Tuesday, June 8, 2010

දොන් ජුවාන් පුරන් අප්පුට ඇඳීම

අයිෆා සිනමා උළෙලට ඉන්දිය නළු නිළියන් සහභාගී වීමට එරෙහිව කොටි හිතවාදීන් මහා සංග්‍රාමයක් ඇරඹුවේ ය. එය ගින්නක් සේ පැතිරෙන විට මෙරට විපක්ෂය සුපුරුදු පරිදි ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කළේ ය. ඒ ගින්නේ එළියෙන් දේශපාලන සූදු කෙළියේ ය. අයිෆා සිනමා උළෙලට අමිතාබ් බච්චාන් ඇතුලු ඇතැම් නළු නිළියන් සහභාගී නොවීම පිළිබඳ කොටි හිතවාදීන් සමග මෙරට විපක්ෂය සිය සතුටු බෙදා හදා ගත්තේ ය. මේ කාලකන්නි සතුට මුන් ලබන්නේ රටට එරෙහිව කඳවුරු බැඳ සිටින සතුරන් සමග බව තේරුම් ගන්නේ කවදා ද?

මෑත කාලයේ මෙරට විපක්ෂය ක්‍රියා කළේ රටේ විපක්ෂය ලෙස මිස ආණ්ඩුවේ විපක්ෂය ලෙස නම් නොවේ. පහුගිය යුද සමයේ එය නතර කිරීමට කොටි හිතවාදීන් හා කරට කර සටන් කළේ මෙරට අමන විපපක්ෂයයි. දැන් යුද වීරයින් වන්නට දඟලන හිටි හැටියේ ජාතික ඇඳුමට බැස හැංගිමුත්තන් කෙළින අය එදා ක්‍රියා කළ හැටි රටට අමතක නැත. විස්කා සමාගම කොන්දේසි කඩකළේ යැයි අයිෆා උළෙලට රජය වියදම් කළ කෝටි 110 යළි උදුරා ගන්නැයි කෑ ගසා පුරන් අප්පුට පණ පොවන රනිල් වික්‍රමසිංහයෝ එදා තමා රහසේ මහ කොටියා සමග අත්සන් කළ ඊනියා සාම ගිවිසුම කොටි කීතු කීතු කරද්දි ගොළුවෙකු බිහිරෙකු මෙන් සිටියා රටට අමතක නැත.

කෙසේ වුව ද ආණ්ඩුවට මේ විපක්ෂය ආශීර්වාදයකි. මේ අමන විපක්ෂය කිසි විටෙකත් ජනතාව ආණ්ඩුවෙන් ඈත් කිරීමට ක්‍රියා නො කරයි. ජනතාව තමන් වෙත දිනා ගැනීමට ක්‍රියා නො කරයි. සිය වැරදි හදා නොගනි. එළුවාගේ මොකක් ද එක හැලෙන තුරු පස්සෙන් යන හිවලෙකු සේ නරිවාදන් දෙසමින් විපක්ෂය ඔහේ ඉබාගාතේ යයි. රටට එරෙහි බලවේග සමග එකගෙයි කන මෙරට විපක්ෂය දකින ජනතාව, ආණ්ඩුවේ යම් යම් වැරදි තිබුණත් ඒවා අමතක කොට යළි යළි ආණ්ඩුව ආරක්ෂා කළ යුතුය යන අදහසට එල්බ ගනිති.

Thursday, June 3, 2010

මොකක් ද මේ සම්බුද්ධ ජයන්තිය?

කැලැන්ඩරයේ සඳහන් වන්නේ මේ ක්‍රි.ව. 2010 බව ය. ලිතේ සඳහන් පරිදි මේ බු.ව. 2554 ය. එහෙත් මාධයෙන් නිතර දෙවේලේ පැවසෙන්නේ, මත තොට ප්‍රදර්ශනය වන්නේ, “2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.“ කියා ය. උදේ හවා කෙරෙන ධර්ම දේශනාවලදී ද මේ ගැන විශේෂයෙන් සඳහන් කෙරේ. මේ පිළිබඳ ඇතැමුන් අප සමග කළ කතාබස්වලදී පැහැදිළි වූයේ බොහෝදෙනා තුළ උක්ත කාරණාව ගැන පැහැදිළි අවබෝධයක් නැති බව ය.

“2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.“ යන පාඨයේ කියැවෙන පරිදි 2600 වැනි සම්බුද්ධ ජයන්තිය යෙදී ඇත්තේ ඉදිරියට ය. හරිට ම කිවහොත් ක්‍රි.ව. 2011 වසරට ය. බු.ව. 2555 වසරට ය. එසේ ගත් විට මේ බුද්ධ ජයන්තිය සහ බුද්ධ වර්ෂය අතර වසර 45ක පරතරයක් තිබේ. වෙනත් විදිහකට කිවහොත් 2555ට 45 එකතු කළ විටය 2600 ලැබෙන්නේ. මේ වසර 45 සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරු බුද්ධත්වයට පත්ව ගත කළ කාලයයි.

