Tuesday, February 2, 2010

ජවිපෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු!

දූෂිත මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නැයි ද ඊට එරෙහිව පෙළ ගැසෙන්නැයි ද ජවිපෙ පෝස්ටර් අලවා තිබිණි. එහෙත් මේ මැතිවරණය දූෂිත වන්නේ කවර මැතිවරණයට සාපේක්ෂව දැයි එහි කියා නොතිබිණි.

1982 එවක විපක්ෂ නායිකා සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ප්‍රධාන විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය ද හොරට දමා පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව ද?

උතුරේ කොටි ත්‍රස්තවාදය ද දකුණේ ජවිපෙ භීෂණය ද විසින් මුළු රට ම හෙල්ලු සමයේ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

එජාප ජනාධිපති ධූර අපේක්ෂක ගාමිණි දිසානායක මහතා කොටි විසින් මරා දැමූ
1994 චන්ද්‍රිකා දිනු ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

පරාජයේ හිනිපෙත්තේ සිටි චන්ද්‍රිකා, සිය ඇසක් අහිමි කළ කොටි බෝම්බ ප්‍රහාරය නිසා මහජන අනුකම්පාවෙන් යළි දිනූ 1999 ජනපතිවරණය ගැන ද?

එසේ නැත්නම් රටෙන් 3/1ක් කොටි අණසකට යටත් කාලයේ උතුරේ ජනතාවට ඡන්ද බලය අහිමි කොට පැවැත් වූ 2005 ජනපතිවරණයට සාපේක්ෂව ද?

එසේත් නැත්නම් ලෝකයේ දූෂිතම මැතිවරණයක් ලෙස ඉතිහාසගත වන චන්ද්‍රකා පැවැත්වූ වයඹ මැතිවරණයට සාපේක්ෂව ද?

මේ ප්‍රශ්න අද ඊයේ නූපන් ඕනෑම කෙනෙකු තුළ ඇති වන ප්‍රශ්නය. එහෙයින් ජවිපෙ හෝ එජාපය හෝ එවුන්ගේ බත්බැළයින් හෝ මේ ප්‍රශ්නවලට පිළිතුරු දේ නම් අපි අගය කොට සලකමු.

අප දකින සත්‍ය නම් මෑත ඉතිහාසයේ ලංකාවේ පැවැත්වූ සාධාරණ ම මැතිවරණය මෙයයි. එහිදී සමස්ත ලංකාවේ ම ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබිණි. ඒ කොටි අවසන් කළ නිසාය. රන්ජන් විජේරත්න මහතාට පිං සිදුවන්නට දකුණේ ජනතාවයට ද ඡන්ද අයිතිය ලැබිණි. නැතනම් ඡන්දයට කලින් දින ඔබේ හැදුනුම්පත් රැගෙන යන්නට ජවිපෙ සහෝදරවරු ගෙදරට එනු ඇත. ඒ අතීතය ජවිපෙ වේදිකාවේ තබා ගෙන ම මෙදා එජාපය සිහිපත් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කඳුලු හෙලන මොවුන් කිසි කලෙක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ අය නොවේ. 1972 ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් පෙරලන්නට ගොස් ඇණ ගත්තේ ය. 1988 කැරලි ගසා තවත් ජීවිත 60 000ක් බිලි දුන්නේය.
මෙවර ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන ඡන්ද බලයවත් නොමැති ෆොන්සේකා මගින් පාලන බලය ඩැහි ගන්නට මාරාන්තික සටනක යෙදුණේ ය.තම ඡන්දයවත් පාවිච්චි නොකරන මිනිහා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරතැයි සිතන්නේ කෙසේ ද? එහෙත් රටේ බුද්ධිමත් ජනතාව මේ නම් රට වනසන පිල්ලියකැයි දැන ඔවුන්ට නිසි පාඩම් ඉගැන්වූයේ ය.

මැයි 18 කොටි වැනසූ දා ජාතික දජ රැගෙන මහ මගට බැස්ස ජනතාව මෙදා ද කැවුම් කිරිබත් සදා දන්සැල් කළේ ය. රතිඤ්ඤා දැල්වූයේ ය. තවමත් එහි නිමාවක් නැත. එහෙයින් රටේ ජනතාවට ජවිපෙන් ලබා ගන්නට ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව පැහැදිළිය. ජනතාව අවධියෙන් සිටිය යුත්තේ ජවිපෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට බව අපි අවධාරණය කරමු.

ජර්මනියේ හිට්ලර් බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකිනි. ඔහු පැමිණ ලක්ෂ ගණනක යුදෙව්වන් සංහාරය කළේ ය. රට ම විනාශ කළේ ය. උගන්ඩාවේ ඉඩි අමීන් නම් මැරයා සිය ඇමති මණ්ඩලයේ සාමාජිකයින් 15ක් මරා දැම්මේ ය. එකී අතීතය ලංකාවේ වර්තමානය වන්නට තිබුණු ඉඩ රටේ දේශප්‍රේමි ජනතාව අහෝසි කළේ රටේ වාසානාවටය. නැත්නම් දඩමස්වලින් පටන් ගෙන මිනී මස්වලින් අවසන් කෙරෙන පාලකයෙකු ගැන මහාවංසයේ ලියැවෙනු ඇත.

එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුත්තේ ජවිපෙන් බව අපි නැවතත් පවසමු. ඔවුන් මෙවර උත්සාහ කළේ දෙවරක් සන්නද්ධ ක්‍රියා මාර්ගවලින් කරගත නොහැකි වූ දේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ කරන්නටය. ප්‍රජාතන්ත්‍රවාදය මගින් ප්‍රජාතන්ත්‍රවාදය මරන්නටය. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තබා කැපීමටය.

ප්‍රජාතන්ත්‍රවාදය හොඳය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන්නට ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයට ඉඩදිය යුතු නැත. එසේ කීවේ රනිල් වික්‍රමසිංහය. එය වර්තමාන ජර්මන් ව්‍යවස්ථාවට ද ඇතුළත් බව වික්‍රමසිංහ මහතා සිය 'අනාගත අභියෝග' නම් කෘතියේ සඳහන් කරයි. එකී නීතිය අපේ ව්‍යවස්ථාවට ද ඇතුළත් කිරීමට කාලය එළැඹ ඇත. පසුගිය ජනාධිපතිවරණය සමයේ මේ ද්‍රෝහී රැළගේ ක්‍රියා කළාපයෙන් රට උගත යුතු පාඩම එයයි.

2 comments:

නිලන්ත පියසිරි said...

ඔය දැන්වීම දැක්කහම නම් මටත් එහෙම හිතුනා. දූෂිත මැතිවරණය කියා හැදින්වීමට ලබා ගන්නා නිර්නායක මොනවාද? මා නම් හිතන්නේ ජවිපෙට කෑගහන්න සටන් පාඨ නැහැ. මෙවැනි ආණ්ඩුවක් යටතේ ඔවුනට සටන් පාඨ ලැබීමේ අඩුපාඩු තිබෙනවා. (එයින් කියැවෙන්නේ නැහැ මේ රජය සර්‍ව සම්පූර්‍ණ බව) නමුත් එජාප රජයක් නැවත ලබා ගතහොත් ඔවුන්ට මිනිස්සුන්‍ට දැනෙන්න කෑගහන්න පුළුවන්. ඒ හරහා නැවත අර ලක්ෂ පහක් පමණ වූ ජනප්‍රසාදය නැවත ගොඩ නගා ගැනීමට හැකිය යැයි ඔවුන් සිතනවා ඇති. (එයට වඩා නම් මිනිස්සු මෝඩ වෙන්නේ නැහැ) එවිට කොහේ හරි රජයක් අස්සකට වී කේවල් කිරීමේ අගයක ලබා ගන්නයි ඔය අදහස. සොමවංශ සහෝදරයා (මාමා? - අපේ තාත්තා ගේ වයසම ඇති බැවින්) ගේ පටන් එහි වසන නපුරන් ගේ අදහස් සමනය වන තුරු මෙම වෛරය පැතිරවීමනම් නවතිනු නොවේ.

නාමල් උඩලමත්ත said...

සහතික ඇත්ත නිලන්ත. යක්ෂයින්ට මිනි පුළුටු ගඳ නැතිව ඉන්න බෑ. දෙපාරක් රටම මළ ගෙයක් කළා. ඒ අස්සේ කොටි රට මළ ගෙයක් කළා. මෙහෙම රට මළ ගෙයක් වුණාම එළිවෙනකම් ඒ මළ ගෙවල්වල බූරුව ගැහීම තමා මොවුන්ගේ දේශපාලනය. දැන් මළ ගෙවල් නැතිව ඉන්න බෑ මෙවුන්ට. රටේ රිරී ඉල්ලන යක්ෂයෝ තමා මේ.
දැන් වික්‍රමබාහුගේ පක්ෂේ සහ ජවිපෙ අතර වෙනසක් තියෙනවා නම් මට කියලා දෙනවද?

 
සිය රට දේ සිරි සැප දේ !