Thursday, December 31, 2009

ඒ ගමනත් අපි එකට යමු....

සල්ලි ඇතොත් හැමදාම අවුරුදු යනුවෙන් පැරැණි දිරාගිය අධිරාජ්‍යවාදී කියමනක්‌ තිබේ. මෙය වූ කලී වසර 1505 දී හෝ (1506 දී) මේ රටට පැමිණි පෘතුගීසි ජාතික ලොරොන්සෝ ද අල්මේදා ණයට හැලි අරක්‌කු බොමින් ගත කළ තුට්‌ටු දෙකේ සැප ජීවිතය මූර්තිමත් කරනු පිණිස අධිරාජ්‍යවාදී ලේ ඇඟ පුරා දුවන පන්තිය විසින් පතුරුවා හරින ලද කියමනක්‌ විය යුතු ය. ඒ කියමන සාමය ඇතොත් හැමදාම අවුරුදු යනුවෙන් අපට ගැලපෙන පරිදි අපි සකසා ගනිමු. මෙයට වසර 30 කට පෙර ප්‍රභාකරන් විසින් යාපනයේ පුරපති ඇල්ප්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමෙන් මේ රටේ පටන් ගත් බෙදුම්වාදී යුද්ධය පසුගිය වසරේ මැයි 15 වැනිදා සේනාධිනායක මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකාය යනාදියේ සහභාගිත්වයෙන් නන්දිකඩාල් කලපුවේදී අවසාන කරන ලදී.

මේ සටනේදී මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් වෙඩි කෑ සෙබළු එකා පිට එකා මැරී වැටුණාහ. ලේ ගංගා ගලා ගියේ ය. ඒ අනුව තිස්‌ අවුරුද්දකට පසු ශ්‍රී ලංකාව නැවත වතාවක්‌ ඒකීය නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත් විය. යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ප්‍රණාම වේවා! නිසි දේශපාලන නායකත්වයත්, රණ විරුවන්ගේ දිරියත් නො වන්නට උතුර - නැගෙනහිරට යැම සඳහා වීසා බලපත් ලබා ගැනීමට සිදුවීමේ අවදානමට ලංකාව මුහුණ දී සිටියේ ය.

මේ රට නැවත වතාවක්‌ නිදහස්‌ කර ගැනීම සඳහා වූ සටනේදී "දිවයින" දැරූ භූමිකාව කිසිදු දේශපාලන ප්‍රතිපත්තියක්‌ හෝ කිසිදු බලවේගයක්‌ නිසා වෙනස්‌ නොවූවකි. එක්‌දහස්‌ නවසිය අසූතුනේදී ප්‍රභාකරන් රට කැඩීමේ යුද්ධය නිල වශයෙන් පටන් ගත්තේය. ඔහු පළමුවන වෙඩි මුරය තබන විට හමුදාව පිළිතුරු වෙඩි මුර තබන්නට විය. ඒ අතර බෙදුම්වාදයට එරෙහිව මතවාදී වශයෙන් ජනතාව සන්නද්ධ කිරීමට "දිවයින" පටන් ගත්තේ ය. ත්‍රස්‌තවාදය, ජූලි කලබලයේ දුමාරය සහ ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් නිසා ඇඹරී ගොස්‌ සිටි ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කොටින්ට යම් ප්‍රමාණයක දේශපාලන නිදහසක්‌ ප්‍රදානය කරන්නට යන බවක්‌ පෙනෙන්නට තිබිණි. අපි එයට එරෙහි වූයෙමු. එකල මේ පුවත්පතට දැන්වීම් නො දෙන ලෙස ජයවර්ධන ආණ්‌ඩුව රජයේ ආයතනවලට නියෝග කළේ ය. ශ්‍රී ලංකාව වැනි රටක ආණ්‌ඩුවේ දැන්වීම් නැතිව ව්‍යාපාරික ගමනක්‌ යැම පුවත්පත් ආයතනයකට ඉතා දුෂ්කර කාරියකි. එහෙත් "දිවයින" ස්‌වදේශික ව්‍යාපාරිකයන්ගේ පිහිටෙන් තම මතවාදය පතුරුවා හරිමින් ඒකීය රටක්‌ වෙනුවෙන් යන ගමන දිගටම ගියේ ය. අපට නැති වීමට තිබුණේ රට දැය සමය පමණි. එය රැකීමට දිවි හිමියෙන් කැපවීම මේ පුවත්පතේ පරමාර්ථය විය.

කොටින්ට සහන දීමට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා තැත් කළ විට අපි ඔහු සමඟ ඉතා භයානක ලෙස ගැටුනෙමු. ඒ ගැටුම් අතරේ වුවද තම නායකත්වය යටතේ ඇති සුචරිත ව්‍යාපාරය පිළිබඳ පුවත් දිවයිනේ පළ නොවුණොත් එය බරපතල අඩුවක්‌ සේ දැකීම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සිරිත විය. ප්‍රභාකරන් විසින් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කළ විට ඊළඟ ජනාධිපති වූයේ ඩී. බී. විඡේතුංග මහතා ය. මේ රටේ පවතින්නේ ත්‍රස්‌තවාදයක්‌ බව ඔහුගේ මතය විය. අපි ඔහු හා එකඟ වෙමින් ඔහුට සහාය පළ කළෙමු. ඊළඟට බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග සමග ද රටේ ඒකීයත්වය සම්බන්ධයෙන් අපට මතභේද විය. ඒ මත භේද නිසා අපට අහිමි වූ දේ ද බොහෝ ය. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කොටින් සමඟ සටන් විරාමය අත්සන් කළ පසු ප්‍රභාකරන් උතුර - නැඟෙනහිර වෙනම රටක්‌ ලෙස ලියාපදිංචි කර ගැනීම සඳහා සන්නද්ධ වීමට පටන් ගත්තේ ය. අපි එයට මහත් සේ විරුද්ධ වූයෙමු.

