Saturday, February 25, 2012

පුන්නක්කු බී නිදා ගැනීමේ කරුමය !

තෙල් මිල අඩු කරන්න පාරට බැහැපු පිරිසකට පොලිසිය කඳුලු ගෑස් ගැහුවා. අවම බලය පාවිච්චි කරලා කඳුළු ගෑස් ගහපු නිසා ඇන්තනීගේ ඔලුව පසාරු කර ගෙන ගිය කඳුළු ගෑස් උණ්ඩයක් අනිත් පැත්තෙන් මතු වුණා. පොලිසියට කිසිම අයිතියක් නෑ මේ විදිහට මිනිස්සු මරන්න. මේ ආණ්ඩුව බලයට ගෙනාවේ මිනිස්සු ජීවත් කරන්න මිසක් මරන්න නෙමේ. ආණ්ඩුව වහාම මේ මිනි මරුවන් අල්ලා දඬුවම් කළ යුතුයි. අර කටුනායක කොල්ලා මරපු අයට දඩුවම් කළා වගේ රටට ම පේන්න. එහෙම නැත්නම් අර රජයේ නිලධාරියෙක් ගස් බැන්ද ඇමති ගෙදර යැව්වා වගේ ලෝකේට ම ආදර්ශයක් වෙන්න.

අනෙක මේ රටේ ජනතාව එකා එක ගොං තඩි උන්ගේ කතතීරු දේශපාලනය වෙනුවෙන් කරන ප්‍රකාශවලට කන් නොදී මේ ලෝකෙ රටේ සිද්ධ වෙන දේවල් අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. පොතක් පත්තරයක් බලලා චැනල් දෙක තුනක නිව්ස් බලලා සත්‍යය මොකක් ද කියලා අවබෝධ කරගත යුතුයි. එහෙම නැතිව රෑ 8 ඉඳලා 10 -11 වෙනකම් ටෙලි නාට්‍ය කියන පුන්නක්කු ගිලලා හරක් වගේ බුදියන එවුන් රටකට වැඩක් නෑ.

උන්ට මොකෙක් හරි එකෙක් තම තමන්ගේ දේශපාලන උවමනා එපාකම් අනුව කියන බොරුවක් අහලා හරක් රංචුව වගේ පාරට පනිනවා. උන්ගේ පිටිපස්සේ ඇවිත් මිනිස් ලේවලින් දේශපාලන ඉණි මගේ ඉහළට යන්න බලා ඉන්න එවුන් පොලිසියට ගල් ගහනවා. උන්ට ඕන මළ කඳන් මතින් සිය දේශපාලන ගමන යන්න. දැන් ඇන්තනී මළා. ඊට කලින් කටුනායක කොල්ලෙක් මළා. අන්තිමට ඒ අයට ලැබුණු දෙයක් නෑ. එක එකාගේ දේශපාලන වේදිකාවල නම් ඒ නම් බයිට් කරාවි ටික දවසක්, රස යනකම්. ඊට පස්සේ උගස් හපයක් වගේ විසි කරනවා.

ලෝක වෙළඳ පොලේ මිලට අපට තෙල් ගන්න වෙනවා. නැත්නම් තෙල් නොගෙන ඉන්න ඕන. ඊට පස්සේ කරත්ත ටිකක් පාරට දාලා ගමන් බිමන් යන්න ඕන. එච්චර දුර යන්න ඕන නැහැ කඩේ මුදලාලි කියන මිලට අපි හාල් කිලෝ එකක් ගන්නවා. ඒ මිලට ගන්න බැරි නම් බඩ ගින්නේ ඉන්න ඕන. වහාම තෙල් මිල අඩු කරව් කියලා පාරට පැනලා කෑ ගැහුවාට ගෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙන්නේ නෑ. ඒ ප්‍රකාශවලින් අර පුන්නක්කු ගිලලා බුදියන බූරුවන් අන්දන්න පුළුවන් බව ඇත්ත. උන්ගෙන් සත්‍යය වහන් කරන්න පුළුවන් බවත් ඇත්ත. උන්ගේ මළ කඳන් පාවඩ කර ගෙන තම තමන්ගේ දේශපාලන ගමන යන්න පුළුවන් බවත් ඒ තරමට ම ඇත්ත. ඒත් මෑත දී බ්‍රිතාන්‍ය රජයත් කීයනවා තෙල් මිල අඩු කරන්න මැජික් බලයක් නෑ කියලා. දැන් යුරෝපයේ පෙට්‍රල් ලීටරයක් ලංකා මුදලින් රු. 300 සහ ඩීසල් රු. 250ක් වෙනවා.

