Sunday, March 22, 2015

අපි දැන් ඉන්දීය ජාතික ගීය ගයමු!!!

ඉන්දියාවේ තිස් වන ප්‍රාන්තය බවට පත්වූ පසු අපේ රටට අපේ ම ජාතික ගීයක් කුමට ද? රට ජනතාව පරමාධිපත්‍යයට අනුව නොව විදෙස් රට ඕනෑ එපාකම් අනුව පාලනය වේ නම් ඒ වහල් දේශයට ජාතික ගීයක් කුමට ද? රට දැය වහල්භාවයේ දීනභාවයේ කරවටක් ගිල්වා ගයන්නේ කවර රටක අභිමාණයක් ගැන ද?
1815 සිට 1948 වන තුරු හිරු හිරු නොබසින අධිරාජ්‍යයේ සුවච කීකරු බලු කුක්කන් වූ අප එංගලන්ත කතිර කොඩිය ඔසවා, ඔවුන්ගේ ජාතික ගීය වන "God save the Queen" උජාරුවෙන් ගැයුවෙමු. අපි අපේ සිංහලකම අමතක කර සුද්දන් ලෙස ජීවත් වූයෙමු. ඊට එරෙහිව ජාතිය අවදි කළ ධර්මපාලතුමා ඉන්දියාවට පළවා හැරියෙමු. මේ රටේ සේසත හුරාගෙන එංගලන්තයට පැටවීමට තැනූ රේල් පාර ගැන අපි ආඩම්බර වෙමු.
ඉතිහාසය පුරා මේ රටේ ස්වාධීන්තවයට එරෙහිව කුමන්ත්‍රණය කළ භාරතය හෙවත් නූතන ඉන්දියාව නැවත එක් කුමන්ත්‍රණයක් සාර්ථක කර ගෙන තිබේ. අශෝක රජු, මිහිඳු හිමි ආදී භාරතීයයන් කිහිප දෙනෙකු හැරුණු විට සියලු එහි නායකකාරකාදී බමුණෝ අපගේ විනාශය ම පැතුවාහු වෙති. එහි ප්‍රතිඵලය ලෙස දැන් මේ රට නැවත යටත්විජිත යුගයකට රැගෙන විත් තිබේ.
දැන් අපි වැසිකිලි පහසුකම් පවා නැති ඉන්දියානුවන් දුම්රියේ පෙට්ටි මත ද නැඟ ගමන් කරන අතර අපට ඉන්දීය රජයෙන් ආධාර ලෙස ලැබුණු රේල් පාර ගැන ආඩම්බර වෙමු. මහාවංසය බැද්දට විසි කර මහා භාරතය, රාමායනය නිතර කියවා භාරතීය අභිමාණයෙන් හදවත පුරවා ගනිමු! ඒ අභිමාණයෙන් සිත පුරවා ගෙන සුවච කීකරු බලු කුක්කන් ලෙස "ජන ගන මන අධිනායක ජන හේ" ගායනා කරමු.
එතෙක් පැරණි ජාතික ගීය අටුවට දමා තබමු! නැවත රටේ ස්වාධීනත්වය දිනාගත් දවසක කැවුම් කිරි බත් කා අභිමාණයෙන් අපි "ශ්‍රී ලංකා මාතා, නමෝ නමෝ මාතා" ගයමු!
ජය හේ! ජය හේ! ජය හේ!

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !