Saturday, June 12, 2010

විපක්ෂයට මල් මිටක්

රටට අහිතකර, අවාසිදායක සීපා ගිවිසුම රටට ම සඟවා අත්සන් කිරීමට එජාපය විරුද්ධ යැයි කබීර් හෂීම් මහතා කීවේ ය.හිරිකිත රෝෂාන්ලා මෙරටට ගෙන ආ අයිෆා වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම වහා හෙළිදරව් කර ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය ආරක්ෂා කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිංහනාද කළේ ය.ආණ්ඩුව කරන හැමදේට ම පක්ෂවීමට නම් විරුද්ධ පක්ෂයක් අවශ්‍ය නැත. එමෙන් ම ආණ්ඩුව කරන හැමදේට ම විරුද්ධවීම ද වගකිව යුතු විපක්ෂයක ලක්ෂණයක් නොවේ.

විරුද්ධ පක්ෂයක් විරුද්ධ විය යුත්තේ ආණ්ඩුවේ වරදකට ය.එසේ විරුද්ධ වීම සාධාරණීකරණය සඳහා ජනතාව අබිමුව ඔවුන්ට තැබිය හැකි ප්‍රබලතම සාක්ෂිය තමන් ආණ්ඩු කරන සමයේ ද මේ වැරදි නොකළ බව නැතහොත් ඊට විරුද්ධ වූ බව පෙන්වා දීම ය.මෙදා විරුද්ධවීමේ පදනම එදා තමන් බලය හොබවන කල ආරක්ෂා කර තිබිණි නම් කිසිවෙකුට විරුද්ධ පක්ෂය අවස්ථාවාදී යැයි කිව නොහැකිය.අතීතය අමතක නැති අය ඉදිරියේ මේ සිංහනාදය, උඩුබිරුමක් වන්නේ ද නැත.රටේ දැයේ විරුද්ධ පක්ෂය වෙනුවෙන් ලියන තුප්පහි රෑන ආතක් පාතක් නැතිව අසරණ වන්නේ ද නැත.එහෙත් අවාසනාවට සිදු නොවන්නේ එයමය.

මේ විරුද්ධ පක්ෂ නායකයා එදා මෑත ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු අත්සන් කළ වඩාත් රටට අහිතකර ගිවිසුම අත්සන් කළේ ය.ඒ රනිල් වික්‍රමසිංහට දොන් ජුවාන් ගෞරව උපාධිය දිනාදුන් ඊනියා සටන් විරාම ගිවිසුම ය.මොහු ජේ.ආර්.ඉන්දියාව සමග ගිවිසුම් ගසා ඉන්දිය හමුදාව මෙරටට ගෙන්වූ ආණ්ඩුවේ ද සිටියේ ය.තව ම බල පවත්වන ඉන්දු-ලංකා ගිවිසුම තම පාලන කාලය තුළ පවත්වා ගෙන ගියේ ය.මේ සියල්ල සිදුවන කල කබීර් හෂීම් මහතා ද යහතින් එජාපයේ සිටියේ ය.ඒ කිසිවකට මොවුන් විරුද්ධ වූ බවක් දන්නෙක් නැත.

රට දෙකඩ කිරීමේ අවසන් මොහොතට රට දක්කා ගෙන ගිය සටන් විරා ගිවිසුම අත්සන් කළ, රටේ ස්වෛරීත්වයට අභියෝග කළ ඉන්ද-ලංකා ගිවිසුම අනුමත කළ මේ අයට විරුද්ධවීමට තරම් බරපතළ ගිවිසුමක් මේ රජය අත්සන් කර තිබේ ද? එසේ අත්සන් කර ඇත්නම් විරුද්ධ වීමට හැක්කේ එදා අර ගිවිසුම්වලට ද විරුද්ධවූ අයට ම නොවෙද? ඒ පව්වලින් අපිරිසිදු වූ නොවු අත්වලට නොවෙද? රජය ගැසූ ගිවිසුම් හෙළි කරන්නැයි පැවසීමට නම් තමන් ගිවිසුම් ගැසීමට පෙර ඒවා රටට ඉදිරිපත්කර තිබිය යුතු නොවෙද? අනුන්ට ඇඟිල්ලක් දිගු කරන විට තමන් වෙත ඇඟිලි ගණනාවක් දිගු වී ඇතැයි සිතිය යුතු නොවද?මේ අවස්ථාවාදී හැසිරීම් ගැන අප සවිඥානික වීම සහ ඒවා හෙළිදරව් කිරීම ආණ්ඩුවට කඩේ යාමකැයි කීම කෙතරම් යුක්ති සහගත දැයි බුද්ධිමත් පාඨකයින් සිතා බැලිය යුතුය.

