Thursday, July 15, 2010

මෙදා කැබිනට්ටුව මැදවච්චියේ රැස්වෙයි

තිස් වසරක් කොටි ග්‍රහණයේ පැවති උතුරු නැගෙනහිර ඊනියා දෙමළ රාජ්‍යයේ අගනුවර ලෙස හැඳින්වූයේ කිලිනොච්චියයි. කොටි වනසා වසරක් ගෙවුණු තැන, කිලිනොච්චිය හෙවත් ඊනියා කොටි අගනුවර ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලංකා රජයේ කැබිනට් මණ්ඩලය රැස්වීම අතිශය වැදගත් පණිවිඩ ගණනාවක් ලොවට ලබාදෙයි.

එකක් මේ රටින් සහමුලින් ම ත්‍රස්තවාදය අතුගා දමා අවසන් බව එනම් මේ වන විට සමස්ත රටේ ම ආරක්ෂාව තහවුරු කර ඇති බව පළමුවැන්න ය. මේ නිසා සංචාරකයින්ට, ආයෝජකයින්ට කිසිදු චකිතයකින් තොරව රටට පැමිණිය හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වී ඇත යන පුවත ලෝකයට යයි.

රටින් පිට සිට තවත් කොටි කල්ලි කිහිපයක් කටින් බතල කොල හිටෙව්ව ද උන්ට කළ හැකි ඉටි ගෙඩියක් නැත යන පණිවිඩය අනෙක ය. තම මුදලට කිසිදා වෙන ම රාජ්‍යයක් හිමි නොවන බවේ කටුක යථාර්ථයට ‍ඊළාම්වාදීන්ට කෙමෙන් අත්විඳින්නට සිදු වන ඇත. එහෙයින් තව දුරටත් ඊළාම් රාජ්‍ය විකුණමින් දෙමළ ජනතාවගෙන් මුදල් ගැරීම අපහසු වනු ඇත. සියලු ජනතාව සමග සාමුහිකව ජීවත්වීමේ විකල්පය වෙත යාමට ඊළාම්වාදීන්ට සිදුවනු ඇත. බටහිර රටවල ඇතැම් දේශපාලකයින්ට ඊළමේ පිහිටින් පාර්ලිමේන්තු යාම ද තවදුරටත් පහසු නොවනු ඇත.

මේ ආකාරයට ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර ම මධ්‍යම ආණ්ඩුවේ බලය පැතිර ඇති බව සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීම ඔස්සේ වසර තිහක් තිස්සේ ඊළම සිහිනවලින් මොළ සේදීමට ලක් කළ පිරිසට ද ක්‍රමයෙන් පියවී ලෝකය වෙත පිය නගන්නට අවස්ථාව උදාවනු ඇත. එහෙත් මේ යථාර්ථය පිළිනොගෙන ඊට එරෙහිව ක්‍රියාකිරීමට ද පිරිසක් සිටිනු ඇත. ඒ අය නම් ඊළම වෙනුවෙන් පෙනී සිටි මෙරට සහ පිටරට ඇතැම් කොටස් ය. යුද්ධයට අකුල් හෙළමින් කොටි රැක ගන්නට වළි කෑ පිරිස ය. ඔවුන් මේ අවස්ථාවේ කිලිනොච්චියේ කැබිනට් රැස්වීම පැවැත්වීම හෑල්ලුවට ලක් කිරීම අනීවාර්ය වෙයි.

