කොවිඩ් වසංගතයෙන් දෙවසරක් බැටකෑ රට සාර්ථක එන්නත්කරණයත් සමග නැවත හිස ඔසවමින් ඇත. පාස්කු ප්‍රහාරය සමග බිඳ වැටුණු සංචාරක කර්මාන්තය මෙන් ම අපනයනාභිමුඛ නිෂ්පාදන ඇතුළු සියලු නිෂ්පාදන ක්ෂේත්‍ර සිය සුපුරුදු රිද්මයට පැමිණෙන ලකුණු දක්නට ඇත. අපගේ අපනයන ආදායම කොවිඩ් වසංගතය මැද වුව පසුගිය වසරේ වාර්තා කර තිබුණේ ඉතිහාසයේ ඉහළතම අගයයි.
වසංගතයක් සමග යළි පිබිදෙන රටට රටේ රාජ්‍ය අංශය සිය උපරිම දායකත්වයේ ඉන්ධන ලබා දිය යුතු වුව ද සිදුවන්නේ එහි අනික් පැත්තය. වාර්ෂිකව රුපියල් බිලියන දෙකක ආදායමක් උපයමින් රුපියල් බිලියන 10ක ජනතා බදු මුදල් ගිලින ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒ සඳහා කදිම උදාහරණයකි. වෘත්තීය සමිති පිළිකාව හැම අතම පැතිර ගිය දුම්රිය සේවය මේ රටෙන් සහ ජනතාවගෙන් පළිගනිමින් ඇති බව කනගාටුවෙන් වුව ප්‍රකාශ කළ යුතුමය.
දුම්රිය සේවය දිගට ම පාඩු ලැබුව ද එහි සේවකයෝ දීමනා අතිකාල ඇතුළත්ව අති විශාල පඩියක් ලබති. එහි සුළු සේවකයෙකුගේ පවා ආරම්භක වැටුප රු. පනස්දහසකට ආසන්නය. දුම්රිය රියදුරෙකු සාමාන්‍ය මාසික වැටුප රු. ලක්ෂ දෙකහමාරත් තුනත් අතර පවතින අතර මෙවැනි ඉහළ වැටුප් ලබන ලංකාවේ ඇති අනෙක් එකම රාජ්‍ය සේවය වෛද්‍ය සේවයයි.
මේ ආකාරයට මහජන මුදල් දුම්රිය නඩත්තු කිරීම සඳහා වෙන් කළ ද එය දිනෙන් දින ජනතාව පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වන ආකාරය පිළිකුල් සහගතය. එක දිනයක රියදුරන් ද තවත් දිනක දුම්රිය ස්ථානාධිපතිවරුන් ද තවත් දිනක දුම්රිය නියාමකවරුන් ද ඊට පසු සුළු සේවක හෝ කම්කරු ද වශයෙන් වර්ජන ක්‍රියාත්මක කරති. මේ වර්ජන රැල්ල විසින් කිසිදු ආයතනයක් රජයට පවරා ගැනීමට හෝ කතා කළහොත් ඊට එරෙහිව ජනතාව පාරට බසින තත්ත්වයට රාජ්‍ය සේවය එපා වී ඇත. හිඟුරාන සීනි සමාගම නැවත රජයට පවරා ගන්නා බවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සිදුකළ ප්‍රකාශයට එරෙහිව දහස් ගණනක් මහ පාරට බැසීම ඒ සඳහා හොඳ ම උදාහරණයකි.
කිසියම් වර්ජනයක් ආරම්භ කිරීමට පැය 24කට පෙර ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතු වුව ද මෙම කල්ලිය ධාවනය වන දුම්රිය අතරමග කැළෑවල නතර කර දමා වර්ජන ආරම්භ කරමින් ම්ලේච්ඡත්වයේ උපරිම සීමාවට පැමිණෙන ආකාරය පසුගිය දිනවල දැකගත හැකි විය. මේ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා අසරණ වූ ජනතාව සිය දරු මල්ලන් ද බඩු පොදි ද අතින් කටින් එල්ලා ගෙන දුම්රිය පාර දෙපස කැළෑ බිඳගෙන පිළිසරණක් සොයා යන ආකාරය බලා සිටිය නොහැකි තරම් හද කම්පා කරවන සුළුය. ඒ අතර මේ රටට පැමිණි සංචාරක පිරිස් ද දක්නට ලැබුණු අතර ඔවුන් අපේ රට පිළිබඳ ලෝකයට රැගෙන යන පණිවිඩය කෙතරම් අප්‍රසන්න ද?
පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා සම්පූර්ණයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවන අවස්ථාවක එල්ල වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයට කිසිවෙකුට දඬුවම් ලැබෙන්නේ නැත. වෘත්තීය සමිති මාෆියාව වනසා දමා ඇති දුම්රිය සේවය වහා ම පෞද්ගලීකරණය කිරීම හැර කිසිදු විකල්පයක් මේ වන විට ඉතිරි වී නොමැති බව අපේ හැඟීමයි. මහජන බදු මුදල් පොම්ප කරමින් නඩත්තු කරන දුම්රිය සේවකයින් තව දුරටත් රටට සේවයක් ලබා නොදෙන පසුබිමක ජනතාවගෙන් සහ රටෙන් එළව එළවා පළිගන්නා පසුබිමක මහජන මුදල් පුච්චමින් මේ සාපරාධී ආයතන නඩත්තු කිරීම මේ රටේ ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි.
සෙසු රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව අතිවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳින දුම්රිය සේවකයින් තමන්ට කන්න අදින්න ලබා දෙන ආයතනය වැඩි දියුණු කිරීමට හෝ එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලීමට වෙහෙසෙනු වෙනුවට ඊනියා අයිතිවාසිකම් ඉල්ලමින් ෂයිලොක් තියරියට වැඩ කරද්දි ආණ්ඩුව ඔවුන් ඉදිරියේ දණ ගැසීම ආණ්ඩුව ලද ජනවරමට ද සිදුකරන ද්‍රෝහිකමකි. එහෙයින් මේ අනවශ්‍ය බරින් ජනතාව මුදා හැරීම පාලකයින්ගේ වගකීමකි.
දුම්රිය සේවය පෞද්ගලීකරණය හෝ අර්ධ රාජ්‍ය සේවයක් බවට පත්කර එහි ආදායමින් එය නඩත්තු කළ යුතුය. එවිට හිතුමතේ වර්ජන කරමින් මගී ජනතාව අපහසුතාවට පත්කරමින් මාසේ අන්තිමට සුපුරුදු ලෙස පිං පඩි ගැනීමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන අතර අපි හම්බ කළොත් අපි කනවා තියරියට අනුව සිය සේවය විධිමත් සහ උපරිම ආකාරයෙන් ජනතාවට ලබා දෙනු ඇත. එවිට මේ රටේ ජනතාවගේ බදු මුදල් කොල්ලය නතර වනු පමණක් නොව රටට ජාත්‍යන්තරය සමග සමතැන් ගන්නා දියුණු දුම්රිය සේවයක් ද ලැබෙනු ඇත.
නාමල් උඩලමත්ත
No comments:
Post a Comment