Wednesday, June 30, 2010

මෙහෙව් ආණ්ඩුවක් !

ආණ්ඩුව ගැන විපක්ෂයට ප්‍රධාන විවේචන තුනක් තිබේ. එකක් නම් සුද්දන්ට සිංහලෙන් බැණ ඉංග්‍රීසියෙන් දණ ගසා කන්නලව් කරන බව ය. සුද්දාට සිංහල නොතේරෙයි. එහෙයින් බැන්නාට සුද්දා තරහා නොවේ. සිංහලයාට ඒ බැනුම් තේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සුද්දාට ද එය තේරි ඇති බව ය. ඉන් සිංහලයා අමන්දානන්දයට පත් වෙයි. එහෙත් ඉංග්‍රීසියෙන් සුද්දාට වැඳ වැටී කරන කන්නලව් බොහෝ සිංහලයින්ට නොතේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සිංහලෙන් මෙන් ම ඉංග්‍රීසියෙන් ද සුද්දාට පලු යන්න බැන්නා කියා ය. මේ විග්‍රහයෙන් විපක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව මෙරට ජනතාව ඉදිරියේ පුරන් අප්පු චරිතය ද පිට රැටියන් ඉදිරියේ නිවට චරිකයක් ද රඟපා ජනතාව ගොනාට අන්ඳවන බව පෙන්වීම ය.

දෙවන විවේචනය ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ ගමේ හංදියේ චණ්ඩියෙකු ලෙස හැසිරෙන බවය. යුරෝපය අපට ලබා දෙන බදු සහනය ලබා ගන්නට උවමනාවක් නැත්තේ එහෙයිනි. ඔවුන් සමග කතා බස් කර එම බදු සහනය ලබා ගැනීමටවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැතැයි ඉන් කියවේ. මේ නිසා පහර වදින්නේ ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් සේවක පිරිස් වැනි දුප්පත් අසරණ ජනතාව වෙත යැයි විපක්ෂය චෝදනා කරයි.

තෙවන විවේචනය මේ ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ දණ ගසන නිවට ආණ්ඩුවකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල කොන්දේසි ඉටු කරමන් රජය මහජන සුබ සාධන අරමුදල් කප්පාදු කරමින් රට අගාධයට ගෙන යයි. මෙවර අයවැයෙන් ඒ බලවතුන්ගේ කොන්දේසි ඉටු කළ නිසා ණය මුදලක් ද ලැබිණි. ඒ අනුව සුද්දා ඉංග්‍රීසියෙන් ලියා දුන් අයවැය සිංහලෙන් කීම පමණි ආණ්ඩුව කර ඇත්තේ. එහෙයින් මේ නම් බටහිර ආධිපත්‍ය දොහොත් මුදුන් දී පිළිගත් ආණ්ඩුවකි.

සමස්ත කතාවෙන් කියවෙන්නේ ආණ්ඩුව දෙබිඩි නොව තෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවය. රට යම් ආධාර මුදලක් ගතහොත් ඒ සුද්දාට වැඳ වැටිමෙනි. යම් සහනයක් නොලද හොත් ඒ ආණ්ඩුවේ දඩබ්බරකමක් අසමත්කමක් නිසා ය. මේ පරස්පර විරෝධි අදහස් අනුව ලංකාවේ අඩු තරමින් ආණ්ඩු තුනක්වත් තිබිය යුතු ය. නැත්නම් විපක්ෂය මේ ආණ්ඩුව කුමක් කළත් එය විවේචනය කරන අන්ත පටු තැනකට පිරිහී තිබිය යුතුය.

මේ සත්‍ය දකිනවුන් ආණ්ඩුවේ බත් බැලයෝ ය. ITN බලමින් රජයට කඩේ යනවුන් ය. උන්ට ආණ්ඩුවෙන් බ්ලොග් ලියන්න සල්ලි ලබා දෙයි. එහෙත් විපක්ෂය කියන මේ සියලු කතා යළි වමාරන්නේ ලෝකය අතැඹුලක් සේ දත් මහා ප්‍රාඥයෝ ම ය .

6 comments:

Haru said...

ලස්සනට ලියල තියෙනව....හැමෝම දකින මානයට එහා ගිහින්. සිරාවටම ඇත්ත කතාව. මුන්ට කන කොට කබරයද, තලගොයාද කියල වගක් නෑ

Anonymous said...

කසාපබ්බත,
ඔබ පටලවාගෙන ඇති බව පෙනේ...

පළමු විවේචනය ඇත්තයි.
"සිංහලෙන් බැන, සුද්දා ලග ඉංග්‍රිසියෙන් පින්සේන්ඩු වී, ආණ්ඩුව මෙරට ජනතාව ඉදිරියේ පුරන් අප්පු චරිතය ද පිට රැටියන් ඉදිරියේ නිවට චරිකයක් ද රඟපා ජනතාව ගොනාට අන්ඳවන බව."

දෙවන විවේචනය ද ඇත්තයි.
"ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ ගමේ හංදියේ චණ්ඩියෙකු ලෙස හැසිරෙන බව."
කසාපබ්බතටත්, ආණ්ඩුවටත් නොදන්නවාට සුද්දාගේ ඇම්බසියට සිංහලෙන් දමන චන්ඩි පාට් වල ඉංග්‍රිසි පරිවර්තනය ලැබේ.
සෑම තානාපති කාර්යාලයකම අදාල රටේ භාෂා කතා කරන ඒ රටේ සිදුවීම් ගැන විමසිලිමත් වන කණ්ඩායමක් සිටී.

පළමු විවේචනය ඇත්ත නිසාත්, සුද්දා සිංහලෙන් කරන බැනීම සහ ඉංග්‍රිසියෙන් කරන පින්සේන්ඩුවද දෙකම සුද්දා දන්නා නිසා, සුද්දාට පේන්නේ ආණ්ඩුව මෝඩ චන්ඩියෙක් ලෙස ය.
මෙනිසා පළමු විවේචනය හා දෙවන විවේචනය පරස්පර නොවන අතර, පළමු විවේචනයට සුද්දාට සිංහලද තේරේන බව එකතු කල විට දෙවැනි විවේචනය ද ඔප්පු වේ.

තෙවැනි විවේචනය ද ඇත්තයි.
"මේ ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ දණ ගසන නිවට ආණ්ඩුවකි."
ඒ ගැන ඔබ ලියා ඇති හේතු පාඨයම ඊට ප්‍රමානවත් සාක්ෂියකි.

මේ අනුව, සාමාන්‍ය තර්කනය ගැන මූලික අවබෝධයක් ඇත්නම් මේ විවේචන තුන පරස්පර විරෝධී නොව, එකිනෙකට එකඟ ඒවා බව පෙනේ.

දේශපාලුවා said...

නාමල් උඹේ නීරීක්ෂනය 100% ක් ම හරි, විoමසා උඹට වයර් මාරුවෙලා. මේ ආන්ඩුවට එදා ඉදන්ම පැහැදිලි විදේෂ ප්‍රතිපත්තියක් තිබුනා, ඒ නම් "අපේ අභ්‍යන්තර කටයුතු අපි බලා ගන්නම්, ආර්ථික සම්බන්දතා එලෙසම පවත්වාගෙන් යමු" යන ප්‍රතිපත්තියයි.

පැහැදිලි ප්‍රතිපත්තියක් නැත්තේ විපක්ෂයේ විදේෂ ප්‍රතිපත්ති විවෙචනයටයි, ඔන්න පටලවා ගන්න එපා, විපක්ෂයටත් පැහැදිලි විදේෂ ප්‍රතිපත්තියක් තියෙනවා, ඒ නම් සුද්දා ඉදිරියේ දනින වැටී උන් කියන සියළුම දේ හිස් මුදුනින් පිලිගැනීමයි (රනිල් අගමැති කාලේ මිනිහගේආර්ථික උප්දෙශකත් සුද්දෙක්).

නමුත් මෙක ජනතාවට පෙන්නන්න බැහැ, මේ ප්‍රතිපත්තිය දේශපාලන වශයෙන් පරාජිත ප්‍රතිපත්තියක්. මේ නිසා UNP ප්‍රමුඛ විපක්ෂයට සිදුවෙනවා තමන්ගේ නියම ප්‍රතිපත්තිය ජනතාවට නොකියා, ආන්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි බව ජනතාවට කියන්න. ඒ අතරම සුදු මහත්තුරුන්ගේ තරහා අවුස්සන්නත් විපක්ෂයට බැහැ. මීට අමතරව ආන්ඩුව ඉතාම ප්‍රබල හා විපක්ෂ්ය සඛ්‍යත්මක වශයෙන් ඉතාම දුර්වල වීමත් නිසා විපෂය ඇතුලේ විවිධ මත තිබෙන බවක් වත් විපක්ෂය ඇතුලේත් මත ගැටුමක් තිබෙන බවක වත් ඔවුන්ට පෙන්නන්න බැහැ.
මෙන්නමේ උභතෝකෝටිකයේ ඉදන් විපක්ෂය කරන කතා තමයි අපට පේන්නේ.

නාමල් උඹේ නීරීක්ෂනය මම විග්‍රහ කරන්නේනම් ඔහොමයි

නාමල් උඩලමත්ත said...

Haru,
ඔයාගේ කතාව ඇත්ත. මේ රටේ විපක්ෂයට අනුව ආණ්ඩුව කවදාවත් හොඳ දෙයක් කරලා නෑ. කරා නම් නරක විතරයි. හොඳ දෙයක් වුණා නම් ආණ්ඩුව ඒ වැඩේට සම්බන්ධ නෑ. නරක දෙයක් වුණා නම් ඒක කළේ ඉන්තේරුවෙන් ම ආණ්ඩුව. ඕන හොඳ දෙයක් නරක දෙයක් කියලා පෙන්නන එක තමයි මේ විපක්ෂයේ කාර්යභාරය. මේවා දකින ජනතාව ආණ්ඩුවේ සුළු සුළු වැරදි පවා අමතක කරලා ආණ්ඩුව ආරක්ෂා කරනවා.
wimansa,
ඔයා තමා ලස්සනට පටලවා ගෙන තියෙන්නේ. ඒක ඔයාගේ කමෙන්ට් එක කියවන ඕන කෙනෙකුට තේරෙනවා. සුද්දාගේ තානාපති කාර්යාලවල පරිවර්තකයින් සිටින බව නොදන්නේ කසාපබ්බත ද? නැතනම් එහෙම ආණ්ඩුව විවේචනය කරන විපක්ෂය ද?
ආණ්ඩුව සුද්දන්ට සිංහලෙන් බැණ ඉංග්‍රීසියෙන් දණ ගසා කන්නලව් කරන බව කියන්නේ විපක්ෂය මිස ආණ්ඩුව ද?
සුද්දා සිතන්නේ මෙරට ඇත්තේ මෝඩ ආණ්ඩුවක් කියා නම් එය සහ මා දැක්වූ විපක්ෂයේ තෙවන විවේචනය සමාන වන්නේ කෙසේ ද? එහි දක්වා ඇත්තේ මගේ අර්ථ දැක්වීම් නොව විපක්ෂයේ අර්ථ දැක්වීම් බව ඔබට නොතේරිණි ද?
මෙරට තිබෙන්නේ මෝඩ ආණ්ඩුවක් යැයි සිතන්නේ මුල් සිඳුණු බටහිර ගැති දීන පැලැන්තිය මිස සුද්දා නොවේ. සුද්දා මේ ආණ්ඩුව දණ ගැස්සවීමට විවිධ උපක්‍රම යොදවන්නේ එය ඔවුන්ගේ උවමනා එපාකම් ඉටු කර ගැනීමට බාධාවක් හෙයිනි.
මේ විවේචන තුනේ ඇති පරස්පර විරෝධි බව යමෙකුට තේරුම් ගැනීමට නොහැකි නම් අපට ඔවුන් කෙරෙහි අනුකම්පා කරනු විනා කළ හැකි යමක් නැත.
දේශපාලුවා,
උඹ හරියට හරි. විපක්ෂයට විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා. උදේ හවා 'සුද්දන් සරණං ගච්ඡාමි' කියලා සුද්දගේ දෙපතුල ළඟ වැඳ වැටිලා සුද්දා කියන විදිහට රට කොරන එක. මොකද සුද්දට තමා ආණ්ඩු කොරන්න තේරෙන්නේ. මේ හම්බන්තොට ගොඩේ සිංහලයෙකුට පුළුවන් ද ටයි කෝට් කලිසම් අඳින සුද්දා වගේ ආණ්ඩු කොරන්න. මේ රටේ ඉන්නවා තාම නියම නාම්බෝ ටිකක්. සුද්දා පස්ස පැත්ත හෝදන්නේ නෑ කියලා මුන් අපිටත් කියාවි හෝදන්න එපා කියලා. දේශපාලුවෝ උඹ එහෙම කීවොත් මොකද කරන්නේ?

ජනතාව මේ බටහිර ගැතිකමට කැමති නෑ. ඒ නිසා උඹ කීවා වගේ මුන් හදන්නේ මේ ආණ්ඩුවත් අපි වගේමයි සුද්දාට වඳිනවා කියලා පෙන්නන්න. අනෙක් පැත්තෙන් අඟවනවා මුන්ට වඩා හොඳට අපිට සුද්දට වඳින්න පුළුවන් ඒ නිසා අපිට බලය දෙන්න කියලා. ඇත්තට ම කරන්න හදන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ බටහිර ගැති ප්‍රතිපත්තියට සුජාතභාවයක් දීලා, ඒක ආයේ රජ කරවන්නයි. මේ විපක්ෂය සුදානම් නෑ ජනතා මතයට හිස නමන්න. ඒ ගැන අවදියෙන් හිටහන් දේශපාලුවෝ.

රෙහාන් said...

මම හැමදාම මේක බලනවා.. සිර බ්ලොග් එක මචන්! :)

නාමල් උඩලමත්ත said...

රෙහාන්,
සතුටුයි උඹ හැමදාම මේ පැත්තේ එනවා කියලා ඇහුව ම. මම කැමතියි උඹත් මගේ අදහස් ගැන උඹේ අදහස් ලියනවා නම්.

 
සිය රට දේ සිරි සැප දේ !