අද වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලන මාවතේ පාද තබන, කුප්‍රකට NGOකාරයෙක් වන ජේ.සී. වැලිඅමුණගෙන් බණ අහන ජවිපෙ අනුර කුමාර පැවසුයේ, 'අපට වැදගත් කැබිනට් මණ්ඩලය රැස්වන තැන නොව ගන්නා තීරණ' බව ය. එය ඇත්ත ය. එහෙත් එය එසේ වූ පමණින් කිලිනොච්චියේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් ලෝකයට ලබා දෙන පණිවිඩය නොතකා හළ හැකි ද? ගන්නා තීරණ මිස තීරණ ගන්නා තැන වැදගත් නොවේ නම් 'මහ ගෙදර' නමින් සුවිසල් පක්ෂ මුලස්ථානයක් සිය පක්ෂය තනන්නේ කුමටදැයි අනුර කුමාර කීවේ නැත. මහා පක්ෂයක් බවට අතු ඉති ලා වැඩෙමින් පැවති ජවිපෙ වඳ ‍කොට, විනාශ කළ රොත්ත අද ගන්නා තීන්දු උන්ගේ වළ උන් ම හාරා ගැනීමකට එහා නොගිය ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් තීරණ ගැනීමට දැවැන්ත මන්දිරයක් උවමනා ද? උක්ත ප්‍රකාශය ද ජවිපෙ දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශ කරන කුහක දෙඩවිල්ලක් ම පමණි.

තවත් ඊළාම් වෙබ් අඩවියක් වන ලංකා ඉනිව්ස් පැවසුවේ මෙදා කැබිනට් මණ්ඩලය කිලිකොච්චි කොටි සාම මහ ලේකම් කාර්යාලයේ පැවැත් වූ බවයි. එම ගොඩනැගිලි සංකීර්ණය අද නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වන අතර එදා වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් විය. එහෙත් කොටි ග්‍රහණයේ පැවති සමයේ එය උන්ගේ මළ ඉලව් කාර්යාලයක් ලෙස භාවිත කෙරිණි. ඒ ඉතිහාසය දැන දැන ම වසන් කිරීමෙන් ඉනිව්ස් උත්සාහ කරන්නේ, මේ භූමිය ඈත අතීතයේ සිට කොටි පාලනය කළා වැනි හැඟුමක් දැනවීමට ය. එවන් අදහස් නොවිණි නම් ඔවුන් කිව යුතු ව තිබුණේ මෙදා කැබිනට් රැස්වීම කිලිකොච්චියේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති බව ය.

විම්ල් වීරවංශ ගෙන ගිය උපවාසය නිසා, සමස්ත රටේ ම අවධානය බෑන් කි මූන්ගේ කොටි කමිටුව වෙත යොමු වීම ද මෙරට ලොව පුරා සිටින දේශප්‍රේමින් එම කොටි කමිටුවට එරෙහිව නැගී සිටිම ද සිදුවන පසුබිමක කිලිකොච්චියේ කැබිනම් මණ්ඩලය රැස්වීම ද්‍රෝහීන්ට කෙසේ වුව ද මේ රටට ලැදිවුන්ගේ අමන්දානන්දයට හේතු වූ බව කිව යුතු ය. දුකට පත් වුව ද 'ආණ්ඩුව බොරු කියන්නේ, කිලිනොච්චියේ කියලා කැබිනට් මණ්ඩලය මැදවච්චියේ පැවැත්වූයේ' යැයි කීමට කිසිවෙක් අද ඉදිරිපත් නොවේ.




Thursday, July 8, 2010

මරණය නම් නිවටකමයි

ගිය වසරේ මැයි මස ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මොහොත වන විට සමස්ත රට දෙකඩ බෙදී තිබිණි. එක් පැත්තක ලංකා රජය, ලක් හමුදාව, දේශමාමක බලවේග, රටේ අති බහුතර ජනතාව සහ අපේ ඇතැම් මිත්‍ර රටවල් විය. අනෙක් පස කොටි සහ කොටි මිතුරු හවුල විය. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල්, එක්සත් ජාතීන්, ටීඑන්ඒ, රනිල්, රවි, කිරිඇල්ල ප්‍රමුඛ එජාපය, ලංකා ඉනිව්ස් වැනි වෙබ් අඩවි, සුනන්ද ද්වේශප්‍රිය ආදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරික පිරිස අනෙක් පස විය.

ඉන් වසරක් ගෙවී ගිය තැන තිස් වසරක යුද්ධය නිමා කර රටට සාමය දිනාදුන් දේශපාලන සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර දං ගෙඩියට දක්කාගෙන යාමට එක්සක් ජාතීන් යැයි හැදින්වෙන ඇමරිකානු බළල් අත පිඹුරු පත් සකසයි. මේ ලෝක මිනිමරුවා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දමා අපේ රටේ අතීතයේ සිදුවූ මානව අයිතීන් කඩවීම් සෙවීමට එයි. එසේ එන අතරමග ද අර දෙරටේ මිනිසුන් මරා දමයි. පලස්තීන ජනතාව එලිමහන් සිරගෙයක ලා සිටින ඊශ්‍රායලයට ආශීර්වාද කරයි. මේ කවර නාටකයක් ද? ගණිකාවක් කාන්තාවකගේ පතිවත සෙවීමක් නොවෙද?

අප වරදක් නොකළා නම් පර්යේෂණවලට බිය ඇයිදැයි ඇතැම්හු අපෙන් අසති. එහෙත් වරදක් නොකළ අප පරික්ෂා කිරීමට වැරදි කළ සහ තවමත් කරන අයෙකුට ඇත්තේ කවර අයිතියක් දැයි ඔවුහු නො අසති. එම ඊනියා පර්යේෂණ කමිටුව පිළිගැනීම ම අප වරදක් කළා යැයි පිළිගැනීමක් බව නොසිතති. මේ යෝජනාව මීට පෙර එක්සත් ජාතීන්ගේ බහුතර ඡන්දයෙන් දෙවරක් පරාජය වූ යෝජනාවක් නොසිතති. මෙවන් කමිටු පත් කිරීමට බෑන් කි මූන්ට කිසිදු බලයක් නැති බවනොසිතති. මේ කමිටුවේ අනීවාර්ය උපදේශය ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම පර්යේෂණ මණ්ඩලයක් පත් කරන්න යන නිර්දේශය බව මොවුන්ට නොපෙනේ.

කෙසේ වුව ද මෙදා ඊනියා කමිටුවට සුජාතභාවයක් දෙන්නට පෙළ ගැසී සිටින්නන් ද බොරු විරෝධතා පා ඊට ආශීර්වාද කරන්නන් ද යුද සමයේ ද ක්‍රියා කළේ මෙසේ ම බැව් කිව මනා නොවේ. එකල පවා විපක්ෂයේ සිටි සජිත් පේමදාස වැනි සැබෑ දේශප්‍රේමීහු අදත් රට වෙනුවෙන් පෙනී සිටිති. එදා යුද්ධය වෙනුවෙන් මුළු රටක් ජනතාවත් අවදි කළ විමල් වීරවංශ මෙදා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මව්බිමේ අභිමාණය වෙනුවෙන් මාරාන්තික උපවාසයකට පිවිස සිටියි. එවන් කොන්දක් ඇති එකෙකු හෝ මෙරට පාර්ලිමේන්තුවේ සිටීම ගැන අපි ආඩම්බර වන්නෙමු.

බටහිර ආක්‍රමණිකයා ඉදිරියේ දණ නොනැමූ අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයෙන් උපන් අපි, ලොව දරුණුම ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගැසූ අපි, දැයේ අභිමාණය වෙනුවෙන් දිවිදුන් පුරන් අප්පු, මද්දුම බණ්ඩාර පරපුරෙන් පැවත එන අපි, හසලක වීර ගාමිණි වැනි වීරයින් විරුවන් උපන් බිමේ හුස්ම ගන්නා අපි, මේ ඊනියා ජාත්‍යන්තර කමිටුවලට ඉඩදිය යුතු නැත. ඊට විරුද්ධව පෙළ ගැසිය යුතු ය. අපට නිදහස දිනා දුන් අපේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. අපේ ජාතියේ අභිමාණයට නිගා නොකළ යුතු ය. පරයින්ගේ වහලුන් ලෙස නිවටව පරගැතිව සිය වසක් ජීවත් වනවාට වඩා අදීන මිනිසෙක් ලෙස මිය යාම අභිමාණයකි. එහෙයිනි මව් බිමේ අභිමාණය, ප්‍රෞඩත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ.

