Saturday, February 21, 2015

දෙයියන්ටවත් නොපෙනෙන දයාගේ අවනඩුව !

දයා ගමගේ පවසන පරිදි නැඟෙනහිර මහ ඇමති ධූරය සිංහලයෙකු දරනවාට රහූෆ් හකීම් කැමති නැත. රහූෆ් හකීම් කැමති වුව ද මුස්ලිම් අන්තවාදය ඊට අකමැති බව පැහැදිලි ය. එම මතයට එරෙහිව ක්‍රියා කළ හොත් හකීම් ද්‍රෝහියා කර මුස්ලිම් ඡන්ද ටික බිලිබා ගැනීමට අසාද් සාලි පන්නයේ ISISලා පෙළ ගැසී සිටිති. මේ නිසා විශාකාවට සිය දුව යවන අතර සෙසු මුස්ලිම් දියණියන් කළු අබායෙන් වැසීමට අනුබල දීමට හකීම් සිදුව තිබේ. මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදැක අටපිරිකර පූජා කර වැඳ නැඟෙනහිරට ගොස් බෞද්ධ විරෝධි ප්‍රකාශ කිරීමට, බෞද්ධ සිද්ධස්ථානවල සිදුවන මුස්ලිම් ආක්‍රමණය සාධාරණීකරණයට සහ අනුබල දීමට ඔහුට සිදුව තිබේ. 

කෙසේ වුව ද එම මුස්ලිම් අන්තවාදය නැඟෙනහිර මහා ඇමති ධූරය දෙමළ සන්ධානයට ලබා දීමට කැමතිය. එහෙත් ජාතික තලයේ දේශපාලනයේ දී තම පක්ෂය වන එජාපයේ දයා ගමගේට ලබා දීමට අකමැතිය. ඒ දයා ගමගේ සිංහල නිසා ය. මේ අනුව නැඟෙනහිර මහා ඇමති ධූරය දැරීමට දයා ගමගේ සතු එකම නුසුදුසුකම සිංහලකමයි. බහුතරයක් සිංහලයන් ජීවත් වන රටේ තත්ත්වය එයයි.

මෙවැනි ප්‍රකාශයක් සිංහලයෙකු විසින් කළේ නම් ඊට එරෙහිවීමට ඇතැම් විට ජිනීවා දක්වා ගෙන යෑමට මේ රටේ බෞද්ධ විරෝධි උගත්තු එක පෙළට සිට ගනු ඇත. එහෙත් ඒහා සමාන ඇතැම් විට ඊටත් භයානක ප්‍රකාශයක් සුළු ජාතියකට අයත් අන්තවාදියෙකු ප්‍රකාශ කළ විට එය නිහඬව අනුමත කරමින් හීන්සීරුවේ එය සුළු ජාතික විඥානය තුළ සාමාන්‍යකරණය වන තුරු සිටීම, හැකි නම් අනුබල දීම මේ ඊනියා බුද්ධිමතුන්ගේ සිරිතයි. ඒ සමස්ත සුළු ජාතීන් ම සිංහල විරෝධීන් වීම ඔස්සේ තම බෞද්ධ විරෝධි මානසික තත්ත්වය ලබන අමන්දානන්දය වෙනුවෙන් විය යුතු ය.

කේ. ශ්‍රී පවන් මහතා අගවිනිසුරු වීම පිළිබඳ ජාතිකවාදීන් විරෝධය පළ කළ බව පවසමින් අසත්‍ය ප්‍රචාර මුදා හරින අවස්ථාවාදී කල්ලි පවා දයා ගමගේ සිද්ධිය පිළිබඳ කිසිවක් නො කියති. ශ්‍රී පවන් මහතා අග විනිසුරු ධූරයට පත්වීම ජාතිකවාදීන් ලද ජයග්‍රහණයක් ලෙස මම සලකමි. දෙමළාට මේ රටේ නිසි තැන නො ලැබෙන බවට ද දෙමළාට දෙමළ වීම නිසා ම ඇති ඊනියා ප්‍රශ්නයක් පිළිබඳව ද නිර්මාල් රංජිත් දේවසිරිලා ගොඩ නඟන තර්කය, ශ්‍රී පවන් මහතා අගවිනිසුරු නැතහොත් මේ රටේ සිව් වැනි පුරවැසියා බවට පත්වීමත් සමඟ පුස්සක් බවට පත්වෙයි. සැබවින් ම ලක්ෂ්මන් කදිරගාමර් මහතා මරා නො දමන්නට ඔහු මේ රටේ අගමැති හෝ ජනාධිපති ධූරයට හෝ පත්වීමේ හැකියාවක් තිබිණි. සිංහල බෞද්ධ විරෝධීන්ගේ පුහු තර්ක බිඳ දැමිය හැක්කේ ආරුන් තම්බිමුත්තු වැනි තරුණයින් මේ රටේ දේශපාලන කේන්ද්‍රයට රැගෙන ඒම තුළිනි. බෙදුම්වාදයට එරෙහි  පරපුරක් දෙමළ සමාජය තුළින් නිර්මාණය කර ගැනීමෙනි. දෙමළ හින්දු ජාතිකත්වයේ සැබෑ සතුරා ඔවුන්ට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දීමෙනි.

