Tuesday, August 25, 2015

ක්‍රිස් නෝනිස් අමතක ද?

සජින් වාස් ගුණවර්ධනගේ අශිෂ්ට ක්‍රියාදාමය නිසා ආචාර්ය ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වුණා. නෝනිස් ඉතා ම දුෂ්කර කාලයක රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම් ඉතා ම හොඳින් ඉටුකළ රාජ්‍ය තාන්ක්‍රිකයෙක්. ඒ සිද්ධිය සිදු වුණු සමයේ නම් විපක්ෂය වගේ ම විවිධ සමාජ ක්‍රියාධරයන් නෝනිස්ට සිදු වූ අසාධාරණය පිළිබඳ කතා කළා; කම්පා වුණා අපට මතකයි.

නමුත් දැන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරය සඳහා යෝජනා වෙන්නේ වෙනත් නම්. මුලින් ද පැරදුනු රෝසි නෝනා මහ කොමසාරිස් කරන්න යෝජනා වුණා. පස්සේ ජනාධිපතිවරයා සංගක්කාරට එංගලන්තේ මහ කොමසාරිස්කම භාර ගන්න ආරාධනා කරනවා කියලා හිටං කීවා. ඇත්තට ම සංගක්කාර හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් බවට කිසිදු සැකයක් නෑ. නමුත් ඔහු මෙවැනි තනතුරකට සුදුසුයි කියලා මට නම් හිතෙන්නේ නෑ. ඔහු ක්‍රීඩකයෙක් විදිහට විවිධ වෙළඳ ආයතන 200ක පමණ තානාපතිවරයෙක් විදිහට කටයුතු කරනවා. ඇන්ලීන්, නෙස්ටමෝල්, ඒෂියන් පේන්ට්, කීල්ස් සුපර්, TVS කින්ග්, එයාර්ටෙල්, හච්, කොකාකෝලා, ඩයලොග්, ඩිමෝ පමණක් නොව මැගි නූල්ඩ්ස් පවා අන්තිමට සංගක්කාර විකිණුවා. සංගාගේ හච් එකේ ඇඩ් එක යද්දී ම සංගා තමන්ගේ එයාටෙල් ඇඩ් එකක කීවා "දන්නවාද මම එයාර්ටෙල්වලට මාරු වුණා" කියලා. ඒක දැකපු මට ඇතත්ට ම පොඩි අපුල ගතියක් දැනුණා.

නමුත් ඔහු ක්‍රීඩකයෙක් විදිහට එය හොඳ යැයි සිතනවා විය හැකියි. එහෙම හිතන වෙනත් අයත් ඉන්න පුළුවන්. මම නම් හිතන්නේ ක්‍රීඩකයෙක් විදිහට වුණත් ඔහු අනවශ්‍ය විදිහට විකිණුනා කියලයි. පසුගිය කාලයේ අපි දැකපු ඇතැම් තානාපතිවරුන්ට, කොමසාරිස්වරුන්ට වඩා ඔහු හොඳ නැද්දැයි කෙනෙකු ඇසිය හැකියි. නමුත් අසාර්ථක දෙයක් සමඟ හෝ වැරදි දෙයක් සමඟ සසඳා යමක් පිළිබඳ නිර්ණය කිරීම හොඳ දෙයක් නෙමේ. පරාජිත දේශපාලකයින් තානාපති තනතුරුවලට පත් කිරීම ද හොඳ දෙයක් නොවේ. මම නම් හිතන්නේ ක්‍රිස් නෝනිස්ට යුක්තිය ඉටු කිරීමට මේ හොඳ ම අවස්ථාව බව ය. විපක්ෂය එදා නෝනිස් සම්බන්ධව හෙළුවේ කිඹුල් කඳුලු නෙමෙයි කියලා සනාථ කරන්න එමගින් ඔවුන්ට ස්වර්ණමය අවස්ථාව උදා වෙනවා.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !