Tuesday, September 27, 2011

කොළඹ නරගයේ සිඟමනේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනේ - පුවතක්

මේ රටේ ඉන්න සම-හරක් නොදන්නවා වුණාට හිඟාකෑම නීතියෙන් තහනම්. ඒක ලංකාවේ දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් වෙලා තියෙන්නේ මේ සියලු හිඟන්නෝ වැටුප් ශ්‍රමික‍යෝ වෙලා. ඒ කියන්නේ හිඟන මුදලාලිලා යටතේ සේවය කරන ශ්‍රමිකයෝ. අපි දෙන හැම රුපියලකින්ම වැඩි කොටස යන්නේ මේ හිඟන මුදලාලිට. ඒ අය යන්නේ ප්‍රාඩෝවලින්. කන්නේ හිල්ටන් ගලදාරිවලින්.

මේක මහා පරිමාණ පතාළ බිස්නස් එකක්. ඒ නිසා මේක කොළඹ ට්‍රැපික් ලයිට් ළඟ විතරක් නෙමේ මහ මග, බසයේ, කෝච්චියේ හිඟාකෑම තහනම් කළ යුතුයි. ජීවත් වෙන්න අමාරු අය ඉන්නවා නම් ඒ අයට වෙනම අනාථ නිවාස වගේ දේවල් රජය ක්‍රියාත්මක කළ යුතුයි. මිනීමරු පතාළය වගේ හිඟන පතාළයත් වහා තුරන් කළ යුතුයි.

මීට විරුද්ධව නැගී සිටිය හැකි සිව්වනක් පිරිසක් මම දකිනවා. පළමු පිරිස මේ හිඟන්නන් අන්ත අසරණ මිනිසුන් යැයි සිතාගෙන ඒ පසුපස ඇති මහා ව්‍යාපාරය පිළිබඳ නොදන්න අය. මේ අය සංවේදී මිනිස්සු. වහා හිත උණුවෙන මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණු මිනිස්සු. එයාලා පක්ෂ භේදවලින් තොරව මේකට විරුද්ධ වෙනවා, තමන්ගේ දැනුමට සාපේක්ෂව.

ඊළඟ පිරිස තමයි දේශපාලන පක්ෂ කසාද බැඳපු අය. මේ අය බැඳපු ගෑණු පතිවෘත්තාව රකින්නා සේ සිය දේශපාලන පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අය. එයාලට විපක්ෂයේ ඉද්දි ආණ්ඩුව කරන සියල්ල වැරදියි. ආණ්ඩු කරද්දි ආණ්ඩුව කරන සියල්ල හරි. මේකත් අනුකම්පා කළ යුතු මන්ද මානසික තත්ත්වයක්. තමන් අවංක දේශපාලන පක්ෂ බැතිමතෙක් වෙන්න නම් දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා වෙන්න නම් ආණ්ඩුව කරන හොඳ නරක හැම දේටම විරුද්ධ වීම තමන්ගේ යුතුකම කියලයි මේ අහිංසක‍යෝ හිතන්නේ.

ඊට පස්සේ ඉන්නේ හිඟන මුදලාලිලා. මේ අයගේ ජීවිකාව ඒ කියන්නේ රස්සාව හිඟන වෙළඳාම නිසා මීට විරුද්ධ වීම සාධාරණයි. මොකද කිසිදු මහන්සියකින් තොරව තමන් විඳින රජ සැප ගලන උල්පත වහන්න යද්දි ඊට විරුද්ධ වීම හරි ස්වභාවිකයිනේ.

මේ අය තමන්ගේ වෙළඳාම සුරක්ෂිත කරගන්න ලොකු දේශපාලන අතුවල එල්ලිලා ඉන්නේ. ඇතැම් මැති ඇමතිලාට ඡන්දවලට අත දිග හැරලා වියදම් කරන්නේ මේ හිඟන මුදලාලිලා. ඉතින් තමන්ගේ ආධාරකාරයින් වෙනුවෙන් ඔවුන් මත යැපෙන ඒ කියන්නේ වක්‍රාකාරව හිඟන්නන් ම යැපෙන දේශපාලන හිඟන්නන් විරුද්ධ වීමත් අසාධාරණ නැහැ.

මේ අය අනුකම්පාව කියන වෙස් මුහුණ දාගෙන තමන්ගේ විළි වසාගෙන අපි අසරණ හිඟන ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කරලා සටන් කරනවා කියලා කෑ ගහවි. මේ ජීවන වියදමේ හැටියට දැන් රටේ ඔක්කෝම ජනතාවට හිඟා කන්න වෙලා තියෙන්නේ. ජනතාව හිඟා නොකා හිඟා කනවා. නොමැරි ඉන්න කනවා. වේලක් ඇර වේලක් කනවා. ජනතාව හිඟා කාලා හරි ජීවත් වෙන්න ඕන නේද? මේ ආණ්ඩුව නගර අලංකාර කරන්න හිඟන්නෝ මරනවා වගේ දෙකයි පහේ ගොං කතා අහන්න තරම් මෝඩ මිනිස්සු දැන් ලංකාවේ බත් කන මිනිසුස්සු අතර අඩුයි. මේ විදිහට කෑ ගහන්නේ තමන්ගේ බඩ වියත රැක ගැනීම සඳහා කියලා අපි දන්නවා.

ඒ නිසා ජනතාවගේ සංවේදීකම, නොදන්නකම පාවිච්චි කරලා කරන මේ නීති විරෝධී වැඩේ නතර කිරීම වගකිව යුතු රජයක යුතුකම.

2 comments:

රංචාගොඩ මුදියන්සේ said...

100% එකඟයි.

හිඟමන හිඟන රජවරුන් පාතාල රජවරුන් පෝසත් කරන ව්‍යාපාරයක් පමණක් නොව මත්ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපාරය වැනි දුරාචාර පතුරුවන, කුඩා යාචක දරුවන් ලිංගික හා ශාරීරික/මානසික අපයෝජනයට ලක් කෙරෙන කාළකන්නි ව්‍යාපාරයක්. මෙය සපුරා තහනම් කොට, සියලු යාචකයින් පුනරුත්තපනය කල යුතුයි.

දන් දෙන්නට ඕනෑ අය සිටිනවා නම්, හිගන්නන් ගැන දුක් නොවී දානෙ ටිකක් නොලැබෙන දුප්පත් පංසල්, මහලු නිවාස, ලමා නිවාස සොයාගෙන ඒවාට ආධාරකොට දාන පාරමිතාව සපුරාගත යුතුයි.

නාමල් උඩලමත්ත said...

ඇත්ත කණ්ඩුල. මේ විදිහට අපේ සමාජය දෙස බලන්න හැකි පිරිසක් බිහි කර ගැනීම අද අපිට තියෙන ලොකුම වගකීම.

 
සිය රට දේ සිරි සැප දේ !