අනෙක් අතට සම්බන්ධන් සහ සුමන්තිරන් දෙමළ ජනතාව නියෝජනය කරමින් දශක ගණනාවකට පසු ජාතික නිදහස් උළෙලට සහභාගි වීම මහා ජයග්‍රහණයක් ලෙස සලකන පිරිස ඒ ගැන අපේ අදහස් විමසති. සැබවින්ම අපි ජාතිකවාදීන් ලෙස එය අගය කරමු. එය සුබ පෙර නිමිත්තක් ලෙස දකිමු. ඊට එරෙහි වන උතරේ වර්ගවාදීන්ට එරෙහි වෙමු. එහෙත් ඒ ජයග්‍රහණය සමරන විද්වත්හු කොටි ත්‍රස්තවාදීන් උතුරින් එළවා දැමූ සිංහල ජනතාව නැවත උතුරේ පදිංචි කරවා, බිඳුණු මිතුදම් අලුත් කරනට කිසිවක් නො කරති. ඊට එරෙහි වන දෙමළ වර්ගවාදී මතයට එරෙහි නොවෙති. යුද්ධය නිසා උතුරින් පළා ගිය දෙමළ මුස්ලිම් ජනතාවට නැවත එම ගම්බිම්වලට පැමිණීමට ඇති අයිතිය සිංහල ජනතාවට සිංහල වීම නිසා ම අහිමි කිරීමේ දෙමළ වර්ගවාදයට එරෙහි නොවෙති. එය අප ජීවත් වන යුගයේ අත්දකින මහා ඛේදවාචකයකි.

අප එරෙහි වන්නේ මෙලෙස සිංහලයාට හිමි එකම රටේ ම සිංහල වීම නිසා ම සිදුවන මෙවැනි අසාධාරණකම්වලටය. නැගෙනහිර දයා ගමගේට මහා ඇමති විය නොහැක්කේ ද උතුරින් පළවා හැරි සිංහල ජනතාවට නැවත සිය ගම්බිම්වල පදිංචි වීමේ අයිතිය නො ලැබෙන්නේ ද ඒ ගොරතර වර්ගවාදය නිසා ය. මේ අසාධාරණයට ඔවුන් ලක් වන්නේ ජාතියෙන් සිංහල වීම නිසාම ය. අප එරෙහි වන්නේ මෙලෙස සිංහල ජාතියට එරෙහිව දෙමළ මුස්ලිම් වර්ගවාදය භාවිත කිරීමට ය. එසේ නොමැතිව අපි දෙමළ ජාතිකත්වයට එරෙහි නොවෙමු. ඔවුන්ගේ සංස්කෘතිය නිදහසේ බුක්ති විඳීමේ අයිතියට ගරු කරමු. 

මුස්ලිම් 36%ක් ජීවත් වන නැඟෙනහිර 23%ක් වන සිංහල ජනතාව නියෝජනය කරන සිංහලයෙකුට මහා ඇමති වි නොහැකි නම් 10%ක සුළුතර මුස්ලිම් ජනතාවක් ජීවත් වන බහුතර සිංහලයින් 75%ක් ජීවත් වන රටක රහූෆ් හකීම්, රිෂාඩ් බදූර්දීන් ඇමති තනතුරු දරන්නේ කෙසේ දැයි අපි ප්‍රශ්න කරමු. දෙමළ ජනතාවගෙන් 50%ක් පමණ දකුණේ බහුතර සිංහල ජනතාව සමඟ ජීවත් වන රටක උතුරේ බහුතර දෙමළ ජනතාව සමඟ සිංහලයින්ට ජීවත්වීමට අයිතියක් නැත්තේ ඇයි දැයි අපි ප්‍රශ්න කරමු. වර්ගවාදයට එරෙහි වීම යනු මෙවැනි අකටයුතුවලට එරෙහි වීම මිස ගෙදර ඇති සිංහල මුව හමට තඩි බෑම නොවේ.  


No comments:

 
සිය රට දේ සිරි සැප දේ !