බුද්ධ වර්ෂ ගණනය ඇරඹෙන්නේ බුද්ධ පරිනිර්වාණ වර්ෂයේ සිට බව දැන් පැහැදිලි වේ. එය ක්‍රිස්තුස් වහන්සේ උපන් වසරින් ඇරඹෙන ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට වඩා වෙනස් බව ඉන් පෙනේ. මේ අනුව සිදුහත් උපත සිදු වූයේ බුද්ධ වර්ෂයට වසර 80 පෙර ය. උන්වහන්සේ බුද්ධත්වයට පත් වූයේ බුද්ධ වර්ෂයට වසර 45ට පෙර ය. එනම් වයස 35දී ය. පිරිනිවන් පෑවේ බුද්ධ වර්ෂ 0දී ය. අද වන විට බුද්ධ පරිනිර්වාණයට වසර 2554කි. බුද්ධත්වයට පත්ව වසර 2599කි. සිද්ධාර්ථ උපතට වසර 2634කි. ඒ අනුව අපි ලබන වසරේ උත්කර්ෂවත් ලෙස සැමරීමට සුදානම් වන්නේ සිදුහත් තවුසා ලොව්තුරු බුද්ධත්වයට පත්ව 2600 වැනි වසර ය.

Tuesday, June 1, 2010

ඉතින් අපි තව්තිසාවේ ජීවත් වෙමු!

වෙනදා පාපැදිය පිටුපස පත්තර මිටිය බැඳගෙන එන පත්තර කොලුවා, ගේ ඉදිරියේ මෝටර් රථය නවතා පත්තරය ගේට්ටුවෙන් ඇතුළට විසි කර යන්න ගියේය. පත්තරය අහුලා ගන්නට ඉදිරියට ගිය මට හෝන් ගසමින් සිල්වා ද නවීන කාරයක නැඟී ඉගිළ ගියේය. මේ අයුරින්ම මාලු, එළවලු, පාන් වෙළෙන්දෝ සිය මෝටර් රථවල නැගී වෙළඳාම් පිණිස ගමන් කළේය.

හිමිදිරියේ මහා මාර්ගවල විශාල වාහන තදබදයක් දක්නට ලැබිණි. නවීන මෝටර් රථවලින් සියලු පාරවල් වැසී තිබිණි. වෙනදා තරම් පාරේ බස් දක්නට ලැබුණේ ද නැත. හැමදාම පොල් පටවා ගෙන මරු විකල්ලෙන් දුවන පෞද්ගලික බස් රථ, මෙදා මිනිසුන් එකා දෙන්නා පටවා ගෙන පාරේ ගෑටුවේය. පාර අතුගාන කම්කරුවෝ හිමිදිරියේ ම සිය මෝටර් රථවලින් පැමිණි, ඒවා මහ මග අයිනේ නවතා මාර්ග පිරිසිදු කළහ. වෙනදා බස්වල තෙරපෙමින් එන කාර්යාල සුළු සේවක‍යෝ පාන්දරින් කාර්යාලවලට පැමිණ සිය අලුත් වාහනවල හැඩරුව බලමින් සිටියහ.

සියලු කාර්යල ඉදිරියේ මෝටර් රථ ගාල් කිරීම නිසා ඒවාට පිවිසීම ද අපහසු විය. පමා වී කාර්යාල වෙත පැමිණෙන ඇතැම් නිළධාරීන්ට සිය වාහන සුපුරුදු තැන්වල ගාල් කළ නොහැකි වූයේ සුළු සේවකයා ද සිය නවීන මෝටර් රථයෙන් කාර්යලය වෙත පැමිණ සිටි හෙයිනි. වෙනදා කාර්වල මහේශාක්‍ය ලීලාවෙන් ඉගිළ ගිය ඇතැම්හු පුළුටු මුහුණින් කරබා ගෙන ගමන් කළේය. ගේ පීරා රුපියල් 12ක් අහුලා ගෙන පාළු බසයකට ගොඩ වූ මා වෙත පැමිණි කොන්දොස්තර කොලුවා "ඇයි සර් කාර් එකක් ගත්තේ නැද්ද? ගණන් හොඳටම බස්සලා. මමත් හවසට එකක් ගන්නවා" යැයි කීවේ වෙනදා නොමැති අභිමාණයෙනි.

"යුද්දේ ඉවර කළාට පස්සේ අපට තිබුණෙ එකම ප්‍රශ්නයයි. අපි හැමෝම ලක්ෂ 10ක් විතර අතේ තියා ගෙන බලා හිටියේ අපටම කියලා කාර් එකක් ගන්න. දැන් ඒකත් හරි. දැන් අපට කිසි ප්‍රශ්නයක් නෑ. මෙවාට බනින්නේ දුප්පත් අපි කාර්වල යනවා දකින කොට ඇස්වල කටු ඇනෙන ඊර්ෂ්‍යාකාරයෝ." රජයේ ප්‍රධානින්ගේ දෙමාපියන්ට පිං අනුමෝදන් කරමින් සිටි ජනතාව පැවසූ කතාවල සමස්ත අර්ථය එය විය.

‍‍



 
සිය රට දේ සිරි සැප දේ !