Tuesday, December 2, 2008

ත්‍රස්තවාදය බින්ලාදින්ගෙන් අත හිත ඇමෙරිකාවෙන්!

පෙරමුණේ රාළ, උදේ පාන්දර හකුරු කෑල්ලක් සමඟ බෙලි මල් උගුරක් බිව් විගස, දිවයින පත්තරේ අතට ගන්නේ අද ඊයේ සිට නොවේ. 1980 දශකයේ සිට මෙරට සැමට සමගියෙන් ජීවත්විය හැකි පතිරූප දේශයක් කරනට උන්දැලා කළ මෙහෙවර සුළුපටු නොවේ. උන්දැලාගේ මේ මසුරන් කතුවැකිය 'කසාපබ්බත' අඩවියේ පළ කරන්නේ ඒ සඳහා උත්තමාචාරයක් වශයෙනි.

ඇතැම් පුද්ගලයන් ප්‍රභාකරන් ආරකෂා කිරීමට උත්සාහ කරන බවත් ඔවුන් ප්‍රභාකරන්ගේ යථා ස්වරුපය හරි හැටි නො දන්නා බවත් ටී. එම්. වී. පී. පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මන් පෙරේදා (1 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසී ය. මෙය ලෝකයටම පොදු ධර්මතාවකි. ඇමෙරිකානු නායකයන් ඔසාමා බින් ලාදින් නිර්මාණය කළේ ඔහු ගැන හරි හැටි දැනගෙන නොවේ. ඉන්දියාව ප්‍රභාකරන් නිර්මාණය කළේ ඔහු ගැන හරි හැටි දැනගෙන නොවේ. ප්‍රභාකරන් ගැන දන්නා හොඳම මිනිසා කරුණා අම්මන් ය. ඒ වසර ගණනාවක් තිස්සේ ඉතාම භක්තිමත් කොටියකු ලෙස ප්‍රභාකරන්ගේ දර්ශනය අනුව යමින් කටයුතු කිරීමට කරුණාට අවස්ථාව තිබුණ බැවිනි. ඔහු ප්‍රභාකරන්ගේ බලය සේම දුර්වලකම් ද ඉතා හොඳින් දන්නා බව අපගේ විශ්වාසයයි. ඔහු පරණ කරුණා බවට පත් කර නො ගෙන ප්‍රජාතන්ත්‍රවාදී කරුණා ලෙස ම පවත්වාගෙන යෑම වැඩදායක ය.

ප්‍රභාකරන් ආරකෂා කිරීමට උත්සාහ කරන්නේ කවරෙක්දැයි බලමු. අපගේ වැටහීම නම් විදේශ කිහිපයකුත් එම රටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකුත් මේ කාරණයෙහි නියුක්තව සිටින බව ය. සියලු විදේශික රාජ්‍ය නොවන සංවිධානවලට තම රටේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට සිදුවී තිබේ. රාජ්‍යය ඔවුන්ගේ යැපීම සඳහා මුදල් මුදා හරින්නේ එවිට ය. උදාහරණයක් වශයෙන් නෝර්වේ රට ගනිමු.

තමිල්නාඩුව හැරුණු කොට ප්‍රභාකරන් වෙනුවෙන් වැඩිපුරම කතා කරන්නේ නෝර්වේ රාජ්‍යය යි. ඒ ඔවුන් ශ්‍රී ලංකාව දෙකඩ වනු දැකීමට ඉතා ප්‍රිය නිසා ය. ප්‍රභාකරන්ගේ පාලනය යටතේ බිහි වන ඊළාම් රාජ්‍යය සතු ඛනිජ වර්ග හා විකිරණශීලී මුලද්‍රව්‍ය ලබා ගැනීමට සමහර විට නෝර්වේ රට කල්පනා කරනවා විය යුතු ය. තමිල්නාඩුවේ අරමුණ වෙනස් එකකි. ඔවුන් ප්‍රභාකරන් ප්‍රවර්ධනය කරන්නේ ඒ මුවාවෙන් තමිල්නාඩුවටත් වෙනම රාජ්‍ය තත්ත්වයක් ලබා ගැනීම සඳහා ය. තමිල්නාඩුව වෙනම රටක් වුවහොත්, ඉන්දියාවේ සියලු ප්‍රාන්ත කැඩී බිඳී වෙනම රාජ්‍ය බවට පත් වනවා ඇත. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට උදව් කළ මුල් කාලයේදී ඉන්දියාව මේ බව නිකමටවත් කල්පනා නො කරන්නට ඇති. එසේ කල්පනා කළා නම් රජීව් ගාන්ධි අදටත් ජීවතුන් අතර ය.

ඇමෙරිකාව විසින් ඔසාමා බින් ලාදින් නිර්මාණය කළේ සෝවියටි සංගමයට එරෙහිව කුලී හමුදා රැස් කිරීම පිණිසය. මේ කාලයේදී ඇෆ්ගනිස්ථානය තිබුණේ සෝවියටි රූකඩ පාලකයන් යටතේ ය. එම පාලනයට එරෙහිව මුජහෙඩීන් ගරිල්ලෝ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සංවිධානය කළහ. එයට කුලී හේවායන් සැපයීමත් අවි ආයුධ සැපයීමත් ඇමෙරිකාව විසින් කරන ලදී. ඒ ඔසාමා බින් ලාදින් හරහා ය. තම සේවය වෙනුවෙන් ඇමෙරිකාව ගෙවු අති මහත් ධනස්කන්ධය ඉතිරි කර ගත් බින් ලාදින් එය කෘෂිකාර්මික ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කර, ඇමෙරිකානු ව්‍යාප්තවාදයට එරෙහිව අල්කයිඩා නමැති භයානක ත්‍රස්තවාදී ඒකකය නිර්මාණය කළේය. අල් කයිඩා ත්‍රස්තවාදීන් ඇමෙරිකාවට පහර දුන්නේත්, මුම්බායි නුවරදී විශාල පිරිසක් සංහාරය කළේත් ඇමෙරිකාව එදා දුන් සහයෝගය නිසා ය. "අත හිත අසුවල් බැංකුවෙනි" යන කියමන පින්තාරු කරන ලද පෞද්ගලික බස් රථ පාරේ දුවනු අපට දැකිය හැකි ය. ඒ අනුව "ත්‍රස්තවාදය අල්කයිඩා සංවිධානයෙනි - අත හිත ඇමෙරිකාවෙනි" යනුවෙන් පින්තාරු කළ ඇඳුම් මේ ත්‍රස්තවාදීන් පාවිච්චි කළ යුතු ය.

සදාම් හුසේන්ට මුල් කාලයේදී උදව් කරන ලද්දේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය යි. අන්තිමේදී සදාම් හුසේන් ඒ දෙරටටම ඉහළින් යනු දුටු විට ඔහු විනාශ කිරීමට මේ දෙරටම එක්විය. මහ බලවතා යනු අත්තනෝමතික ප්‍රභවයකි. ඔවුන්ට යහපත් දේ යහපත් ලෙසත්, ඔවුන්ට අයහපත් දේ අයහපත් ලෙසත් පිළිගැනීමට අපට බල කරනු ලැබේ. අප එය පිළිගත හොත් ඔවුන්, අප ඉතා කීකරු මිනිසුන් ලෙස සලකනු ලැබේ. නැතහොත් අප මත බෝම්බ හෙළනු ලැබේ.
(දිවයින 08/12/03)

Wednesday, October 1, 2008

කොකාකෝලා පිම්බීම

කිව්වම මොකද ආයුබෝවන්ඩ මමත් දැන් වරුස ගාණක් තිස්සේ යනවා නොවැ අර පොත් පෙදර්සනේ බලන්න. බලන්න කිව්වට මම නම් යන්නේ ඔය දුර්ලභ පොතක් දෙකක් තිබුණොත් අරන් එන්න මිසක් රස්තියාදු ගහන්න නෙවේ ඔන්න.
මම දැක්ක ආයුබෝවන්ඩ අපේ තරුණ ගැටව් ඒ කිව්වේ කලිසම ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියලා හිතෙන පුතාලා රංචු රංචු එහා මෙහා හක්කලන් කරනවා.

ඔන්න ඉතින් ටිකක් ඇවිදින කොට කකුල් කෙටි දෙක රිදෙන්න ගත්තා. තොල කටත් වෙලීලා. ගිරිස්මේ නිසා දාඩිය ඉහෙන් කනෙන් බේරෙනවා. අප්පච්චියේ තැඹිලි ගෙඩියක් බොන්න තිබුණා නම් මසුරං වටිනවා.

"මේ පුතාලා කිට්ටුවක දැක්කේ නැද්ද තැඹිලි ගෙඩියක් බොන්න තැනක්" වෙසක් කූඩු වගේ ලස්සනට ඇඳලා එන පුතාලා කට්ටියකගෙන් මම ඇහුවා.

"අයියෝ අන්කල් මේක ඉන්ටර් නැෂනල් එක්ෂිබිෂන් එකක්. ලැජ්ජ නැද්ද තැඹිලි කෝම්බ ලොවින්න. බොන්නකෝ අර කොකාකෝලා එකක් " ඔන්න ඔහොමයි ආයුබෝවන්ඩ අලි බදින දම්වැලක් කරේ දාගෙන ආපු පුතෙක් මට උත්තර දුන්නේ.

මම ආයේ වටපිට හෝදිසි කරලා බැලුවා රණවරා උගුරක් හරි බෙලි මල් කෝප්පයක් හරි බොන්න ඇහැක් තැනැක්. ඔහේ නෑ ආයුබෝවන්ඩ. හැමතැන ම රට බීම. කෝකාකෝලා පුතාලා නම් සාලාව ඇතුලෙත් උන්නා. මට ඉතින් ඔය ඒරොප්පෙන් එන කෝකාකෝලා අරකෝලා මේකෝලා හරියන් නැහැ නොවැ. අන්තිමට සාලාව පිළිකන්නේ තිබුණ තේ කඩෙන් කහට උගුරක් බීවා.

විදිලි එළියට කළුවර මැකුනට මොකද වේලාව අස්ස පිටේ ගොහිල්ලා. මම දනිපනි ගාලා ආපහු එන්න හැරුණා ගෙදර යන්න. මෙන්න බොලේ අර කලිසං හැලෙන පුතාලා කට්ටියකුත් යනවා. ඒත් ගනිපු පොත් නම් අතේ තිබුණේ නෑ. පොත් නැතුවට මොකද ආයුබෝවන්ඩ ඔක්කොමල්ලා පොඩි පොඩි කෝකාකෝලා කෝප්පවලට බට දාගෙන බිබි යන උජාරුව. සිරියාවේ බෑ.

මම හිතන්නේ ඒ උගත් පුතාලට ගන්න වටින පොත් නැතිව වෙන්නැති. ඔය එක එකා ඒ පුතාල ගැන ඔලොක්කුවට කතා කළාට මම නම් ඔය අලුගුත්තේරු වැඩවලට නෑ.

වතුර මල ළඟට එද්දි නොවැ මම දැක්කේ අර බෝතලේ. කිරි අප්පට බල්ලෝ පැනපි ඒකේ ලොකු. බෝතලයක් හුළං ගහලා පුම්බලා. ඒකේ කෝකාකෝලා කියලා ලියලා. සාලාව ඉස්සරහ හරියට මහබඹා වගේ. මහ පාරට ඇවත් මම ආයෙත් හැරිලා බැලුවා. අම්මපා කිව්වට විස්වාස කරන්න එපා ආයුබෝවන්ඩ ප්‍රදර්සනේ බලන්න නොගිහින් පාර දිගේ ගියානම් ඕන එකෙක් හිතන්නේ කොකාකෝලා ප්‍රදර්සනයක් කියලා. නැද්ද මං අහන්නේ?

Wednesday, September 24, 2008

හිඟා කා තැනූ මහා සෑය

පෙරමුණේ රාල අවුරුදු කීපයක් තිස්සේ කොළඹ ගෙන්දගම් පොළවෙ පය ගහලා ඉන්නවා තමා. ඒ වුණාට මම ඉතින් ගමේ බයියෙක් නොවැ. බලු වලිගේ උණ පුරුකේ ලෑවත් ඇද ඇරෙන්නෑ වගේ ගමේ පුරුද්දට තාම සිරි ලංකා ගුවන් විදිලියේ එහෙම නැත්නම් රෙදෙව්වේ උදේ පරවුත්ති අහන එක මගේ පුරුද්ද.

දැන් පරවුත්ති කාලයත් කොම්පැණිවලට විකුණපු බව මම නොකිව්වට ඔහෙලා හොඳටම දන්නවා නෙව. ඉතින් අපේ රටේ බැංකුවකට තමා මේ උදේ පරවුත්ති අයිති. උන්දැලගේ දැන්වීමට හඬ කවන්නේ ළා හඬක් තියෙන නාඹර ගැටයෙකුයි ගැටිස්සියෙකුයි. ඒ මෙහෙම.

ගැටයා_ ඔයා දන්නව ද අපේ තාත්තාලා සීයලා ගෙවල් හැදුවේ කොහොම ද කියලා ?

ගැටිස්සි_බැංකු ණය අරන් වෙන්න ඇති.

අපේ තාත්තාට අර ගරාමීය බැංකුවේ පොතක් නම් තිබුණා ආයිබෝවන්ඩ. ඒත් තාත්තා පුළු පුළුවන් විදිහට ඒකට කීය කීය හරි දැම්ම මිසක් ණය ගත්තේ නැහැ. මුත්තා නම් බැංකුවක් දැකලාවත් නැතිව ඇති. දෙයියන්ගේ පිහිටෙන් මුන්දැලා දෙන්නට ම වැටිලා ඉන්න තැනක් හදාගෙන තිබුණා.

හැබැයි ඔය එක එකාට ණය ‍වුණේ නැහැ. කිව්වට විශ්වාස කරන්න අද කාලේ හැම එකාට ම අතපෑම නම්බුවක් වුණාට ආයුබෝවන්ඩ උන්දැලා ඒක සැලකුවේ මහා නවනිංගිරාවක් විදිහට. මට දුක මේ රටේ එවුන් කාටවත් ණය නොවී ජීවත්වෙලා දැන් මේ පොළව යට නිඳා ඉන්න උන්දැලට නින්දා කරන එක ගැන. අම්මපා උන්දැලා හිටියා නම් මුන්ට කියලා දෙයි ගනිපු ණය. මොකටද මගේ කට.

මේ උත්තමයෝ හෙට අනිද්දා රුවන්වැලි සෑය යටට ගොහින් "අපේ දුටුගැමුණු මුත්තා මේක හැදුවේ චෝල දේසේ රජාගෙන් ණය අරගෙන නොවැ" කීවොත් පුදුම වෙන් එපා ආයුබෝවන්ඩ.


 
සිය රට දේ සිරි සැප දේ !