Saturday, August 22, 2015

මාරයින් සමඟ සටන් වැද..

අසමාන සටනකින් ජාතිකවාදී පෙරමුණ පරාජයට පත්ව තිබේ. එය මාර සෙනඟ සමඟ කළ යුද්ධයකි. අනිත් පස රනිල් ය. තවත් පසෙක අනුර ය. පිටුපස පාඨලී ය. පැත්තෙන් චන්ද්‍රිකා ය.  නව පරපුරේ කලාකරුවෝ ය. ඊනියා සිංහල විරෝධි උගත්තු ය. රතන හිමිගේ පිවිතුරු හෙට ය. සෝභිත හිමිගේ සාධාරණ සමාජය ය. මාධ්‍ය බලය ය. NGO කාරයෝ ය. RAWකාරයෝ ය. CIAකාරයෝ ය. මේ සියල්ල මැද එජාප ජනවරමින් පක්ෂ නායකත්වය ඩැහැ ගත් සිරිසේන ය. ඇතුළත අප්පච්චි මළෝ කල්ලියේ සතුරෝ ය. මේ සියලු පෙරමුණුවල එකම සතුරා බවට පත්වූයේ මහින්ද ප්‍රමුඛ පිරිස ය. ඉලක්කය වූයේ මහින්ද ය. මේ පිරිස මහින්ද ප්‍රමුඛ සන්ධාන මැතිවරණ ව්‍යාපාරය විනාශ කිරීම සඳහා කළ හැකි සියල්ල කළ අතර එහි ප්‍රධානීන් නිතර FCID කැඳවමින් මාධ්‍ය සන්දර්ශනය පැවත්වූහ. මලමිනි ගොඩගත්හ. සිරිසේන මහතා පක්ෂ යාන්ත්‍රණය දුර්වල කිරීම සඳහා කළ හැකි සියල්ල කළේ ය. චන්ද්‍රිකා එජාප වේදිකාවට ගොඩ වුවා ය. 

එවන් පසු බිමක ජාතිකවාදී පිලට පරාජය හිමි වුව ද එය හොඳ සටනක් ලබා දී ලැබූ විශිෂ්ට පරාජයකි. පරාජයට පත්ව මාස 8ක් තුළ මෑත කාලයේ බිහි වූ ශක්තිමත් ම විපක්ෂය නිර්මාණය වී තිබේ. සැබවින් ම රනිල් ප්‍රමුඛ එජාපය ජය ගත්තේ දුර්වල කළ, බෙලහීන කළ සෛන්ධවයෙකු සමඟ දිවීමෙනි. රනිල් ප්‍රමුඛ එජාපය සමතලා පොළවක හැල්මේ දුවන විට ජාතිකවාදී පිළට කඳු හෙල්, ගිරි දුර්ග, මාරක ප්‍රපාත ඔස්සේ මාර උගුල් මඟහැර දිවීමට සිදුව තිබිණි. එහෙත් එවන් අතපය බැඳ දැමූ පිරිසක් සමඟ තරඟ කර පවා 1977 මෙන් විශාල ජයග්‍රහණයක් තබා පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට පවා රනිල්ට නොහැකි වීමෙන් ඔහුගේ දුර්වලතාව පැහැදිලි වෙයි. කෙසේ වුව ද රනිල්ට අසීමිත බලයක් හිමි නොවීම රටේ වාසනාව ය. මහින්ද සිය අභිමාණය සහ ජීවිත අවධානම පවා නොතකා සිදු කළ මැදිහත් වීම නොවන්නට රනිල්-සිරිසේන දෙදෙනා එක්ව 1977 මෙන් 5/6 බලයක් සහිතව එජාප ආණ්ඩුවක් පිහිටු වනු ඇත. 

එහෙත් මෙවර මහින්ද නිසා ම පාර්ලිමේන්තුවට තේරි පත් වූ පිරිසක් සිරිසේනගේ ආශිර්වාදය පිට හෙට දින රනිල්ගේ ඇමති මණ්ඩලයට එක් වනු ඇත. එය තමන්ගේ කැමැත්ත නොව පක්ෂයේ සහ නායකතුමාගේ කැමැත්ත බව ඔවුහු පවසනු ඇත. ඒ පිළිබඳ අප එතරම් තැකිය යුතු නැත. පහනට ඇදෙන කුහුඹුවන් මෙන් ඇතැම්හු බලයට ඇදෙන්නාහ. කෙසේ වුව ද ජනතාව අනාගත දේශපාලඥයින් වෙත කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස එවැනි ප්‍රබල චරිත බොහොමයක් මෙවර පරාජයට පත් කර තිබේ. ඔවුන් නැවත ජාතික ලැයිස්තු හිලෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් නිරුවත් වන්නේ යහ පාලන සීතාම්බර සළුව මිස අනෙකක්  නොවේ. ඔවුන්ට ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට ඒමට නොහැකි වූයේ පසු ගිය යහ පාලන ආණ්ඩුවට මුක්කු ගැසීම නිසා බව ද ඔවුන් වංචාකාරී ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට කොල්ල කෑ ජාතික ලැයිස්තුව පවා ඔවුන්ගේ එකී ක්‍රියාදාමයට එරෙහි ජනමතය බව ද සිහි කටයුතු ය.

