Wednesday, December 22, 2010

ජාතික ගීයේ ප්‍රශ්නය

සෑම රටක ම ම සිය ජාතික උත්සවවල දී සහ රට නියෝජනය කරන උත්සවවල දී ගැයීමට ගීයක් තිබේ. එය ජාතික ගීයයි. මේ ගීතයේ වචන, ස්වර මාලාව බොහෝ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වෙයි. බොහෝ රටවල ඇත්තේ ජාතික ගී එකක් වුව ද ඇතැම් රටවල එහි පරිවර්තන තිබේ.

කැනඩාව, පිලිපීනය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ද. අප්‍රිකාව වැනි රටවල ජාතික ගීයේ කොටස් හෝ මුළු ගීතය ම භාෂා කිහිපයකින් සමන්විත වෙයි. මේ රටවල බොහෝ විට ෆෙඩරල් පාලන ක්‍රමවලට නැඹුරු කුඩා කොටස් එකතු වී සැදුණු රටවල් බව ද ලෝකයේ 200ට වැඩි රටවල් අතරින් එම ඉතා අල්පයක් බව ද පැහැදිළි ය.

ඉන්දියාවේ භාෂා 200ට අධික ගණනක් ව්‍යවහාර කළ ද ඇත්තේ එක ජාතික ගීයකි. එය රවින්ද්‍රනාත් තාගෝර්තුමා විරචිත 'ජන ගන මන' නමැති බෙංගලි ගීයයි. එය බහුතර හින්දියට පෙරළා ව්‍යවස්ථාගත කර නැත. බෙංගලී නොදත් කෝටි ගණනක් ජනතාව එය තම ජාතික ගීය ලෙස සලකා, එහි අරුත නොදැන ගයති. බුහුමන් කරති.

සිංගප්පූරු ජාතික ගීය රචනා වූයේ මැලේ බසිනි. පසුව එය ඉංග්‍රීසි, චීන මැන්ඩරීන් සහ දෙමළ භාෂාවලට ද පරිවර්තනය විය. එරට 75%ක් මැන්ඩරින් බස කතා කළ ද 13%ක් කතා කරන මැලේ බසින් රචිත මුල් ජාතික ගීය නිල උත්සවවලදී ගායනා කළ යුතු යැයි නීති පනවා තිබේ.

මෙරට ජාතික ගීය ලෙස 1951 "නමෝ නමෝ මාතා" ගීය පිළිගත් අතර එහි පද සහ සංගිතය ආනන්ද සමරකෝන් මහතා රචනා කළේ 1940 දී ය. එය 1951 සර් එඩ්වින් විජේරත්න ප්‍රමුඛ කොමිටියක් විසින් ලංකා ජාතික ගීය ලෙස යෝජනා කරන ලදී. 1962 "ශ්‍රී ලංකා මාතා" වෙනස් කරන ලද්දේ අශුභ ගණ පිහිටීමක් ඉවත් කිරීමට ය.

ලංකා ජාතික ගීයට ද දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තන තිබේ. එහෙත් නිල රාජ්‍ය උත්සවවල ගායනා කරන්නේ සිංහල මුල් ගීයයි. එසේ විවිධ පරිවර්තන තිබීම ගැ‍ටළුවක් නොවුණ ද ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ උවමනාවක් නැත. එහෙයින් 1977 ව්‍යවස්ථාවෙන් දෙමළ පරිවර්තය ව්‍යවස්ථාගත කිරීම වැරදි ය. එවන් උවමනාවක් නැත. ඉන් සිදුව ඇත්තේ නැති ප්‍රශ්න ඇති වීම පමණි.

අප ගයන්නේ ජන වාර්ගික ගීයක් නොව ජාතික ගීයයි. එය රටේ එකමුතුකම පිළිබඳ ගීයයි. එහිදී වැදගත් වන්නේ එය කුමන බසින් ද එම බස කතා කරන පිරිස කොතරම් ද යන්න නොව එය අපේ ජාතික ගීය ලෙස සැලකීමයි. එයත් විවිධ බසින් ගයයි නම් අප අතර ඇති සමගිය කුමක් ද? ජාතික ගීය භාෂා කිහිපයකින් ගැයීමට ගත් විට ප්‍රායෝගික ප්‍රශ්න ද ඇති වේ. සියලු ජාතීන් නියෝජනය කරන ජාතික උත්සවයට පිරිසක් ‍සිංහලෙන් ද තව පිරිසක් දෙමළෙන් ද සෙසු අය ඉංග්‍රීසියෙන් ද ගයන්නට වුවහොත් ඇති වන තත්ත්වය කුමක් ද? ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස, පය බරවාට පිටිකර බෙහෙත් බඳින මාදිලියේ කටයුතු නිසා සිදුවන්නේ නැති ප්‍රශ්න ඇති වීම පමණි. එහෙයින් අප කළ යුත්තේ අසල්වැසි ඉන්දියාව, සිංගප්පූරුව මෙන් ම ලොව බහුතර රටවල ආදර්ශය ගෙන එකම කොඩිය යට සිට අපේ ජාතික ගීය "අප ශ්‍රී ලංකා මාතා" ලෙස එක හඬින් ගැයීම පමණි.

2 comments:

සියාතු said...

මොහොතකට හිතමු සිංහල දෙමළ දෙපිරිසක් සහභාගී වන තැනක ජාතික ගීය ගායනා කළා කියල. සිංහල අය සිංහලෙන් කියයි දෙමළ අය දෙමළෙන් කියයි.
ආයෙ මොකුත් නෑ ඉරිද පොළ වගේ තියෙයි.

නාමල් උඩලමත්ත said...

ඒ විතරක් මදී. අපේ වැදි ජනතාව අමතක කරන්නත් බෑ. ඒ අයට වැදි බසින්. මුස්ලිම් අයට අරාබි බසින්. ගාඩි රැහේ අයට එයාලගේ බසින්. අපිට මේක උප භාෂාවලටත් ව්‍යාප්ත කරන්න පුළුවන්. අම්බලන්ගොඩ, මාතර, නුවර, කෑගල්ල, විදිහටත්. එතකොට තව හොඳයි නේද?

 
සිය රට දේ සිරි සැප දේ !