Sunday, February 22, 2015

ශ්‍රී පවන් අගවිනිසුරු වීමට ජාතිකවාදීන් විරුද්ධ ද?

දෙමළ ජාතිකයෙකු වන කේ. ශ්‍රී පවන් මහතා මේ රටේ අගවිනිසුරු ධූරයට පත්ව තිබේ. මේ ආණ්ඩුව හිටපු අගවිනිසුරු ඉවත් කළ ව්‍යවස්ථා විරෝධි යහ පාලනයටම ඔබින විළි ලැජ්ජා නැති අශිෂ්ටත්වයට මම එරෙහි වෙමි. ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම පසුගිය රජයේ අවශ්‍යතාව අනුව සිදු වුව ද එය ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඔස්සේ සිදු කිරීමට තරම් විනයක් ඔවුන්ට තිබිණි. රටට ඒ විනය ප්‍රමාණවත් නැති හෙයින් ගෙන ආ යහ පාලනය දැන් අර අවම විනය ද නැතිව හැසිරෙන ආකාරය බලා සිටීමට ජගුප්සාජනක ය. දැන් අපි අපේ මාතෘකාව වෙත යොමු වෙමු.

මම ශ්‍රීපවන් මහතා අගවිනිසුරු වීම ගැන සතුටු වෙමි. ඔහු අද මේ රටේ අභිමාණවත් හතර වැනි පුරවැසියා. ඔහු මේ රටේ බෞද්ධ සම්ප්‍රදායට ගරු කරමින් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීම ඔස්සේ ඒ මහතා මේ රටේ සංස්කෘතියට හර පද්ධතියට ගරු කරන බව ද ප්‍රදර්ශනය කොට තිබේ. දෙමළ ජනතාව කොන් කරලා මේ ප්‍රශ්නය විසඳිය නො හැකි ය. යමෙකුට සුදුසුකම් ඇත්නම් ජාතිය ආගම කුමක් වුවත් ඒ තනතුර දිය යුතුය. 

එසේ ම ආරුන් තම්බිමුත්තු, විනයාගමූර්ති මූරලිදරන් වැනි අය අප මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවට ඔසවා තබා ඔවුන් එහි ප්‍රමුඛ චරිත කළ යුතුය. අපි ලක්ෂ්මන් කදිරගාමර්ලා නැවත බිහි කරගත යුතුය. සුද්දාගේ ඇමරිකාව ඔසාමා බින් ලාඩන්ලාගෙන් ආරක්ෂා කරන බැරක් හුසේන් ඔබාමා පන්නයේ පිරිසක් අපි ද්‍රවිඩ ජනතාව අතරින් නිර්මාණය කරගත යුතුය. ඇත්තට ම ලක්ෂ්මන් කදිරගාමර් මේ රටේ අගමැති ධූරයට පත් කළ යුතු මට්ටමේ සිටි ප්‍රශස්ත දේශපාලකයෙකි. මේ රටේ ඒකීයත්වය ගරු කරන බෙදුම්වාදයට එරෙහි බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන රැක දෙන දෙමළ නායකයෙකු රනිල් වික්‍රමසිංහ පන්නයේ බෙදුම්වාදී සිංහල නායකයින්ට එරෙහිව රටේ ජනාධිපති තනතුරට පත් කිරීමට වුව ජාතිකවාදීන් වන අප නො පසුබට විය යුතුය. ඒ සඳහා සිංහල ජනතාව සවිඥානක කළ යුතු ය.

අප විරුද්ධ විය යුත්තේ දෙමළ ජාතිකත්වයට නොවේ. දෙමළ වර්ගවාදයටයි. සිංහල ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කෙරෙන දෙමළ ජාතිවාදයටයි. ඒ අතර අපි දෙමළ ජාතිකත්වයේ ආරක්ෂකයින් විය යුතුය. අපි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරන අතර එය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන අතර දෙමළ ජාතිකත්වයට ගරු කළ යුතුය. ඔවුන්ගේ සංස්කෘතියේ සැබෑ සතුරා බෞද්ධයින් නොවේ. එහෙත් සැබෑ සතුරා විසින් බෞද්ධයා දෙමළාගේ සතුරා යැයි දැවැන්ත මතයක් නිර්මාණය කර දෙමළ ඔළුවල ගබඩා කර තිබේ. එය අප විසින් උපක්‍රමිකව ආදරයෙන් ජයගත යුතු කඩ ඉමකි. මම හැකි සෑම විට ම දෙමළ ආගමික සංස්කෘතික උත්සවවලට යමි. කෝවිලට යමි. මගේ දෙමළ මිතුරන්ගේ නිවෙස්වලට යමි. ලොව පුරා සිටින දෙමළ මිතුරු මිතිරියන් සමඟ දුක සැප බෙදා ගනිමි. එය මේ රටට ආදරය කරන සෑම සිංහලයෙකු විසින් ම කළ යුතු දෙයකි. ඔවුන් බෙදුම්වාදයෙන් ඈත් කර අපට ළං කර ගැනීම, ඔවුන් ලවා ම බෙදුම්වාදය ප්‍රතික්ෂේප කිරීම, බෙදුම්වාදය දුර්වල කිරීම සඳහා අධිවේගී මාර්ගයකි. 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !