Tuesday, March 10, 2015

රූපමය අවවාද යථාර්ථවාදී ද?

පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා සිගරට් පෙට්ටිවල 80%ක් වැසෙන සේ රූපමය අවවාද ඇතුළත් කිරීම සඳහා බොහෝ උනන්දුවෙන් කටයුතු කළේ ය. කෙසේ වුව ද එම රූපමය අවවාද 60%ක් දක්වා අඩු කොට ඇතුළත් කිරීමට කටයුතු කරන බව පැවසුව ද එය එසේ සිදු නොවිණි. ඒ සඳහා රජයේ සහාය තමන්ට සහාය නොලැබුණු මෛත්‍රීපාල මහතා කීවේ ය. ඒ පිළිබඳ එකල මම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය විවේචනය කළෙමි.

දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්ව 80%ක් රූපමය අවවාද සහිත බව පැවසෙන සිගරට් පැකට්ටුව පෙබරවාරි 02 වන දා වන විට වෙළඳපොළට නිකුත් කර ඇත. මම මේ පිළිබඳ මීට පෙර සඳහන් කළේ එම රූපමය අවවාද සැබවින් දුම්බීම අධෛර්යමත් කෙරෙන ඒ නිසා හට ගන්නා පිළිකා, හෘදයාබාධවල භයානක බව පසක් කරන රූප මෙම අවවාදවලට ඇතුළත් කළ යුතු බව ය. එසේ ම තරු පන්තියේ හෝටලයක් බඳු කාමරයක සියලු වෛද්‍යධාර සහිතව ඇඳක වැතිර සිටින රැවටිලිකාර රූපයක් ඊට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළෙමි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක් ද?

දුම්කොළ සමාගම හුදු නීතියෙන් රිංගා යෑම ඇතුළත් කරනු ලබන, මා ඇතුළත් නො කළ යුතු බවට යෝජනා කළ වර්ගයේ රූපමය අවවාදයක් ඇතුළත් කර තිබීම පමණි. රටේ ජනාධිපතිවරයා සැබවින් ම දුම්පානයට විරුද්ධ නම් සමාගම්කාරයින්ගේ ව්‍යාජ මායාම්වලට හසු නො වී නිසි රූපමය අවවාද ඇතුළක් කළ යුතු ය. එමෙන් ම එම රූපමය අවවාද පැකට්ටුවෙන් 80%ක් නොව 50%කට වඩා විශාල නොවන බව ද එම රූපමය අවවාද සඳහා වෙන් කළ යුතු ඉඩෙන් විශාල ප්‍රමාණයක් "දුම්බීම හෘද රෝග ඇති කරවයි" යන වාක්‍යය භාෂා තුනෙන් මුද්‍රණය කර ඇති බව ද පැවසිය යුතුම ය. 

එමෙන් ම මේ රූපමය අවවාද ඔස්සේ යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් රටේ සිගරට් පෙට්ටි පමණක් අලෙවි කළ හැකි වන පරිදි නව නීති ඇති කළ යුතු අතර බීඩි, සුරුට්ටු වැනි සිගරට්වලට ද වඩා භයානක දුම්වැටි වහා තහනම් කළ යුතු ය. සිගරට් පානය කරන පිරිසෙන් 60-70%ක් පමණ වරකට මිල දී ගන්නේ සිගරට් පෙට්ටි නොව සිගරට් එකක් හෝ කිහිපයකි. මේ නිසා ඉන්දියාව වැනි රටවල සිගරට් පෙට්ටි මිස එක දෙක විකිණීම නීතියෙන් තහනම් කර තිබේ. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇතැයි සිතමි. එසේ නැතහොත් ඉතා ම වැදගත් කටයුත්ත ද දින සියයේ තවත් එක් විහිළුවක් බවට පත්වීම නො වැළැක්විය හැකි ය.
   

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !