Sunday, January 30, 2022

පාර්ලිමේන්තු කැන්ටිමේ බරත් ජනතාව දරන්න ඕන ද?

ජනතා සේවයට යන මැති ඇමැතිවරුන්ට ඉතා ම සහන මිලක් යටතේ පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න දෙනවා. ඒ වගේ ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් අමුත්තන්ටත් ඒ පහසුකම ලැබෙනවා. මන්ත්‍රීවරයෙකුට එක් වේලක් සඳහා අමුත්තන් 5 දෙනෙකු පමණ රැගෙන ආ හැකි බවත් කියනවා.

මේ සඳහා අවුරුද්දකට රු. ලක්ෂ 1200ක් පමණ වැය වෙන බව අවුරුදු කිහිපයකය පෙර වාර්තා වුණා. පසුගියදා පැවැති වැඩමුළුවක දී මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක් සඳහා රු. 3000ක් වැය කරන බව පාර්ලිමේන්තු නිලධාරියෙක් කියා තිබුණා. මේ සඳහා මන්ත්‍රීවරයාගෙන් අයකරන්නේ රු. 200කට ආසන්න මුදලක්.

නමුත් රජයේ රැකියාවලට යන කිසිවෙකුට ආයතනයෙන් ආහාරපාන ලබා දෙන්නේ නෑ. කැන්ටිමෙන් කනවා නම් ටිකක් අඩුවෙන් කන්න පුළුවන්. නමුත් රු. 3000ක පමණ කෑම වේලක් රු. 200කට විතර දෙන කිසිම රාජ්‍ය ආයතනයක් නෑ. බොහෝ විට එම ආයතනවල කැන්ටිම බදු දෙනවා. ඒක කවදාවත් පාඩු පිට කන්න දෙන්නේ නෑ. ඒ නිසා එහි බර රටේ ජනතාව දරන්න ඕන නෑ.

මම හිතන්නේ මේ සිද්ධාන්තය පාර්ලිමේන්තුවටත් අදාළ විය යුතුයි. පාර්ලිමේන්තු කැන්ටිමත් පෞද්ගලික අංශයට ලබා දී මැති ඇමැතිලගේ කෑම බරෙන් ජනතාව නිදහස් කළ යුතුයි. එතකොට ආහාර වේලේ සැබෑ වටිනාකම ගෙවලා මැති ඇමැතිලටත් රටේ අනෙක් අයට වගේ කැන්ටිමෙන් කන්න පුළුවන්.

මේ වන විට පාර්ලිමේන්තුවේ වසරකට රු. කෝටි දෙකක වගේ කෑම හොරකම සහ නාස්තිය නිසා අහිමි වන බව විමර්ශනවල දී හෙළි වෙලා තියෙනවා. ඒ වගේ ම එහි නිලධාරි කපුටු රැල පාර්ලිමේන්තුවට මිලට ගන්නා පළතුරු ටිකේ සිට අල්ලස් ලබා ගන්නා බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

මේ සියලු බර දරන්නේ මේ රටේ දහදුක් විඳින ජනතාව, විශේෂයෙන් පෞද්ගලික අංශය. මොකද මේ රටේ රටේ රාජ්‍ය අංශය නිෂ්පාදන අංශයට දක්වන දායකත්වය ඉතා ම අඩුයි. ඉතින් මේ කැන්ටිම පෞද්ගලික අංශයට ලබා දුන්නා නම් ඒ හොරකම් සහ නාස්තිය නිසා රටට අහිමි වන සම්පත් ටිකත් ඉතිරි වෙනවා.

කවුරු හරි කියන්න පුළුවන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසයි, මේක පාර්ලිමේන්තුව යටතේ ම පවත්වා ගෙන යන්නේ කියලා. නමුත් මේ සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිට තරු හොටෙල්වල එකට එකතු වෙලා පක්ෂ විපක්ෂ භේදයක් නැතිව හොඳට කනවා බොනවා. එතකොට අවශ්‍ය නැති ආරක්ෂාවක් පාර්ලිමේන්තුව තුළ දී ඕන ද? එහෙම ආරක්ෂාව පිළිබඳ භය නම් අපේ හිටපු ජනාධිපති සිරිසේන වගේ නෝනා ලවා කෙහෙල් කොළේ බත් එකක් බැඳගෙන ඇවිත් සරල විදිහට කන්න පුළුවන්.


1 comment:

නමියගෙ වීදිය said...

පාර්ලිමේන්තු කැන්ටිමේ බරත් ජනතාව දරන්න ඕන ද? - නැතුව. අපිමනේ යැව්වේ උන්දලව...

 
සිය රට දේ සිරි සැප දේ !