ඒ වගේ ම රජයට මීට වඩා අඩු ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ දමන්න තිබුණා. මොකද දැන් වැඩි කළ තෙල් මිලෙන් අඩක් විතර ආයේ ජනතාවට සහනාධාර විදිහට ලබා දෙනවා. ධීවර බෝට්ටු හිමියන්ට, බස් අයිතිකාරයින්, පාසැල් සේවා වාහන, ත්‍රීරෝද රථ හිමියන්ට, සමෘද්ධි ලාභීන්ට, විදුලිය නැති අයට සහනාධාර දෙනවා. මේ උඩින් ම දැක්වෙන අයගේ ලාභය අඩු වුණා මිසක් වෙන දෙයක් වුණේ නැහැ. නැත්නම් මේ රටේ බස්කාරයින්ට වඩා සහනාධාර දෙන්න අඩු ආදායම්ලාභීන් ඉන්නවානේ. කොහොම වුණත් පැහැදිලියි මීට වඩා අඩු ප්‍රතිශතයකින් තෙල් මිල අඩු කරන්න තිබුණා කියලා. ‍අනෙක ඉහළ ගිය තෙල් මිලට කර ගහන්න ඕන ජනතාව විතර ද? ඇයි මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා අඩු කරන්න බැරි? එහෙම අඩු කරලා ජනතාවට යම් සහනයක් දෙන්න තිබුණා. ‍යම් අර්බුධයක් ආවම ජනතාව මත සියලු බර නොපටවා පාලකයිනුත් යම් බරක් දැරිය යුතුයි.

ඒ වගේ ම ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා රටේ ඒකීයභාවය නිදහස වෙනුවෙන් ජීවිති කැප කළ හමුදාව හෑල්ලුවට ලක් කළ ලක්ෂ්මන් කිරි ඇල්ල කියන උගත් මහත්තයා කිව්වා ජිනීවා මානව හිමිකම් සමුළුවට විරුද්ධව රටේ උද්ඝෝෂණ කරලා වැඩක් නෑ කියලා. ඉතින් මේ තරම් බුද්ධිමත් ඒ මහත්තයා පොඩ්ඩක් කතා කරලා කීවා නම් අර ධීරවයින්ට 'ලෝක වෙළඳ පොලේ තෙල් මිල ගියාට ලංකාවේ කෑ ගහලා වැඩක් නෑ පාඩුවේ මූදු පලයල්ලා' කියලා අර අහිංසක මනුස්සයා තාමත් ජීවතුන් අතර.

මිනිසා දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කීවේ කාලෙකට ඉස්සර. අපි ගන්න හුස්ම පොදක් ගානේ දේශපාලනය තියෙනවා. ඒත් සමහරුන්ට වගක් නෑ. 'ඉරානෙට ඇමරිකාව ගහනවලු නේද?' 'ආ ඇත්තෙයි මම හිතුවේ දැන් ගහලා ඉවරයි කියලා සදාම් හුසෙන් මැරුවා නේද ළඟදී?' වගේ හතර බීරි කතා තමා අපට ඇහෙන්නේ. ඒ නිසා ජනතාව රට ලෝකය ගැන මීට වඩා සවිඥානික විය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ 71 වගේ නැත්නම් 88/89 වගේ එහෙමත් නැත්නම් ඇන්තනී වගේ කාගේ හරි පස්සේ ගිහින් වෙඩි කන්න. නැත්නම් වෙන්නේ බටහිර බලවේගවල ඉත්තෝ වෙලා තමන්ටක් නොදැනීම උපන් රටේ හතුරෝ වෙන්න.

3 comments:

Rumal Jayamuni said...

මේක හොඳ කියවීමක්! දැක්මක්!!

ඒ වගේම වෙඩිල්ල පත්තු කරපු පැත්තෙන් මේකට සාක්කියක්/අර්ථකතනයක් ගන්න පුළුවන් නම්!

යටගිය දවස said...

මහත්තයෝ, මම දන්නා විදියට නම කඳුළු ගැස් ගහන්නේ කැණීස්ටර් එකක් විදියට. අනිත් එක එක වැදිලා ඇන්තනි මරුන කියමු, එහෙනම් ඕකේ ඔයිට වඩා ලොකු තුවාලයක් තියෙන්න ඕනේ. මේක අවම බලය භාවිතා කිරීමකින් සිද්ධ වෙච්ච දෙයක් නම නෙවෙයි.

