ඉන්දියාවේ තිස් වන ප්‍රාන්තය බවට පත්වූ පසු අපේ රටට අපේ ම ජාතික ගීයක් කුමට ද? රට ජනතාව පරමාධිපත්‍යයට අනුව නොව විදෙස් රට ඕනෑ එපාකම් අනුව පාලනය වේ නම් ඒ වහල් දේශයට ජාතික ගීයක් කුමට ද? රට දැය වහල්භාවයේ දීනභාවයේ කරවටක් ගිල්වා ගයන්නේ කවර රටක අභිමාණයක් ගැන ද?
1815 සිට 1948 වන තුරු හිරු හිරු නොබසින අධිරාජ්‍යයේ සුවච කීකරු බලු කුක්කන් වූ අප එංගලන්ත කතිර කොඩිය ඔසවා, ඔවුන්ගේ ජාතික ගීය වන "God save the Queen" උජාරුවෙන් ගැයුවෙමු. අපි අපේ සිංහලකම අමතක කර සුද්දන් ලෙස ජීවත් වූයෙමු. ඊට එරෙහිව ජාතිය අවදි කළ ධර්මපාලතුමා ඉන්දියාවට පළවා හැරියෙමු. මේ රටේ සේසත හුරාගෙන එංගලන්තයට පැටවීමට තැනූ රේල් පාර ගැන අපි ආඩම්බර වෙමු.
ඉතිහාසය පුරා මේ රටේ ස්වාධීන්තවයට එරෙහිව කුමන්ත්‍රණය කළ භාරතය හෙවත් නූතන ඉන්දියාව නැවත එක් කුමන්ත්‍රණයක් සාර්ථක කර ගෙන තිබේ. අශෝක රජු, මිහිඳු හිමි ආදී භාරතීයයන් කිහිප දෙනෙකු හැරුණු විට සියලු එහි නායකකාරකාදී බමුණෝ අපගේ විනාශය ම පැතුවාහු වෙති. එහි ප්‍රතිඵලය ලෙස දැන් මේ රට නැවත යටත්විජිත යුගයකට රැගෙන විත් තිබේ.
දැන් අපි වැසිකිලි පහසුකම් පවා නැති ඉන්දියානුවන් දුම්රියේ පෙට්ටි මත ද නැඟ ගමන් කරන අතර අපට ඉන්දීය රජයෙන් ආධාර ලෙස ලැබුණු රේල් පාර ගැන ආඩම්බර වෙමු. මහාවංසය බැද්දට විසි කර මහා භාරතය, රාමායනය නිතර කියවා භාරතීය අභිමාණයෙන් හදවත පුරවා ගනිමු! ඒ අභිමාණයෙන් සිත පුරවා ගෙන සුවච කීකරු බලු කුක්කන් ලෙස "ජන ගන මන අධිනායක ජන හේ" ගායනා කරමු.
එතෙක් පැරණි ජාතික ගීය අටුවට දමා තබමු! නැවත රටේ ස්වාධීනත්වය දිනාගත් දවසක කැවුම් කිරි බත් කා අභිමාණයෙන් අපි "ශ්‍රී ලංකා මාතා, නමෝ නමෝ මාතා" ගයමු!
ජය හේ! ජය හේ! ජය හේ!
Sunday, March 22, 2015
ජාතික ගීය දෙමළෙන්! බෙදුම්වාදය තව පියවරක් ඉදිරියට තබයි!
දින 100 වැඩසටහනට අනුව අදට යෙදී ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමයි. එහෙත් අද ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දී තිබේ. එය ඇතැම් විට ඊනියා ඖෂධ ප්‍රතිපත්තියේ කොටසක් විය හැකි ය. මේ යහ පාලන ව්‍යාධිය ඉන්දියාවට බෝ වුවහොත් එරට භාෂා 415න් පමණ ජාතික ගීය ගැයීමට සිදුවනු ඇත. දෙමළ දේශය හෙවත් තමිල්නාඩුව පිහිටි රටේවත් දෙමළ බසින් ජාතික ගීය ගැයීමට අවසර නැත. ඔවුහු එක් භාෂාවකින් ජාතික ගීය ගයති. වෙන්ව යෑමට නොව එක්ව සීටීමට එය භාවිත කරති.
