සිත දහමින් ආලෝකවත් කරමින් හිමියන් දෙසූහ.
අඹර හිමියන් කෙරෙහි තවත් පැහැදුණු මම දොහොත් මුදුන් දී 'ආලෝකෝ උදපාදී!' යැයි මහ හඬින් කියා 'සාදු සාදු සාදු' යැයි තෙවරක් තෙපලා උන් වහන්සේ පාමුල වැඳ වැටුණෙමි.
 
සිය රට දේ සිරි සැප දේ !