Thursday, March 11, 2010

හිඟාකෑම ලැජ්ජාවකි!

ලංකාව 1505 තෙක් ස්වයංපෝෂිත දේශයක් විය. සරළ ජීවිතයක් ගත කළ ලාංකිකයා තම එදිනෙදා අවශ්‍යතා දහදිය මහන්සියෙන් හේනෙන් කුඹුරෙන් සපයා ගෙන නිදහසේ ජීවත් විය. එහෙත් යටත්විජිතවාදීන් මෙරටට කඩාපාත් වී නොබෝ කලකින් එතෙක් පැවැති සමාජ ආර්ථීක දේහය උඩුයටිකුරු වී සතර අත කන කොක් හඬ නැඟෙන්නට විය. තම දෑතේ දෙපයේ මහන්සියෙන් උපයා ගෙන කෑ ජාතියක් සියල්ල නැවෙන් බානතුරු මුහුදට දත නියවා ගෙන සිටියේය.

ගේ පිළිකන්නේ ඔහේ වැවුණු කරපිංචා ගහ, මිරිස් ගහ, රම්පෙ පඳුර, ගහල ගහ ගලවා විසි කර ඒ වෙනුවට නේක වර්ගයේ ක්‍රෝටන් පඳුරු ගේ වටා වවන්නට විය. පරපුරක් බත් කෑ කුඹුරු කෑල්ල ගොඩ කර කඩ කාමරයක් තනන තැනට ඔහු පිරිහී ගියේය. ක්‍රමයෙන් පිට රටින් ගෙනෙන නේක විච්චූර්ණ භාණ්ඩ විකුණන කසිකබල් වෙළඳ පොළක තත්ත්වයට රට පිරිහිණි. රටේ ආර්ථික සමෘද්ධිය නැතිවී පිට රටින් ණය ගැනීමට සිදු වූයේ මේ අතරය.

රටේ නායකයෝ එකිනෙකා පරයමින් ලෝකේ වටේ ගොස් හිඟාකමින් රටට විත් පරසාරම් දෙඩුවේ මීට පෙර කිසිදු නායකයෙකු නොලද තරම් ණය (හිඟමන්) තමා ලද බව පවසමිනි. ඒ නායකයා තම පක්ෂයේ නම් ජනතාව අත්පුඩි ගසා හුරේ දැමූහ. අනෙක් පක්ෂ අනුගාමිකයින් දෙස උජාරුවෙන් බැලූහ. එහි ප්‍රතිඵලය ලෙස අද හිඟමන් නොලැබීම අපේ අසමත්කමකැයි සිතන තත්ත්වයට ජනතාව පත්ව තිබේ. ලෙඩාට බෙහෙ‍ත් දෙන්නේ රෝගය සුව වන තුරු පමණි. එසේ ම සුනාමි සහනාධාර සුනාමියේ හානිය යථා තත්ත්වයට පත් වන තුරු පමණි.

එක අතකින් මේ සහනාධාර රටට පිළිලයක් වෙයි. අද දිවයිනේ කතුවැකිය ඒ ගැනය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !