Wednesday, September 14, 2011

හමුදාව අනවශ්‍යයි-ප්‍රදේශය සාමාන්‍ය අතට හැරිලා උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යොදවන්න රොබට්‌ බ්ලේක්‌ගෙන් යෝජනාවක්‌ - පුවතක්

බැලූ බැල්මට හරිම අවංක සාධාරණ යෝජනාවක්. ඒත් බ්ලේක් උන්නැහේ ආයේ වටයකින් රටට ගිනි අවුලන්න කරන යෝජනවක් මේක. මේක මාධ්‍යයට කීවේ බ්ලේක්ගේ කට වුණාට ඕක ඇත්තටම බෙදුම්වාදයේ හඬ. මේ රටේ පොලිසිය සියලු ජාතීන් නියෝජනය කළා. දෙමළ අය පොලිසියෙන් ඉවත්වුණේ කොටි තර්ජන නිසා. ඒ නිසා නැවත පොලිසියට දෙමළ අය බඳවා ගත යුතුයි.

කොටි ත්‍රස්තයින් රට ගිනි තියන්න පටන් ගන්නා විට ලංකා හමුදාව 16000ක් විතර ඇති. නව ආයුධ නැහැ. පුහුණුව නැහැ. ඉතින් කොටින්ට පුළුවන් වුණා ඉන්දියාවේ අවි පුහුණුව ලබලා ඇවිත් රට විනාශ කරන්න. ඒ නිසා හමුදාව කිසිසේත් අඩු කළ යුතු නැහැ. සීමා කළ යුතු නැහැ. පුහුණුවීම්, අභ්‍යාස දිගටම කළ යුතුයි. රටේ සියලු මර්මස්ථානවලට හමුදා ආරක්ෂාව ලබාදිය යුතුයි.

හැබැයි කිසිසේත් මේ රටේ වාර්ගික පදනම මත උතුරු නැගෙනහිර පොලිසිවලට දෙමළ හෝ මුස්ලිම් අය දැමිය යුතු නැහැ. ඒක හරිම භයානකයි. 1980 දශකයේ කොටි ප්‍රහාර අරඹද්දි මේ විදිහට බහුතරයක් උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන් දෙමළ මුස්ලිම්වීම තමයි ඔවුන්ට ලොකුම ආශීර්වාදය වුණේ. පොලිසිවල අවි ආයුධ කොටි අතට ගියේ ආරක්ෂක රහස් කොටි අතට ගියෙ මේ නිලධාරීන් මාර්ගයෙන්.

නිරායුධ සහෝදර සිංහල පොලිස් නිලධාරීන් 600ක් එක පෙළට තියලා මරන්න උදව් කළේ මේ පොලිසිවලට අනුයුක්තව සේවය කළ ඇතැම් දෙමළ, මුස්ලිම් පොලිස් නිලධාරීන් බව අද රහසක් නෙමේ. ඒ නිසා මේ සියල් නැවත සිහිපත් කළ යුතුයි.

ඒ වගේම කොටි පොලිස්පති වුණේ, පස්සේ දේශපාලන අංශ නායක වුණේ ලංකා පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් කෙනෙක් වුණු නඩේසන් බව අමතක කළ යුතු නැහැ.

ඒ නිසා උතුරු නැගෙනහිර පොලිසිවලට 70%ක් විතර සිංහල නිලධාරීන් යොමු කළ යුතුයි. ඔවුන්ට දෙමළ භාෂාව පිළිබඳ දැනුම ලබා දිය යුතුයි. පොලිසියට බඳවා ගන්න දෙමළ නිලධාරීන් බහුතරය සෙසු පළාත්වලට යොමු කළ යුතුයි.

ඒ මගින් ජන වර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩෙනවා. එකිනෙකාට ගරු කරන්න ඉගෙන ගන්නවා. දෙමළ පොලිස් නිලධාරීන්ට ගරු කිරීමට සිංහල ජනතාව ඉගෙන ගැනීම ඉතාම වැදගත්. එතකොට අන්තවාදය යටපත් වෙනවා.

අනෙක් අතට රට පුරා පිහිටුවා ඇති හමුදා කඳවුරු කිසිසේත් ඉවත් කළ යුතු නැහැ. ඒවා තව තව ශක්තිමත් කළ යුතුයි. හමුදා කඳවුරු තර්ජනයක් වන්නේ ත්‍රස්තයින්ට මිස සාමාන්‍ය ජනතාවට නෙමේ. බ්ලේක් එයාලාගේ මැර හමුදාව ගැන මිසක් ලංකා හමුදාව ගැන දන්න බම්බුවක් නෑ. මම නැවතත් කියනවා බ්ලේක්ගේ දිව තොල කට හෙල්ලුණාට මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් TNA එකේ ඊළාම් ගමනට පාර කපන්න කළ ප්‍රකාශයක්.

තමන් කළ හැම යුද්ධයක් ම අනාගෙන හත්පොළේ ගාගෙන එනවා අපට බණ කියන්න. එයාලා ගිය හැමතැනම පරාදයි. අපිට බණ කියන්න නෑවිත් අපෙන් ඉගෙන ගත්තා නම් හොඳයි. අනෙක එයාලා රටවල් මංකොල්ල කන්න යුද්ධ කළාට අපි යුද්ධ කළේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව. එයාලා තෙල් වෙනුවෙන් යුද්ධ කරද්දි අපි යුද්ධ කළේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන්.

2 comments:

මාරයාගේ හෝරාව said...

කාලෙකින් දකින්න උනේ.. ඔය ගැන ලියන්නද නැද්ද කිය කිය හිත හිත ඉන්න වෙලාවක..

Bindi said...

අපි මෙච්චර කල් කොලා වගේ කරගෙන ගියොත් හොඳයි නේද බ්ලේක් උන්නැහේ . ඔබතුමන්ලාගේ උපදෙස් අරන් අනාගත්තු රටවල් අපි නොදන්නවය . ඕක සාමාන්‍ය තත්වෙට ගෙනාවේ ඔය උපදෙස් අරන් නෙමේනේ . .

 
සිය රට දේ සිරි සැප දේ !