Thursday, June 17, 2010

ටියුෂන් සපුරා තහනම් කරනු!

ඉරිදා ටියුෂන් තහනම් කිරීම පිළිබඳ විරෝධය පළ කර ඇතැම් බ්ලොග් අඩවිවල ලිපි ලියා ඇති අතර ඇතැමෙක් ඊට පක්ෂව කරුණු දක්වා තිබේ. මේ විරෝධතාකරුවෝ සමස්තයක් ලෙස ආණ්ඩුව කරන ඕනෑ ම දෙයක් විවේචනය කිරීමට සැදී පැහැදී සිටින අය බව කිව යුතු නොවේ. දෙස් විදෙස් බලවේග සමග එක පෙළට සිට යුද්ධයට එරෙහිව ලියුවෝ මොවුහු ය. බටහිර තානාපති කාර්යාල සමග එක්ව ෆොන්සේකා ජනපති කරන්නට ලියුවෝ මොවුහු ය. බුදු හාමුදුරුවෝ ළමා අයිතීන් උල්ලංඝණය කොට ඇතැයි ලියුවෝ මොවුහු ය. රටට සෙතක් වන ඕනෑ ම දේකට මොවුන් විරුද්ධ ය. රටේ සම්ප්‍රදාය, සංස්කෘතිය, හර පද්ධතිය දවා හළු කරන ඕනෑම ගින්නකට පිදුරු දමන්නටය; මොවුන් බලා ඉන්නේ. අතට හසු වන ඕනෑ ම දෙයකින් ගැසීමට පුලපුලා සිටින හෙයින් සිතන්නනට වෙලාවක් නැත. නැතහොත් උපතින් ම සිතන ශරීරාංගය ලැබී නැත.

ඉරිදා ටියුෂන් තහනම් කිරීමෙන් සිංහල බෞද්ධයාට විශේෂ වාසියක් අත්වීය යන සාවද්‍ය මතය මේ කුකුල් කේන්තියට ප්‍රධාන හේතුව වී තිබේ. එහෙත් කතෝලික, හින්දු, ඉස්ලාම් ඈ සියලු දෙනාට මේ නිසා ඉරිදාට සිය දහම් අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩහසර හිමි වෙයි. එදින සිය දේවස්ථානයට, කෝවිලට, පල්ලිට ගොස් ආගමික කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. බෞද්ධ දහම් පාසැල් බිහිවූයේ පල්ලියේ දහම් පාසැල ආදර්ශයට ගෙන බව මේ කූප මණ්ඩුකයෝ නොදනිති.

ඉරිදා ටියුෂන් තහනම රටේ වර්ගවාදය පැතිරීමට, ජාතීන් අතර බෙදීම් ඇති වීමට, ළමා අපචාර ඉහළ යාමට, ළමයින්ගේ සිතීමේ ශක්තිය වියැකීමට හේතු වෙතැයි මේ ඊනියා බුද්ධිමත්හු දෙසති. තම දරුවා කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන්නේ තමත් බව තවත් බක පණ්ඩිතයෙකුගේ නරිවාදමකි. පෙර කී ඊනියා බුද්ධිමත්තු අඩුතරමේ අනුන්ගෙන් හිඟා ගත් මතවාදවත් පුරරුච්චාරණය කරති. එහෙත් මේ බක පණ්ඩිතයා තවමත් රාජ්‍ය නමැති සංකල්පය බිහි නොවු ප්‍රාග් ‍ඓතිහාසික යුගයක ජීවත් වන බව පෙනේ. මේ අවිචාරවත් මනස් පුත්තු දෙසන වැදි බණ අසා සාධුකාර දෙන්නට උප්පැන්නේ බෞද්ධයෝ ද, බෞද්ධ වේශධාරියෝ ද දෑත් නළලේ බැඳ බලා සිටිති.

ටියුෂන් යනු නිදහස් අධ්‍යාපනය ගිළගත් මහා පිළිලයකි. එය විභාග කේන්ද්‍රීය භයානක මාෆියාවකි. එහි කිසිදු විෂයක් නූගන්වයි. එහෙත් වසර ගණනාවක ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන ටියුෂන් මාස්ටර්, ළමයි ලවා අනුමාන ප්‍රශ්නවලට උත්තර කටපාඩම් කරවයි. විභාගයේ දී සිදුවන්නේ තමන් තුළ නොමැති දැනුමක් ඇතැයි උත්තර පත්‍ර පරික්ෂක රැවැට්ටීම පමණි. එහෙයින් කළ යුත්තේ මේ මාෆියාව සපුරා තහනම් කිරීමයි. අඩපණ වී ඇති පාසැල් පද්ධතිය යළි නඟා සිටුවීමයි. එවිට නිදහස් අධ්‍යාපනය මේ පොළවේ සැබෑ යථාර්ථයක් වනු ඇත. ළමයාගෙන් උදුරාගත් ළමා කාලය ඔහුට යළි ලැබෙනු ඇත. සැබෑ බුද්ධිමතුන් රටට බිහි වනු ඇත.

2 comments:

මාරයාගේ හෝරාව said...

හුගාක් දෙනෙක් මෙ තිත්ත ඇත්ත පිළිගන්න කැමති වෙන එකක් නැහැ.
නමුත් මා ඔබ සමග එකගයි.
ටියුෂන් කියන්නේ ළමා අයිතිවාසිකම් අමු අමුවෙ මරා දමන වැඩිහිටියන්ගේ ජරා සෙල්ලමක් විතරයි.

නාමල් උඩලමත්ත said...

මේවා තේරුම්ගන්න නම් මහපොළවේ ජීවත්වෙන්න ඕන. හුඟක් බ්ලොග්කාරයෝ ඉන්නේ හඳේ. (ඔක්කොම නෙමේ) මේකේ තියෙන වඩාත් ජුගුප්සාජනක දේ තමා ටියුෂන් ළමා අයිතිවාසිකමක් ලෙස සිතන්න පෙළඹීම. ඒ අතර ඉහළින් ම ඉන්නේ සිංහලෙන් (යන්තම්) ලියන්න දන්න, ඒත් නිවහල්ව සිතන්න බැරි පරගැති බ්ලොග්කාරයෝ රැළක්. තව ටික කාලයක් උතුරේ ප්‍රභාකරන් හිටියා නම්, මුන් අපිට කියාවි තුවක්කු දැරීම ළමා අයිතියක් කියලා. අධ්‍යාපනය විකුණනවා කියා, විධිමත් විදිහට ලෝකයේ තියෙන හොඳ විශ්වවිද්‍යාල මේ රටට ගේනවට විරුද්ධව කෑ ගහපු ඈයෝ, නිරිලජ්ජි විදිහට කිසිදු ප්‍රමිතියක් නැති ව මූලික අධ්‍යාපනය විකුණන මුදලාලිගෙන් අධ්‍යාපනය බේරගන්න සටන් නොකර එහි මුරදේවතාවෝ විදිහට රඟපෑමෙන් බුද්ධියේ දිළිඳු බව පැහැදිළි වෙනවා.

 
සිය රට දේ සිරි සැප දේ !