Saturday, August 15, 2015

මොකක් ද මේ හැදුණු ළදරු වලිප්පුව?

එළඹෙන මහ මැතිවරණයේ මහින්දට අපේක්ෂකත්වය නොදෙමියි කී, පසුව ඔහු මැතිවරණයට එන්නේ නම් හම්බන්තොටින් පැමිණිය යුතු බව කී, කුරුණෑගලින් එන විට අගමැති අපේක්ෂකවත්වය හෝ මැතිවරණ මෙහයුමේ නායකත්වය නොදෙන බව කී සිරිසේන මහතාගේ බොරු පුරසාරම් සියල්ල මහා ජන රැල්ල හමුවේ වැල්ලේ තැනූ මාළිගා බවට පත් විය. අනතුරුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීම අධිකරණයට මුවා වී තහනම් කර සිය ජාමේ බේරා ගැනීමට ඔහුට සිදු විය.

ගිය මස මහින්ද රාජපක්ෂට ජයග්‍රහණය කළ නො හැකි බව කී සිරිසේන මහතා පෙරේදා මහින්ද ජයග්‍රහණය කළ විට වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු අගමැති කිරීමට සහාය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ඊයේ එම හෑල්ලෙන් අගමැති තනතුරට පවා සුදුසු යැයි සහතික කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරුවලින් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය ද අහෝසි කර ඇත. ඒ අනුව පැය 24ක් තුළ අගමැතිකමට සුදුසු අය පක්ෂ සාමාජිකත්වයට ද නුසුදුසු අය බවට පත්ව තිබේ.

මෙසේ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිළිබඳ කිඹුල් කඳුලු සලන සිරිසේන මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ගතහොත් එහි අන්තිම කොණේ මුල් හරියේ සිටින සිය අන්තේවාසියෙකු වන දුමින්ද දිසානායක ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් ලෙස පත් කර තිබේ. මේ සියල්ල මෙසේ සිදු කරන අතර ලංකාවට පැමිණි යුරෝපීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම හමු වී සිරිසේන මහතා සිංහලෙන් ප්‍රකාශ කළේ තමන් ජනාධිපති ලෙස මේ මැතිවරණයේ දී ස්වාධීනව සිටින බව සහ ජනාධිපති බලතල කිසිසේත් ඒ සඳහා භාවිත නොකරන බවත් ය. ඔහුගේ දේශපාලන භාවිතය සහ ප්‍රකාශ අතර ඇති පරස්පරතාව අවබෝධ කර ගැනීමට මේ සිද්ධි කිහිපය සප්‍රමාණවත් ය.

යහ පාලනය වෙනුවෙන් කලක් තිස්සේ හංස ගීත ගයන ඊනියා උගතුන්ට අනුව නම් සිරිසේන මහතා මේ රටේ යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු පිණිස පෙරුම්පුරා උපන් දේව නියෝජිතයෙකි. එහෙත් තමන්ට බලය ලැබුණු මොහොතේ සිට සිරිසේන මහතා සිය බලය අවභාවිත කළා මිස වෙන කිසිවක් සිදු කර නොමැත. තමන් පසුගිය රජයෙන් වෙන් වූයේ යහ පාලන ඉටි ගෙඩියක් නිසා නොව බැසිල් රාජපක්ෂ සමඟ ඇති වූ පෞද්ගලික කෝන්තරයක් නිසා බව උක්ත ලිපියෙහි ලා පැවසීමෙන් ඔහු විසින් විළි වසා ගැනීමට තිබූ අවසන් ඇඳුම ද ගලවා නිරුවත් කරන්නේ පෙර කී හංස ගීත ගැයූ යහ පාලන උගතුන් නොවෙද? එදා හංස ගීත ගයා මෙදා ජනතා විමුක්ති පෙරමුණේ ගෙජ්ජි බැඳ ගෙන ඩෙඟා නටන පිරිස ද ඊට අයත් ය.

කෙසේ වුව ද 2004 මේ රටේ ප්‍රගතිශීලි ජනතාව මහින්ද ප්‍රමුඛ පොදු පෙරමුණු සන්ධානය ජයග්‍රණය කරවා පරාජය කළේ රනිල් වික්‍රමසිංහ පමණක් නොව පොදු පෙරමුණු නායිකා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ දේශද්‍රෝහි පිරිස ය. එහි දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට කළ හැකි සියල්ල කළ චන්ද්‍රිකා කුමාරතුංග, සිය පක්ෂයෙන් තරඟ කළ මහින්ද වෙනුවෙන් සිය පක්ෂයට මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකාවක් පවා මුද්‍රණය කිරීමට අවස්ථාවක් ලබා නොදී මෙදා සිරිසේනගේ නායකත්ව භූමිකාවේ මුල් කොටස රඟ දැක්වූවා ය. 

1991 දකුණ වමට හැර වූ දකුණු පළාත් සභා මැතිවරණයේ දී පාලක එක්සත් ජාතික පක්ෂය මහා භීෂණයක් වැපිරුව ද දිනා ගත හැකි වූයේ ආසන 28කි. ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්ෂයට ආසන 29ක් ලැබිණි. පාලක එක්සත් ජාතික පක්ෂය ආසන 28ක් දිනා ගත් එජාපයේ එම්. එස්. අමරසිරි මහ ඇමති කළ ද අධිකරණය එය අක්‍රිය කර අමරසිරි දොඩංගොඩ මහ ඇමති කරවීය. එහෙයින් කිසිවෙකුටය ජනතා පරමාධිපත්‍ය සමඟ සෙල්ලම් කළ නොහැකි බව තේරුම් ගත යුතු ය. 

මෙසේ බලන කල 1991, 2004 සහ 2015 අතර කිසි වෙනසක් නැත. එක ම වෙනස මහින්ද රාජපක්ෂ වටා පෙර නොවූ විරූ ලෙස මේ රටේ ජනතාව පෙළ ගැසීම පමණි. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නම් 1991 මෙන් ම 2004 මහ මැතිවරණය සහ ඒවායේ ප්‍රතිඵලය වර්තමාන ජනාධිපතිවරයාට තක්සලාවක් විය යුතු ය. තමන් දරන තණතුරු තාවකාලික බව ද ජනතා පරමාධිපත්‍ය ඊට වඩා බෙහෙවින් බලවත් බව ද පාලකයින් තේරුම් ගත යුතු ය. 

එදා මේ රටේ ඊනියා උගතුන් ඒකාධිපතියා යැයි කී මහින්ද ජනවාරි 08 වෙනිදා ජන වරමට හිස නමා ගෙදර ගියේ ය. මෙදා යහ පාලනය රටට උදා කිරීමට සපථ කර අර කී උගතුන්ගේ කර මතින් බලයට පැමිණි බලයට කැමති නැති ප්‍රජාතන්ත්‍රවාදී සිරිසේන එළඹෙන මහ මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ක්‍රියා කරන ආකාරය දෙස රට වැසියෝ බල සිටිති. 

2 comments:

Ajith Kumara said...

සිරිසේන රනිල් වික්‍රමසිංහාගමැති කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න අවසන් මොහොත දක්වා ක්‍රියා කරනු ඇත. එහෙත් එය සාර්ථක නොවන්නේ මේ රටේ ජාතිකත්වය හඳුනන ජනයා බහුතරයක් මහින්ද සමග සිටින හේතුව උඩයි.

සෙන්නා said...

මෙයාගේ මෛත්‍රියයි, නහී වේරානියයි රෙද්ද පල්ලෙන් බේරෙනවා දැන්..

 
සිය රට දේ සිරි සැප දේ !