රටේ ඒකීයත්වය රැකීම සම්බන්ධයෙන් අප සතුව තිබූ ප්‍රතිපත්තියත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිපත්තියත් එක හා සමාන විය. ත්‍රස්‌තවාදය ත්‍රස්‌තවාදයෙන් ම විනාශ කළ යුතු බව එතුමා කීවේ ය. අපි වසර තිහක්‌ තිස්‌සේ කියුවේ ද එයම ය. විදේශීය පිශාචයන්ගෙන් යෑපෙමින් සිටි බඩගෝස්‌තරයන් මේ ප්‍රතිපත්තියට එරෙහිව කොටින් වෙතින් ගිලිහී යමින් තිබූ උතුරු - නැගෙනහිර භූමිය ගැන කඳුළු සලන්නට විය. විවිධ බලවේග, තර්ජන යනාදිය නො සළකා හල මහින්ද රාජපක්‍ෂ යුද්ධය දිනූ විට පළමුවන සතුටු කඳුළු හෙලූ කිහිප දෙනා අතර අපිදු වීමු.

හොඳට හෝ නරකට ගිය වසර මැතිවරණ වසරකි. අදින් ඇරඹෙන වසර ද මැතිවරණ වසරකි. රටට නිදහස දුන් නියම ජයග්‍රාහකයා ජනතාව විසින් තෝරනු ලබනවා ඇත. ඒ අතර අපට ඉතිරිව ඇත්තේ මේ රටේ ඒකීයත්වය ආරක්‍ෂා කිරීම ය. එය අපගේ ආරම්භක මෙහෙවරමය. ඒ ගමනත් අපි එකටම යමු.
(දිවයින - 10/01/01)

ටිප්පනිය - ලැබුවා වූ නව වසර සකල ශ්‍රී ලංකා වාසීන්ටත් දිවයින පුවත්පතේ කාර්ය මණ්ඩලයටත් සුබ නව වසරත් වේවායි පතමි. ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ භූමිකාව මෙරට ක්‍රියාත්මක කරන්නේ දිවයින යැයි කීවේ වරදක් නැත. ඒකීය ලංකාවක් වෙනුවෙන් දිවයින මතවාදී තලයේ කළ සටන ඉතිහාස ගත වන්නකි. දැන් එහි ඵල නෙළන්නට කාලයයි. ඒ සඳහා සැබෑ දේශප්‍රේමි බලමුළු නියෝජනය කරන සැබෑ ම දේශප්‍රේමි නායකයා බලයට පත්කළ යුතුය. ඒ ඔහුට කළෙහිගුණ සලකන්නට නොවේ. මේ රට සුඛිත මුදිත දේශයක් කරනු පිණිසය. එමෙන් ම කළෙහිගුණ සලකා මංමුලා වූ දේශප්‍රේමියාට විශ්‍රාම යැවීම ද මේ වසර ආරම්භයේම රටට හිතකර වනු ඇත. ඒ ගමනත් අපි එකට යා යුතුය. එකම ජාතියක් ලෙස.

2 comments:

දුකා said...

මමත් නොවරදීම හමදාම උදේම බලපු පුවත්පත තමයි දිවයින . . .ඒත් ලඟදි ඉඳන් මට හිතුනා ඒකත් පක්ශග්‍රාහී වෙලා කියලා . . . පුවත්පතක සමබරතාවය නැති වුනාම වෙන්නේ පාඨකයෝ අඩුවෙන එක . .. හොඳම උදාහරනේ මම . . මම ගිය මාසෙටම දිවයින බැලුවේ හතර පාරයි මතක හැටියට . . . බදාදා අතිරේකය තියෙන දවස් ටිකේ විතරයි . . .

නාමල් උඩලමත්ත said...

රටක් විදිහට සතුරෝ එක්ක සටන් කරද්දි ජාතික පුවත්පතක් ජාතියේ පාර්ශවය නියෝජනය කිරීමේ වරදක් මම දකින්නේ නෑ. මොකද රට අද පවතින නිදහස් නිවහල් තත්ත්වයට ගෙන එන්න දිවයින යෝද පිටුබලයක් වුණා. අද දිනලා තියෙන්නේ දිවයින නියෝජනය කළ මතවාදයනේ. ඉතින් එහි ආරක්ෂාවට දිවයින එන්න ඕන. හැබැයි දිනමිණ වගේ පුවත්පත් වගේ නෙමේ දිවයින. ඒකේ විරුද්ධ මතවලට ඉඩත් තියෙනවා.ඒත් 2005ට පෙර හැමදාම දිවයින විරුද්ධ පක්ෂයේ හිටියේ. ඒ කාලේ රටේ රජ කළේ අද නැවත ඔළුව උස්සන්න දඟලන බලවේගයනේ. ඒත් අපට කියන්න බෑ ආණ්ඩුව කරන හැමදේම දිවයින අනුමත කළා කියලා. දිවයින ආණ්ඩුවේ බොහෝ වැරදි විවේචනය කළා.

 
සිය රට දේ සිරි සැප දේ !