Tuesday, February 10, 2015

ජෝන් ආණ්ඩුව ද? රනිල් ජනාධිපති ද?

විපක්ෂය ජෝන් අමරතුංග ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී ප්‍රමාණයකගේ අත්සන් සහිතව කතානායකවරයාට භාර දී තිබේ. මේ යෝජනාව පිළිබඳ ඡන්දයෙන් ආණ්ඩුව පරාජය වුවහොත් කළ යුත්තේ ඔහු දරන ඇමති ධූරය ජනාධිපතිවරයා නැවත පවරා ගෙන වෙන සුදුසු අයෙකුට ලබා දීම ය. 

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ විශ්වාසභංගයෙන් පරාජය වුවහොත් තමන් ආණ්ඩුව විසුරුවා හරින බවත් මහා මැතිවණයක් කැඳවන බවත් ය. විශ්වාසභංග ඉදිරිපත් කර ඇත්තේ ණයට ආණ්ඩු කරන එජාප ආණ්ඩුවට විරුද්ධව නොව එහි එක් ඇමතිවරයෙකුට විරුද්ධව ය. ඒ නිසා ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් නොමැත. 

අනිත් අතට ආණ්ඩුව විසුරුවීමේ බලය හෝ මහා මැතිවරණ කැඳවීමේ බලයක් වික්‍රමසිංහ අගමැතිවරයාට නැත. ඔහු වර්තමානයේ ජනාධිපතිවරයා ලෙස හැසිරුණ ද ඔහු මේ රටේ සුළුතර ආණ්ඩුවක අගමැතිවරයා පමණි. ආණ්ඩුව විසුරු වීමේ බලය මෙන් ම මහා මැතිවරණයක් කැඳවීමේ බලය ද ඇත්තේ ජනාධිතිවරයාටය. මේ වගේ වැඩ කරන විට ගැමියන් නම් කියන්නේ "ගොනාගේ වැඩ බූරුවා කරන්න ඕන නෑ." කියා ය.

අනිත් අතට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එජාපයට අතිශය වාසි බවත්, තම පක්ෂයට අවාසි බවත් ජනාධිපතිවරයා අවබෝධ කර ගෙන ඇතැයි සිතමි. එහෙයින් ආණ්ඩුව විසුරුවා නොහැර විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ එය ආරක්ෂා කළ යුතු ය. මේ දින 100 කෝළම මේ ආකාරයට ම විහිළුවක් විකාරයක් ප්‍රෝඩාවක් බව ජනතාවට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු ය. එය ඉදිරි මැතිවරණයේ දී එජාපය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම වැළැක්වීමට වැදගත් ය. එසේ නොවුණහොත් ඊනියා ජනතාවාදී අයවැය ක්‍රියාත්මක කිරීමට ජනතා විරෝධි සන්ධාන විපක්ෂය ඉඩ නොදුන් බවට කිඹුල් කඳුලු සලමින් ජනතාව ඉදිරියට යෑමේ අවස්ථාවක් එජාපයට හිමි වන අතර එය ඔවුන්ට අතිශය වාසි සහගත ය.  

එමෙන් ම මේ අවස්ථාවේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට රනිල් සමඟ තරගයට ඉදිරිපත් කළ හැකි හොඳ ම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බවට විවාදයක් නැත. රනිල් සමඟ තරඟ කර සන්ධානය දිනවිය හැකි වෙනත් කිසි ම අපේක්ෂකයෙකු එහි නැත. පාඨලි චම්පික රණවක වැනි අය ඊට විරුද්ධ විය හැකි වුව ද ඔහු අද දැහැටි කූරක තත්ත්වයට පත්ව ඇති බව ද මේ රටට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණය මිස පාඨලි නොවන බව ද තේරුම් ගත යුතු ය. 

මහින්ද පරාජය කිරීම පිටුපස සිටින්නේ සිය දේශපාලන අභිලාෂ අනුව මේ රටේ භූ දේශපාලන සිතියම තීරණය කිරීමට අර අඳින ඉන්දියාව, ඇමරිකාව ප්‍රමුඛ කුමන්ත්‍රණකාරයින් බව දැනටමත් අනාවරණය වී ඇති හෙයින් එම පණිවිඩය වහා ජනතාව අතරට ගෙන යෑම ඔස්සේ නැවත මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකි ය. ඒ සඳහා මේ දින 100 වැඩ සටහන වෙස්වළාගත් ආශීර්වාදයකි.
  

2 comments:

Deutscher said...

Meeharak can not understand the truth.
God bless the Lanka

Unknown said...

//අනිත් අතට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එජාපයට අතිශය වාසි බවත්, තම පක්ෂයට අවාසි බවත් ජනාධිපතිවරයා අවබෝධ කර ගෙන ඇතැයි සිතමි.//

මෙතැන දී වරද්දවා ගෙන අැති තර්කය මෙයයි... අැත්තටම ජනාධිපතිවරයාට අනුව තමන්ගේ පක්ෂය කුමක්ද?????

 
සිය රට දේ සිරි සැප දේ !