අපේ රට තවත් ඉරාකයක් වන්නට ඉඩ දිය යුතු නැත. ඊළඟ සදාම් හුසේන් මෙරටින් බිහි වන්නට ඉඩ දිය යුතු නැත. අපි අද අභිමාණයෙන් ජීවත් වන්නේ එදා අපේ මුතුන් මිත්තන් දිවිපුදා මේ රට රැකගත් නිසා ය. මාතෘභූමියේ ආරක්ෂාව චිරස්ථිතිය වෙනුවෙන් සතුරා ඉල්ලා සිටින්නේ මහා රුධිර ගංගාවක් නම් අප ඒ සඳහා සුදානම් විය යුතු ය. මව්බිම වෙනුවෙන් දිවිදුන්නෝ කිසිදා නොමැරෙති. නිවටකම පරාධීනත්වය නම් මරණය මැයි.

ලංකාව ඉරාකයක් නොවන්නට නම්!

ඉරාකයේ පරමාණු අවි ඇතැයි කියා ඒ රට ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීම කළේ ඇමරිකාව විසිනි. ඊට පසු 2002 ඉරාකය ආක්‍රමණය කළ අතර මෙතෙක් පරමාණු අවි සොයා ගෙන නැත. එහෙත් අභිමාණවත් ශිෂ්ටාචාරයක් ලොවට අහිමි විය. ලක්ෂ 6ට වඩා ජනතාවක් මරා දැමිණි. සදාම් හුසේන් එල්ලා මරා දැමුවේ ය. අද රටේ බෝම්බයක් නො පිපිරෙන දවසක් නැත. මුළු රට ම විශාලා මහ නුවරකි. තැන තැන ළතෝනි ය. කෙඳිරිලි ය. රතු ලේ ය. මර හඩ ය. මළ කඳන් ය. මිනි ගඳ කුණු ගඳ ය. එහෙත් ලේ දහරා මැදින් ඇමරිකාවට නිදහසේ තෙල් ගලා යයි. කිසිවෙකුට අත නොපා ජීවත් වූ ජාතියක් අද අසරණ වී සිටියි.

හෙට දින තවත් ඉරාකයක් දකුණු ආසියාවෙන් බිහි වන ලකුණු දැන් කෙමෙන් පහළ වෙයි. ත්‍රස්තවාදය මර්දනය කළ මෙහෙයුම සමයේ සිදු වූ මානව අයිතීන් කඩවීම පිළිබඳ සෙවීමට පත් කළ බෑන් කී මූන්ගේ කමිටුව සනිටුහන් කළේ එහි ආරම්භයයි. දෙපාර්ශවය ගැන ම මේ ඊනියා කමිටුව සොයන බව කීව ද අද ඇත්තේ එක් පාර්ශවයක් පමණි. සන්නද්ධ කොටි ප්‍රධානීහු අද මෙලොව නැත. එහෙයින් ඒ ගැන සොයා පලක් නැත. දඬුවම් දීමට ද කෙනෙක් නැත. එහෙයින් මේ කමිටුව පත් කළේ ලංකාවේ සේනාධිනායක, හමුදා ප්‍රධානීන් ඇතුලු ආරක්ෂක හමුදාව දං ගෙඩියට යැවීම පිණිස පැහැදිළි ය. එහි අර්ථය මේ කමිටුව අපේ රටට විරුද්ධව පත් කළ කමිටුවක් බව ය.

එය පත් කළේ ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ ඉටහිර රටවල් විසිනි. බෑන් කී මූන් යනු ඔවුන් අත නැටවෙන පඹයෙක් පමණි. එක්සත් ජාතීන් යනු අද ක්‍රියාත්මක තලයේ බටහිර අධිරාජ්‍යවාදය අරමුණු සපුරන ආයතනයකි. (සඳරුවන් සේනාධීර මහතාගේ 7 ශ්‍රේණීයේ පොතේ මේසේ සඳහන් නොවේ.)