අප මෙහිදී අවධාරණය කළ යුත්තේ දෙමළ භාෂාව කෙරෙහි අප තුළ කිසිදු අකමැත්තක් නැති බව සහ එය බෙදුම්වාදය පෝෂණය කිරීමට යොදා ගැනීමට පමණක් විරුද්ධ වන බව ය. මේ රටේ අවාසනාව නම් වසර 600ට පසු එක්සේසත් කළ රට වසර 5ක් ගෙවුණු තැන නැවත දීන නායකත්වයක් යටතේ බෙදුම්වාදය කරා ඇද ගෙන යාමය. මේ ගමන වහා නතර නොකළ හොත් සුද්දියක් අත් මේස් නැතිව අතට අත දීම පිළිබඳ උදම් අනන දීන නිවට නායකත්වය උතුරට ස්වයං පාලනය දී ඊළම පිහිටුවනු ඇත. යහ පාලනය බලයට පැමිණි විගස කොත්තමල්ලි මිල අඩුු කළේ අනාගත වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟෙන විට ජාතියට උණ ගන්නා බව කලින් ම තේරුම් ගෙන බව දැන් නම් හොඳට ම පැහැදිලි ය.
Tuesday, March 10, 2015
රූපමය අවවාද යථාර්ථවාදී ද?
පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා සිගරට් පෙට්ටිවල 80%ක් වැසෙන සේ රූපමය අවවාද ඇතුළත් කිරීම සඳහා බොහෝ උනන්දුවෙන් කටයුතු කළේ ය. කෙසේ වුව ද එම රූපමය අවවාද 60%ක් දක්වා අඩු කොට ඇතුළත් කිරීමට කටයුතු කරන බව පැවසුව ද එය එසේ සිදු නොවිණි. ඒ සඳහා රජයේ සහාය තමන්ට සහාය නොලැබුණු මෛත්‍රීපාල මහතා කීවේ ය. ඒ පිළිබඳ එකල මම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය විවේචනය කළෙමි.
දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්ව 80%ක් රූපමය අවවාද සහිත බව පැවසෙන සිගරට් පැකට්ටුව පෙබරවාරි 02 වන දා වන විට වෙළඳපොළට නිකුත් කර ඇත. මම මේ පිළිබඳ මීට පෙර සඳහන් කළේ එම රූපමය අවවාද සැබවින් දුම්බීම අධෛර්යමත් කෙරෙන ඒ නිසා හට ගන්නා පිළිකා, හෘදයාබාධවල භයානක බව පසක් කරන රූප මෙම අවවාදවලට ඇතුළත් කළ යුතු බව ය. එසේ ම තරු පන්තියේ හෝටලයක් බඳු කාමරයක සියලු වෛද්‍යධාර සහිතව ඇඳක වැතිර සිටින රැවටිලිකාර රූපයක් ඊට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළෙමි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක් ද?
දුම්කොළ සමාගම හුදු නීතියෙන් රිංගා යෑම ඇතුළත් කරනු ලබන, මා ඇතුළත් නො කළ යුතු බවට යෝජනා කළ වර්ගයේ රූපමය අවවාදයක් ඇතුළත් කර තිබීම පමණි. රටේ ජනාධිපතිවරයා සැබවින් ම දුම්පානයට විරුද්ධ නම් සමාගම්කාරයින්ගේ ව්‍යාජ මායාම්වලට හසු නො වී නිසි රූපමය අවවාද ඇතුළක් කළ යුතු ය. එමෙන් ම එම රූපමය අවවාද පැකට්ටුවෙන් 80%ක් නොව 50%කට වඩා විශාල නොවන බව ද එම රූපමය අවවාද සඳහා වෙන් කළ යුතු ඉඩෙන් විශාල ප්‍රමාණයක් "දුම්බීම හෘද රෝග ඇති කරවයි" යන වාක්‍යය භාෂා තුනෙන් මුද්‍රණය කර ඇති බව ද පැවසිය යුතුම ය.
එමෙන් ම මේ රූපමය අවවාද ඔස්සේ යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් රටේ සිගරට් පෙට්ටි පමණක් අලෙවි කළ හැකි වන පරිදි නව නීති ඇති කළ යුතු අතර බීඩි, සුරුට්ටු වැනි සිගරට්වලට ද වඩා භයානක දුම්වැටි වහා තහනම් කළ යුතු ය. සිගරට් පානය කරන පිරිසෙන් 60-70%ක් පමණ වරකට මිල දී ගන්නේ සිගරට් පෙට්ටි නොව සිගරට් එකක් හෝ කිහිපයකි. මේ නිසා ඉන්දියාව වැනි රටවල සිගරට් පෙට්ටි මිස එක දෙක විකිණීම නීතියෙන් තහනම් කර තිබේ. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇතැයි සිතමි. එසේ නැතහොත් ඉතා ම වැදගත් කටයුත්ත ද දින සියයේ තවත් එක් විහිළුවක් බවට පත්වීම නො වැළැක්විය හැකි ය.
Subscribe to:
Posts (Atom)