කෙසේ වුව ද ජනතාවට රටට ජාතියට මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන ජයග්‍රහණයක් දිනා ගැනීමට පක්ෂ විපක්ෂ බේද ඉවතලා සියලු දෙනා එක්වීම මෑතදී අපට දැකිය හැකි විය. ඒ සිය මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන එන සුඛෝපභෝගී රථයේ බදු වරප්‍රසාදය ඇ.ඩො.35000 සිට ඇ.ඩො.50000 දක්වා ඉහළ දැමීමට ය.එසේ ආණ්ඩුව රට වෙනුවෙන් ගත් තීරණය අනුමත කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පරයා විපක්ෂ මන්ත්‍රීවරු පෙරමුණ ගැනීම ගැන ද අපි සතුටු වෙමු.

මෙසේ බලන කල විපක්ෂය සැම විට ම රටට අහිතකර සීපා වැනි ගිවිසුම්වලට විරුද්ධ බවත් රටට හිතකර බදු වරප්‍රසාද වැනි දේට පක්ෂ බවත් අප අවබෝධ කරගත යුතුය. දැන් අප සීපා ගිවිසුමට පක්ෂ බව කීවේ යැයි යමෙක් මෙහි ලිවීමට සැරසේ නම් යළි මගේ ලිපිය කියවන්නැයි අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.

4 comments:

Sunanda said...

සීපා එලිදරවු කල යුතුද නැද්ද?ඒ ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?
එය හෙලිදරවු කල යුතුය යන්න ඔබේ ස්ථාවරය නම් ( එය මගේද ස්ථාවරයයි ) ඒ බව විපක්ෂය කීමේ වරද කුමක්ද?
විපක්ෂය මෙහිදි කරල තියෙන්නෙ හරි දේ නෙමෙයිද?
රටට හොරෙන් සීපා ගහන්න යන ආන්ඩුවට දොස් නොකිය ඒක හෙලි කරන්න කියන විපක්ෂයේ අතීත කැරැට්ටු අවුස්සන එකේ තේරුම මොකක්ද?
කබිර් හෂිම් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කල කාලයේ කට පියාගෙන හිටපු නිසා අද සීපා අත්සන් කරද්දි කතා කරන්න ඔහුට අයිතියක් නැහැ කියන එක කොච්චර තාර්කිකද?එහෙම ඉතිහාස කතා ඇදල ගන්නව නං චන්ද්‍රිකා කොටි එක්ක සටන් විරාම ගහපු කාලෙ පූසා වගේ කට පියාගෙන හිටපු මහින්ද රාජපක්ෂට රනිල්ගෙ රට පාවාදුන්න ගිවිසුම් ගැන කතාකරන්න අයිතියක් නැහැ නේද?
වියරු වැටුන වගේ කියවගෙන යන්නෙ නැතිව මේ අහල තියන කෙටි ප්‍රශ්න ටිකට පුලුවන් නං උත්තර දෙන්න.

නාමල් උඩලමත්ත said...

kalyani,
ඔබ මගේ ලිපිය යෝනිසෝමනසිකාරයෙන් එහෙම නැත්නම් එළඹි සිහියෙන් කියවලා නැති බව විතරයි මේ කමෙන්ට් එකෙන් පේන්නේ. ඔබේ මුල් ප්‍රශ්න දෙක ගැන කිසිම අවුලක් නෑ. සීපා ගැන රටට හෙළි කළ යුතුයි. සීපා ගැන මගේ ස්ථාවරය නම් එය දෙරටේ ම සුබ සිද්ධියට ඉවහල් විය යුතුයි. වාසි සම සේ බෙදී යා යුතුයි. දේශීය ව්‍යාපාරික‍යින් ඊට විරුද්ධව ගෙන එන කරුණු බරපතළ ලෙස සලකා බැලිය යුතුමයි. ඒ ගැන සාවධාන විය යුතුයි.

එය හෙළිදරව් කළ යුතු යැයි විපක්ෂය කීමේ වරද නම් ඒ විපක්ෂය බලයේ සිටින විට එසේ ක්‍රියා නොකිරීමයි. ඕක අපේ පැරණි කවියෙක් නීවේ මෙහෙම.
'ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි'
තමන් ආරක්ෂා නොකළ සිල්පද අනුන්ලවා ආරක්ෂා කරන්නට යාම වැදි බණ කීමක් විදිහටයි සලකන්නනේ. පටලවා ගන්න එපා මේක අතීති වර්තමාන ප්‍රශ්නයක් විදිහට. මේක බලය ඇති විට සහ නැති විට හැසිරීමේ ඇති වෙනස. මේක දත් නැතිවුන් උක්දඬුවලට බැන්නා වගේ. පුළුවන් කාලේ උක් හපලා බැරි වුණා ම, බලය කියන දත් ගැලවිලා විපක්ෂයට විසි වුණා ම බනිනවා. තමන්ට බලය තිබුණු කාලෙත් උක්වලට බැන්නා නම් කවුරුත් හිතන්නේ නෑ අද බනින්නේ මුන්ට දත් නැති නිසා කියලා.
ඔයා අහන්නේ හරි ම සරළ ප්‍රශ්නනේ. මේවා ටිකක් හිතලා තමාගෙන් ම ප්‍රශ්න කළත් විසඳගන්න තිබුණා. කබීර් හෂීම්ට නැති අයිතියක් මහින්දට කොයින්ද කියන ප්‍රශ්නය තමා පහසුම ප්‍රශ්නය. ඒ අයිතිය මහින්ද ලබා ගත්තේ කටින් නෙමේ වැඩවලින්. ඔහු දොන් ජුවාන්ගේ සටන් විරාම ගිවිසුම අහෝසි කළා. ලෝකය ම එක්ව බෑ කියපු තිස් වසරක යුද්ධය අවසන් කළා. රනිල්ගේ ඊනියා සටන් විරා ගිවිසුම අහෝසි කරපු මිනිහට බැරිනම් කාටද පුළුන් ඒ ගැන කතා කරන්න?
යුද ජයග්‍රහණය වගේ රටට අහිතකර දේවල්වලට විරුද්ධවෙලා මන්ත්‍රී වාහන බදු සහනය ඇ.ඩො.35 000-50 000 දක්වා වැඩි කිරීම වගේ රටට හිතකර දේවල්වලට පක්ෂ වන විපක්ෂය කියන බයිල කොහොම වුණත් මේ රටට ආදරය කරන, ව්‍යාපාරිකයින්, සංවිධාන සහ දේශපාලක‍යින් සීපා ගිවිසුමේ අහිතකර බලපෑම් ගැන කියන දේවලට රජය සාවධාන විය යුතුයි.
වියරු වැටිලා කියවගෙන ගියේ කවුද කියලා දැන් කල්පනා කරලා බැලුවොත් නරකද?

Sunanda said...

2002- 2004 කාලයේ මහින්ද රාජපක්ෂ ( උන්නැහෙ විපක්ෂයේ ඉද්දි ) රනිල්ගේ සටන් විරාම ගිවිසුම ගැන ප්‍රශ්න කරපු එක ගැනයි මම ඇහුවෙ.එහෙම ප්‍රශ්න කරන කාලේ එයා යුද්දයක්කරල තිබ්බෙ නැහැනෙ.එහෙම ප්‍රශ්න කරපු රාජපක්ෂ කියන්නෙ චන්ද්‍රිකාගේ සටන්විරාමෙට අත උස්සපු කෙනා.
මම කියන්නෙ අතීතේ වැරදි දෙයක් කලා කියන එකෙන් වර්තමානයේ නිවැරදි දෙයක් කියනව නම් අර අතීත වැරැද්ද උඩ දාල වර්තමාන වැරුද්ද වහන්න යන එක වැරදියි.සීපා ගැන මිනිස්සුන්ට තියනේනෙ හුඹස් බයක් කියල අද පත්තර වලට කෙහෙලිය රඹුක්වැල්ල ( රජයේ මාධ්‍ය ප්‍රකාශක ) කියල තිබුන .ඔන්න රජයේ නිල ස්ථාවරය.ඒ ස්ථාවරයට බනින්‍නෙ නැතිව ඔයා විපක්ෂයට බනින්නෙ ( විපක්ෂය සීපා පිලිබද ප්‍රශ්නයෙදි අදාලම නැති කන්ඩායමක් ) ඔයාට තියන අන්ද රාජපක්ෂ භක්තියයි අන්ද විපක්ෂ වි‍රෝධයයි හින්ද.මම කියන්නෙ අන්තවාදී වෙන්නෙ නැතිව විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක් වුනත් හරි දෙයක් කීවම ඒක අගය කරන්න පුරුදු වෙන්න.රජය උනත් වැරදි කරද්දි ඒක විවේචනය කරන්න පුරුදු වෙන්න.ඔයා ඇත්තටම රටට ආදරේ නම් විවේචනය කරන්න ඕනෙ රටට අහිතකර සීපා ගැන ප්‍රශ්න කරන විපක්ෂය නෙමේ.ඒක අත්සන් කරන්න යන ආන්ඩුව

නාමල් උඩලමත්ත said...

චන්ද්‍රිකා සටන් විරාම බයිල ගැහුවට එයාට ගිවිසුම් ගහන්න බැරිවුණා. ඒවා කළේ චන්ද්‍රිකා, මංගල කල්ලිය මිසක් මහින්ද නෙමේ. එයා ජී.එල්. එක්ක එකතුවෙලා ගෙනා පැකේජ යෝජනාව මෙරට දේශප්‍රේමි ජනතාව පරාද කළා. එයා ගහපු ගිවිසුමක් නෑ. මහින්ද චන්ද්‍රිකාගේ සටන් විරාමය අනුමත කළා විතරක් නෙමේ ජනාධිපතිවෙලා සටන් විරාමකට යන්නත් හැදුවා. හැබැයි ඒ දොන් ජුවාන් වගේ තමන්ගේ කැබිනට් එකටත් හොරා රට පාව දෙන ද්‍රෝහී ගිවිසුම් ගහලා නෙමේ. අපේ හමුදාව බැරැක්කවල හිර කරලා, උතුරු නැගෙනහිර කොටියට ලියලා දීලා නෙමේ. දකුණේ අයට කොටියට කප්පම් දීලා උතුරට යන්න අවසර අරන් දීලා නෙමේ. ඒ නිසා තමා ඒ විරාමේ අසාර්ථක වුණේ.

මෙදා යුද්ධය වෙලාවේ රනිල්, රවි, කිරිඇල්ල ආදි විපක්ෂ නායකයින් හමුදාවට, ආණ්ඩුවට සමච්චල් කරමින් ජඩ වැඩ කරද්දි සජිත් පේමදාස වෙන ස්ථාවරයක හිටියේ. ඔහු ඒ පව්වලට අතගැහුවේ නෑ. ඔහු බොහෝ විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. ඒ නිසා කවුරුත් කියන්නේ නෑ ආ සජිත් රනිල්ගේ යුද්ධයට අකුල් හෙළීමට විරුද්ධව කෑ නොගැහු නිසා එයා ද්‍රෝහියා කියලා. අද එජාප බිම් මට්ටමේ අය කියන්නේ සජිත් පක්ෂයේ නායකයා කරන්න කියලා. අද වෙද්දි පක්ෂ විපක්ෂ හැමෝ අතරම සජිත් ජනප්‍රියයි. සජිත්ට විරුද්ධව මට කිසිම චෝදනාවක් නෑ. 2002 රනිල් හොර ගිවිසුම ගහද්දි සජිත් නිහඩව හිටියා කියලා අපට චෝදනා කරන්න බෑ. ඔහු එකල ප්‍රබලයෙක් නෙමේ. ඔන්න ඔය ටික මහින්දටත් අදාළයි.

'මම කියන්නෙ අතීතේ වැරදි දෙයක් කලා කියන එකෙන් වර්තමානයේ නිවැරදි දෙයක් කියනව නම් අර අතීත වැරැද්ද උඩ දාල වර්තමාන වැරුද්ද වහන්න යන එක වැරදියි.' මම කියන්නේ බලයේ ඉද්දි එකකුත් බලය නැති විට තව එකකුත් කියන එක වැරදියි කියලා. ඒක අතීත වර්තමාන නෙමේ, බලය ඇති විට සහ නැති වට කියලා අපි අවබෝධ කරගත යුතුයි කියලා. මම ඇත්තට ම රටට ආදරේ නිසා තමයි රටට ආදරය කරන බලවේග සීපා පිළිබඳ කරන විවේචන ගැන රජය අවධානය යොමු කළ යුතු බවත් හුදු බඩගෝස්තරවාදය පිණිස නන්දොඩවන, එදා යුද්ධයට විරුද්ධ වූ පන්නයේ ද්‍රෝහීන්ගේ විවේචන නොතකා හැරිය යුතු බවත් කීවේ.

 
සිය රට දේ සිරි සැප දේ !