මේ කමිටුව තව සිව් මසකින් ප්‍රකාශ කරන වාර්තාව වන්නේ යුද සමයේ ලංකාවේ මනාව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ය. අතිඋතුම් ජෙනරාල්තුමාගේ සුදු කොඩි කතාව ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් වනු ඇත. මේසේ ලංකාව යුද්ධය දිනුවේ මානව හිමිකම් උල්ලංඝනය කර බව, අද වන විට ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දැමූ ඇමරිකා-එංගලන්ත අළුගෝසුවන් දෙදෙනා ලෝකයට පවසනු ඇත.

එසේ අපේ ර ලද යුද ජයග්‍රහණයේ අභිමාණය විනාශ කරන අතර අපේ රටට විවිධ සම්බාධක පනවමින්, ශවේන්ද්‍ර සිල්වා ඇතුලු රණ විරුවන් නඩු ඇසීමට තමන් වෙත භාර දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනු ඇත. එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන කල අපේ රට ලෝක සාමයට තර්ජනයකැයි පවසා ආක්‍රමණය කිරීම සඳහා සුදුසු දේශපාලන වටපිටාවක් සකසා දීමට CNN, BBC වැනි ආයතන ක්‍රියා කරනු ඇත.

ඒ මාධ්‍ය මෝහණය කිරීම් මැද සිය හමුදාව මෙරටට ගොඩ බැස්සවීමට ඇමරිකාවට හැකි ය. ලංකා හමුදාව සමග ඇවිලෙන යුද්ධය සෙසු බටහිර රටවල ද උදව් ඇති ව දිනා ගෙන මහින්ද, ගෝඨාභය, ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, සරත් වීරසේකර ඇතුලු රණවිරුවන් ත්‍රස්තවාදය විනාශ කළ වරදට එල්ලා මරා දැමිය හැකි ය. සරත් ෆොන්සේකාට ඇමරිකන් රජයේ හෝ එක්සත් ජාතීන්ගේ සාක්ෂිකරුවෙකු වී අභය දානය ලද හැකි ය.

මෙරට පාලනය රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක හෝ ආර්. සම්බන්ධන් වැනි ඇමරිකන් ගැත්තෙකුට පවරා, ත්‍රිකුණාමල වරාය අත්පත් කරගැනීමට ඔවුන්ට හැකි ය. රට වටා මුහුදේ ඇති තෙල් ටික ද ඛනිජ ටික ද ඇමරිකාවට යැවිය හැකි ය. ඇමරිකන් ගැති ආණ්ඩුවට එරහිව මෙරට ඇති වන සිවිල් අරගල සඳහා නවීන ආයුධ විකිණීමට ඇමරිකාව පමණක් නොව නෝර්වේ රටට ද එක් විය හැකි ය. අටේ අනාගත පරපුරට නැවත 1983 සිට ඉදිරියට අප ගෙවූ කාලය නැවත මුල සිට ගෙවා දැමිය හැකි ය. එවිට ලංකාව තවත් ඉරාකයක් වනු ඇත.

මූන්ගේ කමිටුව සුළුවට සලකා අමතක නොකළ යුත්තේ එහෙයිනි. මෙය තලියෙහි පැනෙහි කිඹුලෙකු දැකීම කැයි නොසිති යුත්තේ එහෙයිනි. එහෙයින් වහා අවදි වන්නැයි සකල දේශප්‍රේමි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු. මුළු ලෝකය ම එරෙහිව එද්දී අපට කොටි ත්‍රස්තවාදය විනාශ කළ හැකි වූයේ ඔබේ ශක්තියෙනි. නැවතත් මර උගුලක වැටෙන්න යන මව් බිමට ඔබේ පිහිට අවැසි ම මොහොතයි මේ. සියලු වාදභේද දුරලා එක මිටට මව් බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රොද බැඳිය යුතු මොහොතයි මේ.

 
සිය රට දේ සිරි සැප දේ !