Wednesday, September 28, 2011

මහවැලි ගොවීහු පිරිසක්‌ රජයේ පොහොර සහනාධාරය එපා කියති - පුවතක්

ඊනියා කෘෂිකර්ම විද්‍යාඥයින් සහ ආචාර්ය මහාචාර්යයින්ට කෘමි නාශක රසායනික පොහොර නැතිව හුස්ම ගත නොහැකි සමයක මහවැලි බී කලාපයේ වැලිකන්දේ ගිනිගමන ගමේ ගොවීන් පිරිසක් රජයේ පොහොර සහනාධාරය ප්‍රතික්ෂේප කර තිබේ. රසායනික පොහොර භාවිතයෙන් අක්කරකට බුසල් 120ක වී අස්වැන්නක් ලැබූ ඔවුහු කාබනික පොහොර භාවිතයෙන් බුසල් 200ට ආසන්න අස්වැන්නක් ලබති.

සහනාධාරයක් ලෙස සයනයිට් දුන්නද ඒවා ගෙන කා මැරෙන තරමට ජාතිය හිඟන මානසිකත්වයක සිටින යුගයක සහනාධාරයක් ප්‍රතික්‍ෂේප කිරීම ම ප්‍රණාමයට හේතුවකි. අද ලංකා ජාතියෙන් බහුතරය මොනයම් හෝ සහනාධාරයකින් යැපෙන හිඟන රංචුවක තත්ත්වයට පිරිහී තිබේ. එම හිඟන මානසික විසාදියෙන් මිදී සිය සම්ප්‍රදාය මත විශ්වාසය තබා දෙපයින් නැගී සිටීමට මේ කොදෙව්වේ ම අතලොස්සක් වුව තීරණය කිරීම සුබ පෙරමග ලකුණකි.

සැබවින් ම මේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වූයේ රසායනික පොහොර මුදලාලිලාගේ රන්කැට වන් වස කැට දමා මේ පොළොව කෙළෙසීමෙන් නොවේ. ඔවුන්ගේ වස ඉසීමෙන්ද නොවේ. අපේ සම්ප්‍රදාය පදනම් කරගත් අපේ වී වර්ගවලිනි. වස විස නැති පොහොරිනි. වස විස නැති කෙම්ක්‍රම ආදිය පදනම් කරගත් කෘමි පාලන, වල් පාලන ක්‍රමවලිනි.

මේ රටේ දේශ මාමකයින්ගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවට ගිනිගමන ගමේ ගොවින් ලබාදුන් පණිවිඩය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයකි. පළමු වැන්න නම් වස කොම්පැණි සහ රසායනික පොහොර කොම්පැණිකාරයින්ගේ ආධිපත්‍යයට ගොදුරු වී ඇති ගොවියා ඉන් මුදවා ගැනීමයි.

ඒ සඳහා මේ රටේ විශ්වවිද්‍යාලවල කෘෂි පීඨවලින් පිට කරන කෘෂි උපාධිධාරීන්ගෙන් රටට ලැබෙන ඵලය කුමක්ද යන්න සමාලෝචනය කළ යුතුය. උක්ත සමාගම්වලට සේවය කිරීම හැර ඔවුන් කරන දෙයක් නැත. මේ පීඨවලින් අඩු තරමේ ගෙදර කෙහෙල් පඳුරක් හරියට නඩත්තු කරන මිනිහෙක් බිහි කළේද යන්න මට නම් ගැටලුවකි.

එහෙයින් මේ පීඨවල රටේ අවශ්‍යතාව අනුව දේශීය දැනුම සම්ප්‍රදාය නමැති පදනමේ පිහිටා විදෙස් දැනුම සමග ගනුදෙනු කළ හැකි පිරිසක් බිහි කළ හැකි වන පරිදි විෂය මාලා සැකසිය යුතුය.

මෙතෙක් කල් පොහොර සමාගම් මාෆියාව අප හමුවේ වමෑරූ අසත්‍ය ප්‍රචාර දැන් ජනතාව ඉදිරියට ගෙන යා යුතුය. ඒ සඳහා රජයේ මාධ්‍යවල විශේෂයෙන් රූපවාහිනි ගුවන්විදුලි මාධ්‍යවල ප්‍රමාණවත් ඉඩක් වෙන් කිරීම ඉතා වැදගත්ය.

එහෙත් මේ රජය කරන්නේ කුමක්ද? ඉඟුරු දී මිරිස් ගැනීමය. සිගරට් මත්පැන්වලට බදු ගසා ලබා ගන්නා මුදලින් රසායනික පොහොරවලට සහනාධාර දීම වනාහි කැහි ගෑණි දී හොටු ගෑණි ගැනීමේ පිළිවෙතට එහා නොයන්නකි.

එහෙයින් රජය කළ යුත්තේ මේ මංමුලාවෙන් මිදී කාබනික පොහොරවලට වඩ වඩා සහනාධාර දෙමින් එය දිරි ගැන්වීමය. එම අස්වනු මිලයට ගැනීමට පුළුල් වෙළඳ පොලක් සැකසීමය. එය ක්‍රමයෙන් සාර්ථක වන විට රසායනික පොහොර සහනාධාර කප්පාදු කිරීමය. සිය නිවසේ කුණු ටික යළි පොහොර බවට හරවා ගැනීමේ ක්‍රමවේදය දක්වා ජන මනස සැකසිය යුතුය. වසෙන් විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ජනතාව වෙත ලබා දිය යුතුය.

එය නොතකමින් ගෙවතු දශ ලක්ෂයක් නොව විසි ලක්ෂයක් වගා කළද අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවනු ඇත. වගා කිරීම් දිරි ගැන්වීමට සාපේක්ෂව කාබනික පොහොර සහ දේශීය කෘමි පාලන ක්‍රම සහ වල් පාලන ක්‍රම දිරිගැන්විය යුතුය. දේශීය වී වර්ග නැවත නිෂ්පාදනය කළ යුතුය. රෝගවලට ඔරොත්තු දෙන බීජ වර්ග හඳුන්වා දිය යුතුය. එසේ නැතහොත් මේ සියලු වගා දිරිගැන්වීම්වල අවසාන ප්‍රතිඵලය පොහොර මුදලාලිලා සහ වස මුදලාලිලා මිලියන බිලියන ගණනින් සාක්කුවේ දමා ගන්නා අතර ඒ යාන්ත්‍රණයට ගොදරු වන රටේ ජනතාව අලිය ගිල්ල දිවුල් වැනි වනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !