Monday, June 21, 2010

මා ශ්‍රී ලාංකිකයෙකු නොවේ ද?

තමන් සිංහලයෙකු වීම ගැන දුක්වන සිංහලයෝ අප අතර වෙති. ඔවුන් ඊට වඩා දුක්වන්නේ තමා සුද්දෙකු නොවීම ගැන ය.එමෙන් ම මෙරට සිටින ඇතැම් දේශප්‍රේමි කොටස් පවා තමා ශ්‍රී ලාංකිකයෙකු යැය කීමට කැමැති ය. මේ රටේ සියලු ප්‍රශ්නවලට මුල අප එක ම ජාතියක් ලෙස නොසිතීමය යන සිතිවිල්ල ඔවුන්ගේ සිත්වලට කවා තිබේ. එනම් අප සිංහල, අප දෙමළ, අප මුස්ලිම් යැයි සිතීම රටේ ජන කොටස් අතර අසමගිය වර්ධනය කරන බව ය. එසේ තම සිංහල හංවඩුව ජාතීන් අතර අසමගියට හේතු වේ නම් එය සඟවා ගෙන වුව සිටීමට මේ දේශප්‍රේමි කොටස් කැමති ය. මේ මතය ඔවුන් තුළට කාවද්දා ඇත්තේ රටේ බුද්ධිමතුන්ය කියා ගන්නා පිරිසක් විසිනි. ඔවුන් මේ මුලාවට හෙලුවේ බහු-සංස්කෘතිය නම් බහුබූතය විසිනි.

මේ බුද්ධිමතුන් පවසන්නේ ඉන්දියානුවා ඉන්දියානුවෙකු ලෙස සිතන බව ය. ඇමරිකානුවා ඇමරිකානුවෙකු ලෙස සිතන බව ය. චීන ජාතිකයා චීනෙකු ලෙස සිතන බව ය. එහෙත් අප එසේ නොසිතන බව ය. මේ පිට රැටියන් සිතන අයුරු පෙර කී උගතුන් දන්නේ කෙසේ ද? ඔවුන් පරචිත්ත විජානන ඥානය ඇතිවුන් ද? මේ සඳහා ඇත්තේ ක්‍රම කිහිපයකි. එක්කෝ ඔවුන් මේ විදේශිකයින් හා කතා කර තිබේ. නැත්නම් අනෙකෙකුගෙන් අසා දැනගත්තකි. ඔබ හා ඉන්දියානුවෙකු කතා කරන විට ඔහු තමා හඳුන්වා දෙන්නේ ඉන්දියානුවෙකු ලෙස ය. එය ප්‍රමාණවත් ය. ඔබ ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රදේශ ගැන නොදන්නකු වීමට ඇති ඉඩ බොහෝ ය. එහෙයින් මම ඉන්දියාවේ නවදිල්ලියට වයඹින් තියෙන ස්වරූප් නාගර් කොළනියේ කෙනෙක් යැයි කීම නිශ්ඵල ය. ඔහුගේ කුලය, ගෝත්‍රය ගැන ඔබට කිසිදු අවබෝධයක් නැත. අසල්වැසි රට ගැන තත්ත්වය එසේ නම් අන් රටවල් ගැන කවර කතා ද?

එහෙයින් ඔහු ඔබට කින්නේ මූලික තොරතුර පමණි. ඉන් එහා යාමට නම් ඔබට ඒ රට තොට, සංස්කෘතිය ගැන පුළුල් අවබෝධයක් තිබිය යුතු ය. එහෙත් එවැන්නක් නැති තැන ඔහුගේ තොරතුරු සීමාවෙයි. එහෙයින් මෙවන් දැනුමකින් ඔහු ඉන්දියානුවෛකු, චීනෙකු ලෙස සිතනවා යැයි ගැනීම විහිළුවකි. එමෙන් ම ඇමරිකාව වැනි රටවලට ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයකි. ඔවුන් යුරෝපයෙන් පැමිණි රතු ඉන්දියානු සංස්කෘතිය පාගා, එකම යුරෝපීය සංස්කෘතියක් පෝෂණය කළා පිරිසකි. එවන් සාධක ද එහිලා බලපායි. සැබවින් ම සිදුවන්නේ ඔවුන් තුළ ඇති විවිධ අනන්‍යතා, වෙනස්කම් අප වෙත අනාවරණය නොවීම පමණි. අපේ රටේ පුද්ගලයෙකු හමු වූ විට 'මම ශ්‍රී ලාංකිකයෙකු' යැයි ඔබට කිවහොත් ඔහුගේ මොළයේ අමාරුවක් තිබේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව ඔබට දැනගැනීමට අවශ්‍ය නැත. එය ඔබ දනියි. ඔබට අවශ්‍ය ඔහුගේ ගම් පලාත ආදි විස්තර ය. දෙදෙනාම එක රටක වීම සහ ඒ පිළිබඳ පොදු දැනුම නිසා ඔබ අතර වඩා දිගු සාකච්ඡාවකට ඉඩ ලැබේ. එවිට ඔබට අර ශ්‍රී ලාංකිකයාගේ තොරතුරුවල ගැඹුරට යෑමට හැකි වෙයි. ඒ මත සිට ඔබ ඔහු ශ්‍රී ලාංකිකයෙකු ලෙස නොසිතතියි ගැනීම ද වැරදි ය. ඔහුට විදේශිකයෙකු හමු වූ විට ඔහු කියන්නේ තමා ශ්‍රී ලාංකික බව ය. එහෙයින් මම ඔබට සිංහල යැයි කියමි. විදේශිකයෙකුට නම් මම ශ්‍රී ලාංකික යැයි කියමි.

2 comments:

විහඟ ගීතය said...

රුපුන් එඩි බිඳ විදෙස් බලමුලු බොහෝ කල් පි‍ටු දකිමිනේ
උපන් ගති පෙන්වමින් සිංහල ගතිය සියවස් බැබලුනේ
රකින්නට දැය,සමය රට දිවි දෙවැනි කොට පාමින් සෙනේ
එවන් පුතුනගේ දෑභිමානය කෙලෙසකද සුන්නත් උනේ

නාමල් උඩලමත්ත said...

ඉතිහාසයට පවරා දෑ අභිමානේ
නිවටව වකුටි වී මතුවී අවමානේ
රජවරු සොයන තුරු රැස් පිට රට පානේ
හෙළයා හිඟනු ඇත මග කඩපිල් ගානේ

 
සිය රට දේ සිරි සැප දේ !