Saturday, June 19, 2010

එජාපයේ මහ සිකුරාදා

විය යුතු පරිදිම එජාපය හමුදා විජයග්‍රහන සැමරුමින් කර ඇරියේ ය. ඒ ඉසව්වට රෙදි ඇඳගෙන යාමට තරම් හැකියාවක් එජාප නායකයින්ට තිබුණේ නැත. තමන් ඊට නොගිය ද කැමති අයට ඊට අවසර දීමට එජාප නායකයාට නම්‍යශීලි වීමට සිදුවීම, පක්ෂය තුළ යැංකි පැංකි රොත්ත වෙනුවට රටට හිතැති පිරිස ක්‍රමයෙන් පිබිද එන බවට සාක්ෂියකි. අපි ඒ ගැන සතුටු වන්නෙමු.

තොප්පිගල කියන්නේ මහා කැළයක් බවත් නැගෙනහිර අඥාපති තොප්පිගල සෙව්ව ද සිතියමේ ඇත්තේ baron's cap යනුවෙන් බවත් කියමින් රණවිරුවන්ගේ අභීත ජයග්‍රහණය පමණක් නොව ඔවුන්ගේ දැනුම ද හෑල්ලුවට ලක් කළේ රනිල්වික්‍රමසිංහ ශූරීන් ය. හමුදාව කිලිනොච්චි යනවා යැයි කියා මැදවච්චි යන බව පවසමින් ද නැගෙනහිර ඇල්ලුවට හැකි නම් වන්නිය අල්ලා පෙන්වන්නැයි වහසි බස් දොඩා අපේ හමුදාවේ චිත්ත ධෛර්යය බින්ඳේ අද ජාතික ඇඳුමට බැස සිටින රවින්ද්‍රන් කරුණානායගම් ය. ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියා රටේ හමුදාවේ ගොනුන්ට සම කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ය. තර්ජිත ගම්මානවල සයිරන් නළා බෙදා දෙමින් කොටි එන විට සිංහලයාට දුවන්න උපදෙස් දුන්නේ, රටේ පිරිසක් කොටි මරණ වරෙන්තු කරේ එල්ලා ගෙන දිවි ගෙවු යුගයක කොටි පාලනයේ පැවති මඩු පල්ලියට නිතර දෙවේලේ දිව ගිය කොටි මිතුරු ජයලත් ජයවර්ධන ය. ඉතින් මොවුන්ට එය විජයග්‍රහණයක් නො ව ශෝක සතියකි. මහ සිකුරාදා මෙන් දුක්ඛදායක දිනයකි.

රෙදි ඇඳගෙන ගාලු මුවදොරට ගොස් පීඨිකාවේ වාඩිවීමට මොවුන්ට හැකියාවක් නැත. ඒ නිසා කළ යුතු වූයේ කුමක් හෝ හේතුවක් දක්වා ඊට නොයා සිටිම ය. එය ගියාට වඩා හුඟක් හොඳ ය. මොවුන් එතැන සිටියා නම් එහි අභිමාණයට කැළලකි. ඔවුන්ට ඒ උත්තමාචාර බලා සතුටු විය හැකි නම් වයිකෝ, නැදුමාරන්, රුද්‍රකුමාර් සහ ඇතැම් බ්ලොග්කරුවන්ට ද ඉන් සතුටු විය හැකි වනු ඇත. ඒ නිසා සිංහල නාමධාරී වයිකෝලා, රුද්‍රකුමාරන්ලා නාවාට අපට කම් නැත. ඒ ගැන අපි අපේ බලවත් සතුට ප්‍රකාශ කරමු. මව්බිම හමුවේ අපට පක්ෂ, පාට වැදගත් නැත. ඒ සියල්ල ට වඩා මව්බිම අපට උතුම් ය. කෙසේ වුව ද සජිත් ප්‍රේමදාස ඇතුලු එජාපයේ රටට හිතැති පිරිසක් එහි සපැමිණියහ. අපි ඔවුන් හදවතින් ම වැළඳගන්නෙමු. ඔවුන්ට සුබ පතන්නෙමු.

4 comments:

විහඟ ගීතය said...

නොදී ඉඩක්, ආපසු නොහැරී බැලුව
බෙදී වෙන්ව ගිය රට එක් තැන් කෙරුව
මිදී අඳුරු යුගයෙන් අරුනළු හෙලුව
රිදී නිමේශෙත් යූ එන් පිය ගොළුව

නාමල් උඩලමත්ත said...

දෙකඩ කරන්නට මව්බිම දිය ඇදපු
මෙරට නොරට පරයින් හා නිදිවැදපු
සතුරු සෙනඟ වෙත ජය පතමින් හිටපු
නිවටුන් මොටද කොටි ගැන කඳුලැල් හලපු

විහඟ ගීතය said...

නොදත් කිසිත් අඳ ගොලු බිහිරි චරිතයේ
වයත් නිතින් වීනා බීහිරි අඩවියේ
රටත් දැයත් නොව,ගජ මිතුරු පාටියේ
බලත් ය උන් තවමත් මාලු බොරදියේ

රෙහාන් said...

සිරා ලිපිය මචන්.. Keep It Up :)

 
සිය රට දේ සිරි සැප දේ !