කෙසේ වුව ද JR ගේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පියිට පිවිසීමට පුල පුලා සිටි රනිල් වික්‍රමසිංහ සුළුතර ආණ්ඩුවකට සීමා කොට ඒ මාරකයෙන් රට ගලවා ගැනීම පිළිබඳ මහින්දඑ ප්‍රමුඛ ජාතික බලවේගවලට මේ රටට ආදරය කරන ජනතාව කෘතඥ විය යුතු ය. මේ වන විට මැතිවරණ ප්‍රතිඵලවල ඇතැම් අසාමාන්‍ය වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැඟෙමින් තිබේ. කිසිදු අභ්‍යන්තර දූෂණයක් සිදු නොවිණි නම් මේ ප්‍රතිඵලය සැබෑ ජන මතය නම් අපි ඊට ගරු කළ කරමු. බොක්සිං වළල්ල තුළ යමෙක් පරාජයට පත් වන්නේ සතුරාගේ ප්‍රහාරයකින් බිම වැටුණු විට නොව නැවත නැඟී සිටීම ප්‍රතික්ෂේප කළ විට ය. මේ පරාජය තුළ අනාගත ජයග්‍රහණයේ පණ ගැහෙන බිජුවට සැඟව තිබේ. ඒ සියල්ල රැක ගත යුතු ය. නිසි පොහොර දිය සපයා විසල් තුරු බවට පත් කළ යුතු ය. ජාතික කඳවුරේ පරාජයට හේතු වූ ඊට අවේනික දුබලතා ඇත්නම් ඒවා වියළි පත් මෙන් පොහොර බවට පත් කර ගත යුතු ය. එවිට ඒ තුරු මාතෘ භූමියට අවැසි ම මොහොතේ සෙවණ සදනු ඇත. දැයට මඟ කියනු ඇත.

2 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

මෙතන ඇත්තෙන්ම පරාජයක් නෑ. පරාජය කෘතීමව හදපු එකක්. චන්ද ප්‍රතිඵලය විකුර්ති එකක් එය කෘතීමව රනිල්ට අගමැති වීම සඳහාම හැදෙන්නක් වෙලා. හොර චන්ද මගඩි ගැන දැන් දැන් තොරතුරු එලියට එනවා. ඇත්තෙන්ම අගෝස්තු 17 වනවිට නිර්මාණය වෙලා තිබුණේ 2010 චන්දෙට සමාන තත්වයක්. බොහෝ පරතර ඇතිව දින්න චන්ද කොට්ඨාශ වල ප්‍රතිඵලය පරතරය අඩු කොට කියා තිබෙනවා. පොලීසිය අවසන් මොහොතේ ජනපති හා රනිල් මෙහෙයවනු ලැබුවා. චන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියන්නේ සුනන්ද දේශප්‍රියගේ මල්ලි. සුනන්ද කියන්නේ යුක්තිය නමින් සිංහල බෞද්ධ විරෝධී එන්ජීඕ පත්තරයක් කරපු අපේ රටට එරෙහිව ජිනීවා ගොස් යුධ අපරාධ වලට කොටින්ට පක්ෂව සාක්ෂි දීපු එකෙක්. මෙතන සැකකටයුතු දේ බොහොමයක් සිද්ධ උනා. ඇත්තෙන්ම ජයග්‍රහනය තමයි පරාජය බවට කෘතීමව හැරෙවුවේ.

සෙන්නා said...

නාමල්,

වැඩේ හිතන තරම් සුළු නෑ.. රනිල්ට බහුතරය දෙන්න ජනතාව අකමැති වුනාට, මැඑත ඉතිහාසයේ මේ දරණි තලයේ පහල වූ විශාලම ද්‍රෝහියා එය මනාව සම්පූර්ණ කරදෙනු ඇත. ජනතාව ගෙදර පල කියූ මේලෝ රහක් නැති අමන දේශපාලුවන් සිය පෞද්ගලික අභිමතාර්ත වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට දැක්වීමේන්ම ඔහු තමාට ජනමතයට එරෙහි වීම මහා කජ්ජක් නොවන බව මනාවට පෙන්වා ඇත.

මේ සියල්ල මතින් සම්බන්දන් විපක්ෂනායකයා විම්මේ අනතුර අභිමුවෙහි දැන් රට පවති.. එක් ජනවර්ගයක් වෙනුවෙන් පෙනී සිටින පක්ශයක නායකයෙක් විපක්ෂ නායකයා වීමේ අනතුර සුලු කොට තැකිය හැකි නොවේ...

මේ සියල්ලන්ට එකතුව පණ ගැහෙන බිජුවට සහමුලින්ම උදුරා තලා පෙලා දැමීම, විනාශ කිරීම මහා කජ්ජක් නොවනු ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !