Thursday, March 4, 2010

(ප්‍රශ්න පත්‍ර සොරකම එහි අතීතය සහ) විභාග කොමසාරිස්‌තුමා පරිස්‌සම් කර ගැනීම

අවසාන විග්‍රහයේ දී සොරකම යනු අගහිඟකම විසින් මෙහෙයවනු ලබන දුර්වල සිතුවිල්ලක්‌ හෝ සිතුවිලි සමූහයක්‌ භෞතික බලවේගයක්‌ බවට පත්වීම බව කියමින් සොරුන් පුනරුත්ථාපනය කිරීමෙහි නිරත වන යහපත් ධාර්මික මහත්වරු අදටත් ඕනෑ තරම් සිටිති. ඒ යහපත් කටයුත්ත සඳහා මේ මහත්වරුන්ට පල්ලිය විසින් හෝ පන්සල විසින් හෝ වෙනත් සමාජ ශෝධන ආයතන විසින් හෝ මුදල් ගෙවනු ලැබේ. එය ඒ මහත්වරුන්ගේ රැකියාව ය. එහෙත් ඒ දුර්වල සිතුවිල්ල පාලනය කර ගැනීමට ප්‍රමාණවත් නීති, දඬුවම් සහ ආගම් ලෝකය පුරා ඇති තරම් පැතිර ඇති නිසා සොරකම දඬුවම් ලැබිය යුතු වරදක්‌ බව මෙයට සියවස්‌ ගණනාවකට පෙර තීන්දු කළ ශිෂ්ඨ ලෝකය සොරකු අසු වුණු කල ඔහුට ගස්‌ බැඳ පහර දී නීතිය ඉදිරියට ගෙන ගියේ ය. ඊයේ (04 දා) දිවයිනේ මුල් පුවතේ සඳහන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අවසන් වසර විභාගයේ ප්‍රශ්න පත්‍ර සොරකමට සම්බන්ධ උදවියට දඬුවම් කළ යුත්තේ ද මේ ආකාරයෙන් ම බව කෙනෙකු කියතොත් අපට එයට එරෙහි විය නො හැක. මන්ද යත් සොරාගත් ප්‍රශ්න පත්‍රයක්‌ බලාගෙන කල්තියා සූදානම් වී විභාගයට යන ශිෂ්‍යයාත් "ට්‍රයල්" නො පෙන්වා රියෑදුරු බලපත් ලබා ගන්නා පුද්ගලයාත් යන දෙදෙනාම සමාජයට අති විශාල ලෙස හානි කරන දෙදෙනකු වන බැවිනි. පළමුවැන්නා තමා නො දන්නා දෙයකට ලකුණු ලබාගෙන රැකියාවකට ගොස්‌ සමාජය ඝාතනය කරයි. දෙවැන්නා රිය පැදවීමට නො දැන සුක්‌කානම කරකවා පදිකයන් මරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පත්‍ර සොරකමට ඉතිහාසයක්‌ තිබේ. උසස්‌ විභාගවල සියලු ප්‍රශ්න පත්‍ර අතීතයේ පටන් ම විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයෙහි මුද්‍රණය කරන ලදී. දැඩි පරීක්‍ෂාවක්‌ යටතේ විශ්වාසවන්ත සේවකයන් යොදා ගෙන, පිටතට යැමට නොදී ඔවුන් එහි රඳවාගෙන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කෙරිණ. මේ කියන කාලයේ දී ෆොටෝ කොපි යන්ත්‍ර නැත. එ බැවින් ලද ඇසිල්ලකදී ප්‍රශ්න පත්‍රය ලේන්සුවේ පිටපත් කර ගන්නා ඇතැම් සේවකයෙක්‌ පිටතට පැමිණි විට එය විභාග අපේක්‍ෂකයන්ට විකුණුවේ ය. එක්‌ මහතෙක්‌ තම සරමේ කොණක ප්‍රශ්න පත්‍රයක්‌ මුද්‍රණය කර ගත් අවස්‌ථාවක්‌ ද විය. එවැනි මහත්වරුන් කනෙන් අල්ලා එළියට දමන ලදී. අප මේ කියන්නේ 1970 න් පසු සිදු වූවකි.

ඒ කෙසේ වෙතත් එස්‌.එම්.එස්‌. මගින් ලෝකය පාලනය කෙරෙන මේ සමයෙහි ලේන්සුවේ හෝ සරමෙහි ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ගැනීමේ අවශ්‍යතාව තවදුරටත් නැත. ප්‍රශ්න පත්‍ර කෙසේ වෙතත් ප්‍රශ්න සොරකම් කිරීමේ හැකියාව ඉතා ලෙහෙසියෙනුත් පහසුවෙනුත් අත පොවන හරියේම තිබේ. සෙලියුලර් දුරකථනයක්‌ මගින් ප්‍රශ්න පත්‍රයක්‌ කොටස්‌ කිහිපයකට ඡායාරූපගත කර 3 ඨ තාක්‍ෂණය යටතේ එය වෙනත් දුරකථනයකට යෑවීමේ හැකියාව පවා තිබේ. අප මේවා ලියන්නේ ප්‍රශ්න පත්‍ර සොරුන්ට අලුත් මාර්ග කියා දෙනු පිණිස නොව, විභාග දෙපාර්තමේන්තුව මේ වගක්‌ නො දන්නා බව සිතාගෙන ය. වසර 2004 දී ද නිල්වලා අධ්‍යයන පීඨයේදී මෙබඳු ප්‍රශ්න පත්‍ර සොරකමක්‌ සිදු විය. එදා සොරුන් බැස්‌සේ වහලයේ උළු ඉවත් කර ඒ කපොල්ල තුළිනි.

එහෙත් ජාතික අධ්‍යාපන පීඨයේ සොරු ඊට වඩා මහන්සියක්‌ ඇති, කැපවීමක්‌ ඇති සොරු ය. ඔවුහු ප්‍රශ්න පත්‍ර තැන්පත් කර තිබූ කාමරයේ යතුරු කපාගෙන, දොර ඇරගෙන කාමරයට රිංගා තම කාර්යය කරගෙන තිබුණ බව පසුගිය දෙදින පුවත්පත්වල පළ විය.

මේ සොරු ඉතා සර්ව සම්පූර්ණ සොරු වෙති. ඒ නිසා දැන් එළැඹී ඇති කාර්යය වන්නේ අධ්‍යාපන පීඨවල අධිපතිවරුන් හා විභාග කොමසාරිස්‌තුමා මේ සොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම ය. පීඨාධිපතිවරුන් හා කොමසාරිස්‌තුමා සොරකම් කරගෙන ගියොත් විශාල අපවාදයකට මුහුණ දීමට රජයට සිදු වනු ඇත. විභාග කොමසාරිස්‌තුමා ද තම ගමන් බිමන් වලදී පරිස්‌සම් විය යුතු ය. නාඳුනන අය දෙන ටොෆි සහ චොකලට්‌ කෑමෙන් වලකින ලෙස එතුමාගෙන් ඉල්ලමු. ඒ අතර සොරුන් සමඟ සාකච්ඡා කර සාමකාමී විසඳුමකට එන ලෙස රජයෙන් ඉල්ලමු.

(දිවයින - 2010/03/05)

ටිප්පණිය - කලක සිට මේ රටේ වඩාත් ජනතා අපවාදයට ලක් වන ආයතනය වන පොලිසියේ තත්ත්වයට අද අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍ර පිරිහී තිබේ. මේ පිළිබඳ මා සහ මගේ මිතුරන් අතර උණුසම් විවාදයක් ඇති විය. එහිදී පවතින තත්ත්වය මා දැඩි ලෙස විවේචනය කිරීම ඔවුන්ගේ ප්‍රසාදයට හේතු වුයේ නැත. එහෙත් මේ සියලු දෙනා සුසිල් ප්‍රේමජයන්තට සහ සිමල් සිරිපාලට පළු යන්න බනිති. ‍රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය විනාශ කළේ මුන් යැයි ඔවුහු නොවළහා කියති. මේ නම් හැම දේට ම දේශපාලකයාට ඇඟිල්ල දිගු කර අත පිහිදා ගැනීමේ අමන පුරුද්ද ය. 'තම වරද නොදිස්නේ මෙරමා වරද දිස්නේ' යැයි කව්සිළුමිණිකරු උපහාසයට නැඟුවේ මේ දුබලතාව නොවෙද?

එහෙයින් කියමි. වැරදිකාර පාර්ශවයේ අපේ ඥාතීන් සිටි පමණින් අපේ මිතුරන් සිටි පමණින් එය නිවැරදි යැයි කෑ ගැසීමෙන් රටට විපතක් මිස වන සෙතක් නැත. එය හුදෙක් පෘථග්ජන අපේ බොළඳ හැඟුම් ප්‍රදර්ශනය කිරීමක් පමණි. එය අදාළ වෘත්තීන් වෙත සිය ගෞරවය පුද කිරීමක් වන්නේ ද නැත. ඇත්තෙන් ම එකී වෘත්තීන් වෙත කළ හැකි බලවත් ම අපරාධය මෙය නොවෙද?

රටේ අනාගත පරපුරට පාර කියා දෙන්නේ ගුරුවරුය. එහෙයින් ගුරු වෘත්තිය යහපත් වෘත්තියකි. අවාසනාවට වැරදි මිනිසුන් නිසා වඩාත් අයපත් වෘත්තීයක් බවට එය අද දවසේ පත්ව තිබේ. මේ වෘත්තියට අද පිවිසෙන්නවුන්ගේ තත්ත්වය මෑතදී සිදු වූ ප්‍රහ්න පත්‍ර සොරකමින් මොනවාට පැහැදිළි වෙයි. එකී ගුරු විද්‍යා පීඨ දෙකෙන් පිටව හෙට දවසේ රටට මග කියාදෙන්නේ මේ හොරුය. රටේ දරුවන් බුලත් දී වැඳ අනුගමනය කරන්නේ මොවුන් ය. මේ බරපතළ කාරණාව ගැන රටේ වහා සාකච්ඡා කිරීම ප්‍රසංශා කටයුතුය. ඊයේ දිවයිනේ මුල් පුවතට මෙන්ම ලංකාදීපයේ කතුවැකියට පදනම් වූයේ මේ සිද්ධියයි. අද දිවයිනේ කතුවැකිය ඒ ගැනය. මාධ්‍ය කලෙකින් සිය වගකීම නිසි ලෙස ඉටු කළ අවස්ථාවකි මේ.

මේ නිහීන ක්‍රියාව කළේ කිහිප දෙනෙකු බවත් එහෙයින් සමස්තය විවේචනය නොකළ යුතු බවත් කෙනෙකු තර්ක කරනු ඇත. සැබෑවකි. මේ ගුරු වෘත්තියේ යෙදෙන සැබෑ ගුරුවරු අදත් අප අතර සිටිති. එහෙත් අතළොස්සකි. බොහෝ දෙනා සිය විවේකය පතා ගුරුවරු වෙති. දවසෙන් වරුවක් ද සතියෙන් දෙදවසක් ද මාසෙන් අට දවසක් ද අමතරව වසරෙන් තෙමසක් ද මොවුන් ඒ විවේක සුව විඳිති. කොටින් ම මේ බොහේ දෙනා තමාට ඉන් රටට කළ හැකි දේ නොව තමාට ලද හැකි වාසි ගැන සිතා ගුරුකමට එන්නවුන්ය.

පාසැල් වේලාවෙන් පසු ටියුෂන් මාෆියාව ඇරඹේ. එතැන ඉන්නේ ද මොවුන්මය. ඇතැම් විට උදේ පාසැලේ කළ පාඩමේ ඉතිරි කොටස ඉගෙනීමට ළමයා හවස ගුරුතුමාගේ ටියුෂන් කඩයට යා යුතුය. ඒ අනුව බොහෝ ගුරුවරු ළමයින් ටියුෂන් කඩලවට දක්කන කෙවිටි පමණි. අධ්‍යාපන අමාත්‍යංශය ලබා දෙන විෂය නිර්දේශ නිවැරදිව පාසැලේ දී කියා දේ නම් ළමයින් ටියුෂන්වලට දිව යා යුතු නැත. එහෙත් අද ප්‍රධාන නගරවල ළමයි දහස් ගණනින් රොක් වන ටියුෂන් කඩ පිරීතිරී ගොස් තිබේ. ටියුෂන් කඩ වැඩි වන තරමට ඉන් ධ්වනිත කෙරෙන්නේ පාසැල් ගුරුවරයාගෙන් සිදුවිය යුතු වැඩ කොටස සිදු නොවන ප්‍රමාණය අඩු වන බවය. මීට අමතරව ඇතැම් ගුරුවරු ළමයන්ගේ කන් පලති. අපචාරයට ලක් කරති. එහෙයින් ගුරු වෘත්තිය පාදඩයින්ගෙන් බේරා ගැනීම සඳහා වහා සංගායනාවක් කළ යුතු යැයි අපි යෝජනා කරමු. එසේ කියන්නේ එකී වෘත්තිය කෙරෙහි අප තුළ ඇති ගෞරවය සහ එහි වත්මන් භාවිතය පිළිබඳ බලවත් අප්‍රසාදය සහ විරෝධතාව නැවත ප්‍රකාශ කරන අතරය.

2 comments:

චතුරංග රූපසිංහ said...
This comment has been removed by the author.
චතුරංග රූපසිංහ said...

එහෙත් ජාතික අධ්‍යාපන පීඨයේ සොරු ඊට වඩා මහන්සියක්‌ ඇති, කැපවීමක්‌ ඇති සොරු ය. ඔවුහු ප්‍රශ්න පත්‍ර තැන්පත් කර තිබූ කාමරයේ යතුරු කපාගෙන, දොර ඇරගෙන කාමරයට රිංගා තම කාර්යය කරගෙන තිබුණ බව පසුගිය දෙදින පුවත්පත්වල පළ විය.

 
සිය රට දේ සිරි සැප දේ !