මිනිස්සු තෙල් මිල වැඩි කරාම පාරට බහින්නේ, ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි බව නොදැන නෙවෙයි. මෙච්චර රටේ නාස්ති කර කර, දැයට කිරුල වගේ මෝඩ චූන් ෂෝ පවත්වද්දීත් ආණ්ඩුව දිගින් දිගටම ජනතාවට කෙලින එක ගැනයි. මිනිස්සු දේශපාලනිකව සවිඥානික නැත්තේ නැහැ. නමුත් උද්ගෝෂණ ලෙයින් හා යකඩින් මර්ධනයකරණ රටක, මිනිස්සු තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක බලන ඉන්න එක පුදුමයක් නෙවෙයි. සමහරවිට 88 89 කාලේ සාමුහික ශ්‍රී ලාංකික මනස තුල අතිවෙචච කැළැල් එහෙම තාමත් ඒ තුල ඇති.

නාමල් උඩලමත්ත said...

රුමාල්, වෙඩි තිබ්බ අය නම් කීවේ කඩු පොලු මුගුරු ගල් අරගෙන පොලිසියට පහර දෙන්න ආවා. ඉතින් ජීවිතාරක්ෂාව පතා වෙඩි තිබ්බා කියලා. ඒක වෙන්නත් පුළුවන්. මේ රටේ හතුරන්ට දේශපාලනය කරන්න දැන් මළ මිනී හිගයි. ඒ නිසා කොහොම හරි කා හරි බාවගන්න ඕන. ඒවාට අහු වෙනවා මෝඩයෝ. සමහරු හිතන්නේ අපි ඡන්දේ දුන් අපේක්ෂකයා පරාද නිසා මේ ආණ්ඩුව අපේ නෙමේ, ඒ නිසා මේකට පුළුවන් තරම් කෙනහිලිකම් කරලා අපේ ආණ්ඩුවක් පත් කරගන්න ඕන කියලා. ඒත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඡන්දයෙන් දිනපු පක්ෂය රටේ පාලක පක්ෂය විදිහට ජනතාව පිළිගත යුතුයි. අපේ රටේ මිනිස්සු තාම ඒ තත්ත්වයට ප්‍රජාතන්ත්‍රවාදය අවබෝධ කර ගෙන නැහැ.

යටගිය දවස, මේ මුල් වැකි සියල්ල මා ලීවේ උපහාසයෙන්. ඒ නිසා එහි ඇත්තේ අදාළ ක්‍රියාව කෙරෙහි මගේ විරෝධය මිස අනෙකක් නෙමේ. මොකද පොලිසිය කීවේ කඳුලු ගෑස් ගැහුවා කියලා. කඳුලු ගෑස්වලට මේ විදිහට මිනිස්සු මරන්න බෑ කියලා නොදන්න අය නෑනේ.

ඇත්ත. ආණ්ඩුවේ නාස්තිකාර දේවල් තියෙනවා. හොරකම් වංචා දූෂණ අඩු කළ යුතුයි. අනවශ්‍ය වියදම් අඩු කළ යුතුයි. දේශපාලකයින් මහජන මුදලින් ලබන වරප්‍රසාද අඩු කළ යුතුයි. ඒත් හර්ෂ ද සිල්වා විපක්ෂයේ ඉඳන් කෑ ගහනවා ලැබෙන ගාණ මදියි කියලා.

හැබැයි දැයට කිරුළ නාස්තිකාර වැඩක් කියන්නේ දේශපාලන කුහකකමට මිස වෙන එකකට නෙමේ. ලෝක වෙළඳපොළ තෙල් මිල ඉහළ යද්දි මිල වැඩි කළ එක ම රට ලංකාව නම් ඔබේ තර්කය නිවැරදියි.

ඉස්සර උද්ඝෝෂණ සාමකාමී විරෝධතා දැක්වීමේ විදිහක්. ඒත් දැන් එවුන් එන්නේ ම පිටි පස්සේ ගල් පොලු මුගුරු යකඩ පොලු තියා ගෙන. ඔවුන්ට අවශ්‍ය ගැටුම්. එතකොට පොලිසියත් ගහනවා. මම කියන්නේ ඒක සාධාරණයි කියලා නෙමේ.

මෑත දී යුරෝපයේ ඇමරිකාවේ හටගත් උද්ඝෝෂණවල දී පොලිසිය උද්ඝෝෂකයින්ට තැඹිලි කපලා මාලු පාන් එක්ක දුන්න හැටි අපි දැක්කා. පාරේ ‍ ෆෑන් හයි කරලා තිබ්බා දාඩිය නිසා. හැම තැන ම සිසිල් පැන් දන්සැල් තිබුණා.

ඔය තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කොහේවත් නැහැ. ඡන්ද බලයෙන් ආපු ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ඡන්දයෙන්. එහෙම නොවන ක්‍රියා මාර්ග ප්‍රජාතන්ත්‍ර විරෝධියි. රටක ආරක්ෂක අංශවලට ඊට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න වෙනවා.

 
සිය රට දේ සිරි සැප දේ !